මා වරදක් කොට නැහැ , තනතුරින් යන්නේ නැහැ – පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්

කෘෂි රසායනික පහක් තහනම් කරමින් 2014 දී නිකුත්කොට තිබු ගැසට් නිවේදනය අවලංගු කොට නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තමන් ගත්  ක්‍රියාමාර්ගයට පලිබෝධ නාශක තාක්ෂණික සහ උපදේශක කමිටුවේත්, කැබිනට මණ්ඩලයේත්, නීතිපති දෙපාර්තමේන්තුවේත් අනුමැතිය ලැබී ඇති බවත්, තමන් කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු කොට නැති බවත්, එබැවින් තනතුරින් ඉවත් නොවන බවත්, පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජේ ඒ සුමිත් මහතා කියයි.

සියලු අනුමැතියන් සහිත එම ගැසට් නිවේදනය නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියට යොමු කොට තිබු බවත්, එම  අනුමැතිය පසුගිය සතියේ ලැබුණු පසු ඒ අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවත්, ඒ මහතා කියයි.

එබැවින් තනතුරින් ඉවත්ව යාමට කිසිදු අවශ්‍යතාවයක් නැති බව සුමිත් මහතා ප්‍රකාශ කොට ඇත.

මෙබඳු නිලධාරියකු ඉවත් කිරීමේ දී රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය අවශ්‍ය වන අතර , කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියන්නේ කොමිසන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ජේ ඒ සුමිත් මහතා අමාත්යංශය වෙත මාරු කර ඇති බව යි.

මේ සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්ත්වයක් මතුවිය හැකි බව අපේ ආරංචි මාර්ග කියයි.

මේ අතර සියලු කෘෂි රසායනික තහනම් කරමින් රජය පසුගිය මැයි 6 දා නිකුත් කොට තිබු ගැසට් නිවේදනය රජය අද අවලංගු කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *