ජනාධිපති ගොටාභය, හිටපු ජනාධිපති මෛත්‍රීගේ ඡන්දයෙන් මෛත්‍රීට එරෙහිව පියවර ගන්න හදයි !!!

පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති , හිටපු අගමැති ඇතුළු ඇමති මණ්ඩලය ම වගකිව යුතු බවත්, ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ආණ්ඩුව සතු බවත්, ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළ අතර එහි දී ආණ්ඩුවට තුනෙන් දෙකක බලය ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඔහුගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දහ  හතරකගේත් ඡන්ද සමග බව ජනාධිපතිතුමාට අමතක වී ඇති බවක් පෙනෙන්නට තිබිණි.

ඒ අනුව හිටපු ජනාධිපතිට එරෙහිව ජනාධිපතිතුමා පියවර ගන්නට තර්ජනය කරන්නේ හිටපු ජනාධිපතිතුමාගේ ද ඡන්දය  ඔහුට එරෙහිව යොදා ගනිමිනි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වැරදිකරුවන්ගේ අයිතිවාසිකම් අහෝසි කිරීමට පාර්ලිමේන්තු පනතකින් වුවද කටයුතු කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ කළ කතාවේ දී අවධාරණය කළේ ය.

ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලයක් ආණ්ඩුව සතු බවත්, එබැවින් ඒ ආකාරයේ ඉල්ලීම් කරනවිට ප්‍රවේශම් සහගත විය යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අධි තාක්ෂණික කේබල් මත ඉදිකළ මෙරට ප්‍රථම එල්ලෙන පාලම වන ‘කල්‍යාණි රන් පිවිසුම‘ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (24) එක්වෙමිනි.

පසුගිය ජනාධිපතිවරණයේ දී සහ පසුගිය මහ මැතිවරණයේ දී තමාට සහ ආණ්ඩුවට විශාල ඡන්ද බලයක් ලබා දුන් ජනතාව එදා පිළිකුලෙන් යුතුව බැහැර කළ පිරිසට නැවත බලය ලබා දීමට කිසිසේත්ම සූදානමක් නැති බවද ජනාධිපතිවරයා එහිදී කීවේය.

හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා ප්‍රමුඛ පසුගිය අමාත්‍ය මණ්ඩලයම පාස්කු ප්‍රහාරයට වගකිව යුතු බවට කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිව සඳහන් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්ම කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වාර්තා ලබා දී ඇතැයි ද කීවේය.

පාස්කු කොමිසමෙන් වරදකරුවන් කර ඇති අය පිළිබඳව ජනාධිපති තුමා ප්‍රකාශ කළ ද එම කොමිසමේ සම්පුර්ණ වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට ලබා දී නැති අතර රහසිගතව තබාගෙන ඇත.

එම කොමිසමේ සම්පුර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දිය යුතු බවට ඉල්ලීමක් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සඳුදා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළේ ය. ජනාධිපතිතුමාගේ තර්ජනාත්මක කතාව එයට ප්‍රතිචාරයක් බව පෙනෙන්ට තිබේ. ඉල්ලීම් කරන විට පරිස්සමෙන් කරන්නැයි කරන තර්ජනය ඉහත කී ඉල්ලීමට අදාළ බව නිරීක්ෂකයන්ගේ මතය යි.

එහි තේරුම නම් අදාළ වාර්තාව තවදුරටත් රහසිගතව තබා ගැනීමට ජනාධිපතිතුමාට අවශ්‍ය බව සහ එය ඉල්ලසිටීම ගැන ද එතුමා කෝප වී ඇති බව යි.

අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් පියතුමා ඇතුළු කතෝලික ප්‍රජාව විරෝධතා දක්වන්නේ පාස්කු කොමිසමේ නිර්දේශ රහසිගතව තබා ගැනීම සහ එමගින් හෙළි කළ වගකිවයුත්තන්ට එරෙහිව පවා ඉදිරි  පියවර නොගැනීම පිළිබඳව ය.

යහපාලන ඇමති මණ්ඩලයට එරෙහිව පියවර ගන්නා බව ජනාධිපතිතුමා කීව ද, එහි ඇතැම් ඇමතිවරු මෙම ආණ්ඩුවේ ද ඇමතිකම් දරති. තවත් පිරිසක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු වෙති. ජනාධිපතිතුමාට යහපාලන ඇමති මණ්ඩලයේ උදවියට එරෙහිව පියවර ගැනීමට මෙම පිරිසගේ ද ඡන්ද අවශ්‍ය වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *