|

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් මන්දෝත්සාහී කරන මෙරට ඡන්ද ක්‍රමය – අනුර කේ එදිරිසූරිය .

ඔහු නමින් සමන් රත්නායක . වයස අවුරුදු 54 කි . උපතින් ම පූර්ණ දෘශ්‍යාබාධිත  ඔහුට පසුගිය මැතිවරණ තුනේදී එනම් , ප්‍රාදේශීය සභා මැතිවරණය , ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේ දී  සිය ඡන්දය භාවිත කරන්නට නො හැකි විය .  හේතුව  ඡන්ද මධ්‍යස්ථානය වෙත ඔහු කැටුව යාමට කිසිවකු ඉදිරිපත් නොවීමය . 2012 නිවාස සහ ජනගහන සංගණනය අනුව සමන් රත්නායක වැනි පූර්ණ පෙනීමේ දුෂ්කරතාවෙන් පෙළෙන ( Blind ) මෙරට ඡන්ද අයිතිය සහිත පිරිස 26922 ලෙස  දැක්වේ. නමුත් 2016 වර්ෂයේ ශ්‍රී ලංකා MOH සේවය විසින් සිදු කළ සංගණනයකින් පෙන්වා දී තිබුණේ , ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 40ට වැඩි ජනගහනය අතර පෙනීමේ දුෂ්කරතාවේ ( blindness) පැතිරීම 1.6% වන බවයි. එසේම , සංගණනයට පාත්‍ර වූ ජනගහනයෙන් 1.6% සහ 15.4% අතර පිරිසක් උග්‍ර පෙනීමේ දුබලතාවන්ගෙන් (severe visual impairment ) පෙළුණු බවයි. 2018 ලෝක දෘශ්‍ය දිනය ( world sight day )  වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කර තිබුණු ආකාරයට මිලියන 21ක් වන ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියනයක් පූර්ණ පෙනීමේ දුෂ්කරතාවෙන් ( blindness ) හෝ පුර්ණ පෙනීමේ දුෂ්කරතාවට පත් විය හැකි තත්වයන් ( conditions that could lead to blindness ) ගෙන් පෙළෙති. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට සහ මැතිවරණ ක්‍රියාදාමයට මෙකී පිරිස කෙතරම් දුරට අවශෝෂණය වී සිටීද යන්න සොයා බැලීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්මට මෙන්ම නිරවද්‍ය මැතිවරණ ක්‍රියාදාමයක් සඳහා ද වැදගත් වනු ඇත.

 

කොළඹ , ගම්පහ , කෑගල්ල , කුරුණෑගල , මහනුවර , යන දිස්ත්‍රික්ක පහ නියෝජනය වන පරිදි තෝරා ගැනුණු 15 දෙනකුගෙන් යුතු පූර්ණ පෙනීමේ දුෂ්කරතා සහිත කණ්ඩායමක් පදනම් කරගෙන කළ සමීක්ෂණයේ දී පෙනී ගියේ , එකී කණ්ඩායමේ සියලු ම දෙනා එක්කෝ කැටුව යාමට කෙනකු නොමැති වීම හේතුවෙන් නැතහොත් තමාගේ මන්දෝත්සාහී බව හේතුවෙන් අවම වශයෙන් තම ජීවිත කාලය තුළ එක් වතාවක් හෝ ඡන්දය භාවිත කිරීමෙන් වැළකී  සිට ඇති බවයි .

 

දැනට මෙරට භාවිත කෙරෙන ඡන්ද පත්‍රිකාව අනුව පෙනීමේ අපහසුතා සහිත තැනැත්තකුට තමා විසින් ම තම ඡන්දය සලකුණු කිරීමට හැකියාවක් නැති බව සමීක්ෂණයට සහභාගි වූ සුගත් වසන්ත මහතා පවසයි. හේතුව එවන්නකුට ඡන්ද පත්‍රිකාව කියවා ගැනීම සහ ඡන්දය ලකුණු කිරීම කළ නො හැකි වීම ය.

” ඡන්දයකදි වෙන්නෙ අපේ පරමාධිපත්‍යය පවරා දීම. සලකුණු කිරීම රහසිගතව විය යුතුයි, තමාගේ කැමැත්තට අනුව නියෝජිතයන් තෝරා පත්කර ගන්නට පුළුවන් විය යුතුයි , ඡන්ද පත්‍රිකාව ඡන්ද දායකයාට පහසු විය යුතුයි වැනි මූලධර්ම පවතින තත්ත්වය යටතේ පෙනීමේ අපහසුතා ඇති ඡන්ද දායකයන්  අරබයා ක්‍රියාත්මක වන්නේ නැහැ .” වසන්ත මහතා වැඩි දුරටත් කියයි.

එකී ගැටලුවට  2011 අංක 28 දරන මැතිවරණ ( විශේෂ විධිවිධාන ) පනත මගින් ප්‍රතිපාදන සපයා තිබේ . ඉන් කියැවෙන ආකාරයට , කිසියම් ශාරීරික ආබාධයක් හේතුවෙන් තමාගේ ඡන්දය තමා විසින් ම සලකුණු කළ නො හැකි ඡන්ද දායකයනට

 

* තමා වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීමට වෙනත් තැනැත්තකු කැටුව යාමට හෝ

 

* ඒ සඳහා ඡන්ද පොළ ස්ථානාධිපතිවරයා / වරියගේ සහය ලබාගැනීමට අවස්ථාව ඇත .

 

සමීක්ෂණයට සහභාගි කරගත් 15 දෙනකුගෙන් යුතු කණ්ඩායමේ සියලු ම දෙනාගේ අදහස වූයේ , තමා වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීමට වෙනත් තැනැත්තකු කැටුව යාම අතිශය අසීරු මෙන්ම ප්‍රායෝගික ව කළ නො හැකි කටයුත්තක් බවයි .හේතුව ක්‍රියාදාමයේ දුෂ්කරතාවයි .

 

එහි දී ආබාධ සහිත තැනැත්තා විසින් ;

 

*උප ලේඛනයේ සඳහන් අයදුම්පත පුරවා ග්‍රාම සේවා නිලධාරීවරයාට ඉදිරිපත් කළ යුතු ය . ඊට තම ඡන්දය සලකුණු කිරීමට කැටුව යාමට අපේක්ෂා කරන තැනැත්තාගේ විස්තර ද ඇතුළත් කළ යුතු ය .

 

* කැටුව යන තැනැත්තා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අයෙක් විය යුතු ය . මැතිවරණ අපේක්ෂකයෙක් , කිසියම් දේශපාලන පක්ෂයක බලය ලත් නියෝජිතයෙක් , ඡන්ද පොළ නියෝජිතයෙක් , ස්වාධීන කණ්ඩායමක කණ්ඩායම් නායකයෙක් නොවිය යුතු ය .

 

* ග්‍රාම සේවා නිලධාරිවරයාගේ සහතිකය ලබාගෙන රජයේ වෛද්‍ය නිලධාරීවරයකු වෙත ඉදිරිපත් විය යුතු ය . රජයේ වෛද්‍ය නිලධාරීවරයා විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තකු බවට පරීක්ෂා කර අනුමත කර සම්පූර්ණ කළ අයදුම්පත සුදුසුකම් ලැබීමේ සහතිකය ලෙස හැඳින්වේ .

 

* මැතිවරණය පැවැත්වෙන දිනයේ දී අදාළ තැනැත්තා , තම නිල ඡන්ද පත්‍රිකාව , පිළිගත් හැඳුනුම් පතක් , සහ සුදුසුකම් ලැබීමේ සහතිකය ද සමඟ ඡන්දය සලකුණු කරන තැනැත්තා ද කැටුව ඡන්ද පොළට යා යුතුය .

 

* එහි දී ඡන්ද පොළ කාර්ය මණ්ඩලය අනන්‍යතාව පරීක්ෂා කර එම තැනැත්තාට ඡන්ද පත්‍රිකාව ලබා දෙනු ලැබේ .ඉන් පසුව ඡන්ද පොළ ස්ථානාධිපති සහ තවත් ඡන්ද පොළ නිලධාරියකු ඉදිරියේ විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තාගෙන් විමසා ඡන්දය සලකුණු කර ඡන්ද පෙට්ටියට දමනු ලැබේ .

” කෙනෙක් වෙනුවෙන් තව කෙනෙක් ඡන්දය සලකුණු කිරීමෙදි රහස්‍ය භාවය කියන කරුණ බිඳවැටෙනවා ” සුගත් මහතාගේ අදහසයි .”මම ඡන්දය දුන්නෙ කාටද කියල මගේ නෝනා වුණත් දැන ගත යුතු නැහැ ” ඒ මහතා වැඩිදුරටත් කීවේ ය.

තමා වෙනුවෙන්  වෙනත් තැනැත්තකු ඡන්දය සලකුණු කිරීමට කැටුව යාමේ  ක්‍රමය අතිශය දුෂ්කර කටයුත්තක් බව පෙනීමේ ගැටලු සහිත තැනැත්තන්ගේ මතයයි .මේ ක්‍රමයේ දී සෑම මැතිවරණයක දීම එනම් සෑම වසර පහකට ම සිවු වතාවක් ග්‍රාම නිලධාරීවරයා හමුවී ඉල්ලුම් පත් පිරවීමටත්  රජයේ වෛද්‍ය නිලධාරීවරයා හමුවී  සහතික කර ගැනීමටත් ඔවුනට සිදු වන බැවිනි. එනම් , තමා වෙනුවෙන් ඡන්දය භාවිත කිරීම සඳහා කෙනකු කැටුව යාම සඳහා ඔවුන් සෑම මැතිවරණයක දීම ඉල්ලුම් පත් සහ වෛද්‍ය සහතික අලුතින් ඉදිරිපත් කළ යුතු වන බවය.

 

දෙවන ආකාරය වන්නේ ,විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තකු ඡන්ද පොළ ස්ථානාධිපතිවරයා ගේ සහය ඇතිව ඡන්දය භාවිත කිරීමයි. එහි දී සිදු වනු ලබන්නේ , ඡන්ද පොළට ගොස් තමා විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තකු බව ඡන්ද පොළ ස්ථානාධිපතිවරයාට පැහැදිලි කර තමා වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීමට ඔහුගේ සහය ගැනීමයි .එවිට තවත් ඡන්ද පොළ නිලධාරියකු ඉදිරියේ ස්ථානාධිපති විසින් අදාළ තැනැත්තාගේ ඡන්දය සලකුණු කරනු ලැබේ .

 

ඉහත ක්‍රම දෙකෙහි දීම ( තමා වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීමට වෙනත් තැනැත්තකු කැටුව යාම හෝ ඒ සඳහා ඡන්දපොළ ස්ථානාධිපතිවරයා ගේ සහය ලබා ගැනීම )   ඍජු , රහසිගත ඡන්දයක් යන කාරණය  උල්ලංඝනය වන බව සමීක්ෂණයට සහභාගි කරගත් පිරිස අතරින් වැඩි දෙනාගේ අදහස විය .තවත් අතෙකින්  මැතිවරණ ( විශේෂ විධිවිධාන ) පනත මගින් ආබාධිත තැනැත්තන්ට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දී ඇති නමුත් එමඟින් ඔවුන්ගේ දේශපාලන සහභාගිත්වය නමැති මාතෘකාව පුළුල් ව ආමන්ත්‍රණය නො කරන බව සමීක්ෂණයට සම්බන්ධ වූ ප්‍රසන්න වික්‍රමසිංහ මහතාගේ අදහස විය.

” අපට පහසු කෙනෙක් එක්ක යන්න. එයා ලවා ම ඡන්දය ලකුණු කරන්න වත් පහසුකම තියෙනව නම් හොඳයි. දැන් එහෙම නැහැ. රජයේ නිලධාරින් බලා ඉන්නවා. ඡන්දය සලකුණු කරන්නේ එයාල. එයාල අපේ  මතය දැනගන්නවා , ඡන්දය ස්වාධීන නැහැ.” ඔහුගේ අදහසයි.

පෙනීමේ පූර්ණ හෝ අර්ධ දුෂ්කරතා සහිත ඡන්ද දායකයන් සඳහා හොංකොං හි ක්‍රියාත්මක , අපේක්ෂක නාම ලේඛනය බ්‍රේල් ක්‍රමයට ලබා දීම වැනි ක්‍රමයක් මඟින් මැතිවරණ සඳහා සහභාගීත්වය ඉහළ නැංවිය නොහැකිද යන ප්‍රශ්නයේ දී වැඩි දෙනකුගේ මතය වූයේ තමන්ට බ්‍රේල් ක්‍රමය නොවැටහෙන බවයි.

ජීවිතයේ පසු කාලයක දී පෙනීම අහිමි ව සිටින උපාධිධාරියකු වන විජේරත්න මහතා පවසන්නේ , තැපැල් ඡන්දය වැනි ක්‍රමයක් තමන් වැනි අය සඳහා ක්‍රියාත්මක වන්නේ නම් පහසුවක් බවයි.

” ගෙදරට ම ඇවිත් ඡන්දය ලකුණු කර ගන්න ක්‍රමයක් හැදුණොත් හොඳයි. සමහර විට ඡන්ද පොළට යන්න ගෙදර කෙනෙක් නැති වෙන්න පුළුවනි. හිටියත් දේශපාලන අදහස් වෙනස් නම් එක්ක යන්න උනන්දු නොවෙන්නත් පුළුවනි.” ඔහු කියයි.

 

ඡන්දදායකයකු ලෙස දැනුවත් ව රටේ මහජන නියෝජිතයන් තෝරාපත්කර ගැනීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක වීමටත් මහජන නියෝජිතයකු ලෙස පත්වීමටත් ඇති අයිතිය මානව අයිතිවාසිකමකි . ශ්‍රී ලංකාව ද අපරානුමත කර ඇති ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ 2007 සම්මුතියේ 29 වගන්තිය අනුව ද විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ දේශපාලන සහභාගිත්වය තහවුරු කිරීමේ වැදගත්කම පැහැදිලි කර තිබේ . ඒ අනුව රටේ මහජන නියෝජිතයන් පත්කර ගැනීමට සක්‍රියව දායක වීමටත් මහජන නියෝජිතයකු ලෙස පත්වීමටත් ඔවුනට අයිතිය තිබිය යුතු වේ . එහෙත් පවතින රාමුව තුළ ඔවුනට සක්‍රියව දායක වීමේ අයිතිය ලබා දීම වෙනුවට සිදුව ඇත්තේ ඡන්දය සලකුණු කිරීමේ ක්‍රියාවලියේ දී පවා ඔවුන් මන්දෝත්සාහී කරවීම බව සමීක්ෂණයට සහභාගී වූ පිරිස ගේ අදහස විය.

 

ඡන්දය සලකුණු කිරීමට තැනැත්තකු කැටුව ගියා වුව ඡන්ද පොළ ස්ථානාධිපති සහ තවත් ඡන්ද පොළ නිලධාරියකු ඉදිරියේ විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තාගෙන් විමසා ඡන්දය ලකුණු කරන්නට සිදුවීමෙන් ස්වාධීන  ඡන්දයක් යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය බිඳවැටෙන බව පෙනේ . ඡන්ද පොළ ස්ථානාධිපතිගේ සහය ලබා ගැනීමේදී ද තත්වය එයමය  .

 

යමකුගේ ඡන්දය භාවිත කිරීමට තවෙකකු ගේ සහය පැතීමට සිදුවීමෙන් ඡන්දයේ ස්වාධීනත්වය බිඳවැටීමේ ගැටලුවට විසඳුම් වශයෙන් ලොව වෙනත් රටවල විවිධ ක්‍රමවේද අනුගමනය කෙරේ . නිදසුන් වශයෙන් , ස්පාඤ්ඤය විසින් 2007 වසරේ දී බ්‍රේල් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දුන් අතර ඡන්ද දායකයාට අපේක්ෂකයන් පිළිබඳ ශ්‍රවණය කළ හැකි දුරකතන මාර්ග පද්ධතියක් හඳුන්වා දුන්නේ ය  .පිලිපීනය ,ඉන්දුනීසියාව වැනි රටවල්  උපකාර කරන්නකු කැටුව යාමට අවසර ලබා දීම , බිම් මහලෙහි ඡන්ද පොළවල් ලබා දීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ පෙනීමේ දුර්වලතා සහිත  ප්‍රජාව මෙන්ම ඇවිදීමේ අපහසුතා සහිත වැනි විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව  මැතිවරණ ක්‍රමය තුළට සක්‍රීය ලෙස අන්තර්ග්‍රහණය කර ගැනීමට උත්සාහ දරයි . ඉන්දියාවේ ද 2016 අංක 49 දරන ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පනත මගින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් මැතිවරණ ක්‍රමයට සක්‍රිය ලෙස ඇතුළත් කර ගැනීමට කටයුතු කර තිබේ .ඒ අනුව එවැනි තැනැත්තන්ට ප්‍රවේශ පහසුකම් සහිතව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගැනේ .ඡන්දය සඳහා භාවිත වන අමුද්‍රව්‍ය සහ ලිපිලේඛන ඔවුනට අවබෝධයෙන් යුතුව භාවිත කළ හැකි බවට සහතික කිරීම ඉන්දීය ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සහ ප්‍රාන්ත මැතිවරණ කොමිෂන් සභාවල වගකීමක් බවද ප්‍රකාශ කර තිබේ .

 

ඡන්දය සලකුණු කිරීමට වෙනත් තැනැත්තකු ගේ සහය ලබාගැනීමට අමතරව ඉන්දියාවේ විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයනට ලැබෙන අයිතිවාසිකම් අතරට ;  අන්තර් ජාලය හෝ කෙටි පණිවුඩ මගින් වාහන නැවැත්වීමට ස්ථානයක් වෙන්කර ගැනීම , ඡන්ද මධ්‍යස්ථානය තුළ භාවිත කිරීමට රෝද පුටුවක් ලබා ගැනීම , ඡන්ද මධ්‍යස්ථානය තුළ අනිවාර්ය අවම පහසුකම් සහතික කිරීම :  එනම් , ඡන්දය සලකුණු කරන ස්ථානය වෙත බාධා රහිතව ගමන්කිරීමට ඉඩකඩ සලසා තිබීම , අවශ්‍ය තැනැත්තන්ට අමතර විදුලි ආලෝකය ලබා දීම , බ්‍රේල් මාධ්‍යයෙන් උපදෙස් පත්‍රිකා සකස් කර තිබීම ඇතුළත් ය .ඉන්දීය මැතිවරණ ක්‍රමයේ විශේෂයෙන් කැපීපෙනෙන ලක්ෂණය වන්නේ විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන්ට සහ ඔවුනට සහය වන්නන්ට පෝළිමේ රැඳී සිටීමෙන් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දී තිබීම ය.

 

අප කළ  සමීක්ෂණයට සහභාගී වූ පිරිස අතරින් දහ දෙනකුගේම අදහස් වලින් පැහැදිලි වූයේ ඡන්ද පෝළිමේදී සහ ඡන්ද මධ්‍යස්ථානය තුළ ඔවුන්ට  , තමන් අවට සිටින්නන් ගේ අනවශ්‍ය අවධානයට යොමුවන බවක් හැඟෙන බවය. මඟතොට දීත් වෙළෙඳ සල් ආදියෙහි දීත් එය එසේ වන  නමුත් ඡන්ද පොළේ දී එසේ අවධානයට ලක්වීම තමන්ට අපහසුතාවක් බවත් මැතිවරණ ක්‍රියාවලියට දායක වීම මන්දෝත්සාහී වීමට එය එක් හේතුවක් වී ඇති බවත් ඔවුහු කීහ .

 

මෙකී තත්ත්වයට විසඳුම් ලෙස යොදා ගත හැකි ,

 

පූර්ණ පෙනීමේ දුර්වලතා සහිත ( blind ) සහ අර්ධ දුර්වලතා සහිත (partially blind ) ඡන්ද දායකයන් සඳහා  දුරකතන මාර්ගයෙන් ඡන්දය දිය හැකි ක්‍රමයක් ඕස්ට්‍රේලියාව විසින් හඳුන්වා දී තිබේ . එහි දී , දුරකතනයෙන් ඡන්දය දීමට ලියාපදිංචි වන තැනැත්තා ඇමතුම් මධ්‍යස්ථානයට ( call centre ) අමතනු ලබන අතර මැතිවරණ සහකාරයකු ( voting assistant ) විසින් ඡන්ද දායකයාගේ මනාපය ඡන්ද පත්‍රිකාවෙහි සලකුණු කරනු ලැබේ . ඉන් පසුව ඡන්ද දායකයා දෙවැනිව ද මැතිවරණ සහායකයකු වෙත යොමු කෙරෙන අතර එමගින් ඡන්ද දායකයාගේ මනාපය නිවැරදිව සලකුණු වී තිබේ ද යන වග සහතික කෙරේ .

 

දුරකතනයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම වැනි ක්‍රමයක් මෙරට පෙනීමේ දුර්වලතා සහිත ඡන්ද දායකයන් සඳහා ගැලපේ ද යන ගැටලුවට හය දෙනකු ම දැක්වූ ප්‍රතිචාරය ;  නිලධාරීන් ඇතැම් විට පක්ෂග්‍රාහී විය හැකි ය යන සැකය තමන් තුළ පවතින බවයි. එසේම එවැන්නක දී සලකුණු කරන නිලධාරින් කෙරෙහි විශ්වාසය ඡන්ද දායකයාට තහවුරු කිරීම සඳහා වැඩසටහනක් අවශ්‍ය වනු ඇති බවයි .අදහස් දැක්වූ  සමහරකු කීවේ , තමාගේ මනාපය සලකුණු කළ යුත්තේ කාටදැයි තමා කියන නමුත් එය එලෙස ම සලකුණු කළේ දැයි  සීයට සීයක් විශ්වාස නැති බවය .එනම් ඡන්ද පොළ නිලධාරීන් ගේ අපක්ෂපාතී බව හෝ ස්වාධීනත්වය පිළිබඳ හෝ අවිශ්වාසයක් මෙරට දෘශ්‍ය දුර්වලතා සහිත  ප්‍රජාව තුළ පවතින බව සමීක්ෂණය අනුව තහවුරු වේ. එසේම , මෙරට දුරකතන සම්බන්ධතා බහුල නොවීම ද දුරකතන සංඥා දුර්වලතා ද එහි දී සෘණාත්මකව බලපානු ඇත .

 

සමීක්ෂණයට සහභාගි කර ගත් 15 දෙනා අතරින් 10 දෙනකුට ම  බ්‍රේල් ක්‍රමය පිළිබඳ අවබෝධයක් නො තිබුණු බැවින් ඡන්ද පත්‍රිකා බ්‍රේල් ක්‍රමයට ලබා දීම වැනි පියවරක් මෙරට දී භාවිත කිරීම ප්‍රායෝගික නොවන බව පෙනුණි . විශ්වාසවන්තයකු ඡන්දය සලකුණු කිරීම සඳහා කැටුව යාම සඳහා පවතින දුෂ්කරතා මඟහැරවිය හැකි නම් එය පෙනීමේ දුර්වලතා සහිත පමණක් නොව ඇවිදීමේ හැකියාව නොමැති , තම ඡන්ද පත්‍රිකාව තමාට ම සලකුණු කිරීමේ විවිධ අපහසුතා සහිත වෙනත්  ඡන්ද දායකයන් ද මැතිවරණ ක්‍රියාවලිය සඳහා සක්‍රියව මැදිහත් කර ගැනීමට උපකාරී වනු ඇති බව පෙනේ . ජීවිතයේ එක් වරක් ස්වකීය තමා විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තකු බව වෛද්‍ය සහතිකයක් මගින් ඔප්පු කරන අයකුට මැතිවරණය සඳහා භාවිත කළ හැකි  හැඳුනුම් පතක් ලබා දීම වැනි සරල පියවරක් මඟින් ඉහත ගැටලුවට සාර්ථක විසඳුමක් ලබා දිය හැකි වනු ඇති බව වැඩි දෙනකුගේ අදහසයි.  එවැනි පුද්ගලයන් සඳහා තැපැල් ඡන්ද ක්‍රමයක් හෝ ඊට සමාන වෙනත් ක්‍රමයක් හඳුන්වා දීම ද සාධනීය වනු ඇතැයි සිතිය හැකිය. එසේ ම එවැන්නන් ගේ ඡන්දය ඔවුන් නිවසන ස්ථානයට ගොස් සලකුණු කර ගන්නා ක්‍රමයක් හඳුන්වා දිය හැකි නම් එක් අතෙකින් කැටුව යන්නකු නොමැතිකමින් ඡන්ද පොළට නොයන ඡන්ද දායකයන්ගේ ගැටලුවට විසඳුමක් ලැබෙනවා සේම වැඩිහිටි නිවාස වැනි රක්ෂස්ථානයන්හි වෙසෙන තැනැත්තන්ගේ ඡන්ද අයිතිය ද එමඟින් තහවුරු වනු ඇත .

 

සමීක්ෂණයෙන් තහවුරු වූ තවත් කරුණක් වන්නේ මැතිවරණය යනු පෙනීමේ දුෂ්කරතා සහිත තැනැත්තන්ට එතරම් අදාළ නොවන සහ වැදගත් නොවන කටයුත්තක් ය යන හැඟීමක් ඔවුන්ගේ පවුල්වල අය තුළ මෙන්ම  පෙනීමේ දුෂ්කරතා සහිත ඇතැම් පුද්ගලයන්   අතර ද පැවතීම ය අඩු අධ්‍යාපන පසුබිමක් සහිත පිරිස අතර එම මතය බහුල බව පෙනිණ .එහි යටි අරුත වන්නේ ඡන්ද අයිතිය නමැති මානව හිමිකම ඔවුන්ගේ සමීපතමයන් විසින් ම ඔවුනට අහිමි කර ඇති සේම  ඔවුන් විසින්මත් එම අයිතිය අහිමි කරගෙන  ඇති බවය . එකී කරුණට විසඳුම් සෙවිය හැකි වන්නේ ආකල්පමය වෙනසක් මඟිනි .විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් යනු සමාජයේ ම කොටසක් බවත් අන් අයට සේම  රටේ තීන්දු ගැනීමේ ක්‍රියාවලියට ක්‍රියාකාරී ව දායක වීමේ අයිතිය ඔවුන්ටත් ඇති බවත් පොදු සමාජය අවබෝධ කර ගත යුතුව ඇති බව පෙනේ.

සමීක්ෂණයේ දී තහවුරු වු කරුණ වන්නේ ,සහභාගී වූවන් අතරින් 13දෙනකුම තමාගේ ඡන්දය තමාට විශ්වාසවන්ත අයකු විසින් සලකුණු කළ යුතුය යන මතය දැරූ බවයි. ඡන්දපොළ නිලධාරියකු විසින් සලකුණු කිරීමෙන් තම විශ්වාසයත් ස්වාධීනත්වයත් බිඳවැටෙන බව ඔවුන්ගේ අදහසයි. යම් ඡන්ද දායකයකුට ඒ සඳහා විශ්වාසය තැබිය හැකි කෙනකු නොමැති නම් හෝ තමා කැමැති කෙනකු කැටුව යාමට විධිවිධාන නොසැලසෙන්නේ නම් තමන් කැමැති ඡන්දපොළ නිලධාරියකු හෝ ඒ සඳහා තෝරා ගැනීමේ අයිතිය තිබිය යුතුය යන්න වැඩි දෙනකුගේ මතයයි.

අනුර කේ එදිරිසූරිය .

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *