ආර්ථික අර්බුදය අතිශයින් දරුණුයි , ගොඩයන්න ජාතික ආණ්ඩුවක් ඕනෑ – මහාචාර්ය රොහාන් සමරජීව

දැන් රට විශාල ආර්ථික අර්බුදයක් කරා ගමන් කොට ඇති බවත්, එයින් ගොඩ යාමට නම් තිත්ත බෙහෙත් දෙන්නත්, තිත්ත බෙහෙත් ගන්නත් සිදුවන බවත්, එහි වගකීම තනි පක්ෂයකට ගැනීම අපහසු බවත්, ඒ සඳහා සියලු පක්ෂ එකඟත්වයෙන් ජාතික ආණ්ඩුවක් ක්‍රියාත්මක කළ යුතු බවත්, මහාචාර්ය රොහාන් සමරජීව මහතා ප්‍රකාශ කරයි. දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රතාන්‍යයේ කොන්සර්වේටිව් සහ කම්කරු පක්ෂ එකට වැඩ කළ ආකාරයට මෙරට සියලු පක්ෂ එක් පොදු වැඩ පිළිවෙළකට එකඟ විය යුතු බව ද ඒ මහතා පවසීය.

පක්ෂ අතර සම්මුතියක් පවත්වාගෙන යාමට ඇති බරපතළ ම බාධකය වී ඇත්තේ ජනාධිපති තනතුර සතු විශාල බලය බවත්, සියලු පක්ෂ නියෝජනය වන පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම අවශ්‍ය බවත් , ඒ සඳහා 20 වැනි සංශෝධනය අතහැර 19 වැනි සංශෝධනයට යළි යා යුතු බවත්, ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

“ආර්ථිකයට ජාතික සම්මුතියක්” තේමාව යටතේ අඩ්වකාටා ආයතනය සංවිධානය කර තිබු සංවාදයක ප්‍රධාන දේශනය කරමින් ඒ මහතා ප්‍රකාශ කළේ අද පැමිණ ඇති අර්බුදය සමාන වන්නේ නවසිය තිස් ගණන්වල පැවති මහා අවපාතයට පමණක් බව යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන මහාචාර්ය  රන්ජිත් බණ්ඩාර සහ ආචාර්ය සුරේෂ් රාගවන්, සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා , චම්පික රණවක සහ ජනතා විමුක්ති පෙරමුණේ  විජිත හේරත් යන මන්ත්‍රීවරු මෙම සංවාදයට සම්බන්ධ වුහ.

අඩ්වකාටා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනත් ප්‍රනාන්දු  සහ එම ආයතනයේ පර්යේෂණ විශ්ලේෂක සත්‍යා කරුණාරත්න  විසින් සංවාදය මෙහෙයවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *