ගොවිතැන් විනාශ මුඛයේ, රසායනික පොහොර දෙන්න රජය වහා මැදිහත් වීය යුතුයි – එජාප සභාපති වජිර අබේවර්ධන

නොමිලේ පොහොර ලබාදෙන බවට පොරොන්දු දී බලයට පැමිණි පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව කෘෂිකර්මාන්තය මුළුමනින්ම විනාශ මුඛයට තල්ලුකර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

රසායනික පොහොර ගෙන්වීම පුද්ගලික අංශය මත පැටවීම බරපතල ඛේදවාචකයක් බව පෙන්වාදුන් වජිර අබේවර්ධන මහතා රජය මැදිහත් වී වහාම රසායනික පොහොර ගෙන්වීමට පියවර ගතයුතු බව අවධාරණය කළේය.

රසායනික පොහොර ගෙන්වීමට රජය ගෙන ඇති තීරණය සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උද්ගතව තිබෙන තත්ත්වය සම්බන්ධව අද (25) මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා තවදුරටත් මෙසේද කීය.

රජය මාස 06 කට පස්සෙ අවුරුදු 1 1/2 ක පමණ කාලයකට කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කරලා අවසානයේ ගැසට් එක ඉවත් කරගෙන රසායිනික පොහොර ගේන්න අවසර දීලා තියෙනවා පුද්ගලික අංශයට.

පුද්ගලික අංශයට අවසර දුන්නට වැඩක් නැහැ. රටේ ඩොලර් සංචිතය නොමැතිව ලෝකයේ සමාගම් වලින් පොහොර ශ්‍රී ලංකාවට ආනයනය කරගන්න ආණ්ඩුවට ශක්තියක් නැහැ. මෙවැනි පරිසරයකදී පුද්ගලික අංශයට මෙය පැටවීම ඊටත් වඩා භයානක කාරණයක්. ඇත්තවශයෙන් රජයකින් රජයකට පොහොර ආනයනය කරනවා නම් රජය කෙරෙහි තියෙන විශ්වාසය උඩ වසරක දෙකක කාල සීමාවට ග්‍රේඩ් පීරියඩ් එකක් ඇතුලත් ‍වෙනවා.

හැබැයි දැන් මේ කරලා තියෙන වැඩෙන් වෙන්නේ ලබන අවුරුද්දේ අප්‍රේල්, මැයි වෙනකොට රටේ අල කිලෝ 1 රුපියල් 800 ට විතර යන එකයි. එළවළු හැම එකම රුපියල් 500 ට එහා යනවා. වර්තමානයේ ගෙන්වන පොහොර විකුණන්න වෙන්නේ රුපියල් 7000 කට විතර. මේ රජය බලයට පත් වුනේ පොහොර නිකන් දෙනවා කියලා. ඒ නිසා තමයි සමස්ත ගොවි ජනතාව අත්පොළසන් දීලා මේ ආණ්ඩුව පත් කරගත්තේ.

දැන් නිකනුත් පොහොර නැහැ, 350 ටත් නැහැ , 1500 ටත් නැහැ. මුළු මහත් රටේම තේ, පොල්, රබර්, එළවළු ඇතුළු සියලුම වගාවන් විනාශ මුඛයට ගිහින් ඉවරයි. තේ කර්මාන්තය මේ මොහොත වන විටත් විනාශ වී අවසානයි. රජයට ආදායම් ලැබෙනවා තේ වලින් ඩොලර් මිලියන 300 ක පමණ ප්‍රමාණයක්.

ඒක ලබන වසරේ මැද භාගය විතර වෙනකොට ඩොලර් මිලියන 150 ට බහිනවා. මේ කරලා තියෙන විනාශයෙන් ගැලවෙන්න නම් බැහැ. ඒ නිසා රජය වහාම රසායනික පොහොර ගෙන්විය යුතුයි. පුද්ගලික අංශ පිට මෙය පැටවීම බරපතල ඛේදවාචකයක් හැටියටයි අපි හඳුන්වන්නේ.

ආණ්ඩුව මේ ගත්ත හිතුවක්කාර තීරණය නිසා සිදුවුණු විනාශය මුදලින් තක්සේරු කරන්න බැහැ. මේවා ගැසට් ගහලා අසාර්ථක වුනාම ආපහු ඉවත් කරනවා නම් ඇත්තටම ඒ ගැසට් ගහන්න කලින් තමයි මේවා කරන්න තිබුනේ. හොඳට මතක තබා ගත යුතු කාරණයක් තමයි මේ පොහොර කාරණය සම්බන්ධව දවසක් ප්‍රමාද වුනත් රටේ අස්වැන්නත් විනාශයටම තමයි යන්නෙ.

මේවා කරන්න ඕන සාකච්ඡා මාර්ගයෙන් පරිණත අයගෙන් උපදෙස් ලබාගෙන. ආවට ගියාට අරයගෙන් මෙයාගෙන් උපදෙස් අරගෙන රටක ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන තීන්දු තීරණ ගන්න බැහැ. මේ කර්මාන්තය පිළිබඳ විද්වතුන් මහාචාර්යවරුන්ගෙන් දැනුම අරන් මේවා කරන්න ඕන. මේ නිසා වුණු හානිය කොච්චරද කියන්න බැහැ. ඒක ගණනය කරන්න බැරි හානියක්.

දැන් ආණ්ඩුව උදම් අනනවා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ නිෂ්පාදන වැඩියි කියලා. එය කිසිසේත්ම පිළිගන්න බැහැ. ගිය අවුරුද්දේ මාස 3 ක් පෑව්වා. තේ කර්මාන්තයට ඒ නියඟයත් එක්ක දළු අඩු වීමක් සිදුවුණා. 2015 සිට මේ ගෙවුණු කාලය දෙස බලන විට  2021 අවුරුද්දේ රටේ හොඳම දේශගුණයක් පැවතුණා. ඉතින් මේ අවුරුද්දේ ඔය පොහොර ටික දීලා ගොවිමහත්වරු අමාරුවේ දාලා නොතිබුනා නම් සාමාන්‍යයෙන් තේ වලින් අවුරුද්දකට ගන්න මෙට්‍රික් ටොන් 300, මෙට්‍රික් ටොන් 340 ක් කරන්න තිබුණා. ගොවියන්ටත් එහෙම නම් යහපත් කාලයක් උදා වෙන්න තිබුණු වසරක් මේක. ඒක සම්පූර්ණයෙන් මේ රජය විසින් විනාශ කරලා දැම්මා කියලා කණගාටුවෙන් මේ බව සඳහන් කරන්න කැමතියි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *