කෘෂිකර්ම විශේෂඥයන්ට ජනාධිපති තග දමයි ; තම ප්‍රතිපත්තිය කරන්න බැරි නම් යන්න කියයි

රසායනික පොහොර තහනම් කිරීම නිසා රටේ කෘෂිකර්මය මේ වනවිට මුහුණ දී ඇති අර්බුදය හමුවේ නම්‍යශීලී ප්‍රතිපත්තියක අවශ්‍යතාවය අවධාරණය කළ කෘෂිකර්ම විශේෂඥයන්ට තර්ජනාත්මකව ප්‍රතිචාර දැක්වූ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා රජයේ ප්‍රතිපත්තිය සම්පුර්ණ හරිත කෘෂිකර්මය බවත්, එය කළ නොහැකි යයි සිතන අයට ඉවත්ව යා හැකි බවත් ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. රසායනික පොහොර සහ කෘෂි රසායනික ආනයනය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අද උදේ පැවති සාකච්ඡාවේ දී මෙම තත්ත්වය ඇති වී තිබේ.

රටේ ආහාර සුරක්ෂිතතාවයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවත්, කෘෂි රසායනික සම්බන්ධයෙන් රජයේ පිළිවෙත ලිහිල් කළ යුතු බවත්, කෘෂිකර්ම නිලධාරීන් සහ විශේෂඥයන් පෙන්වා දීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමා මෙම ප්‍රකශය කොට තිබේ.

රජයේ ප්‍රතිපත්තිය සම්පුර්ණ කාබනික ගොවිතැන බවත්, ගොවීන් එයට විරුද්ධ වන්නේ අනවබෝදයෙන් බවත් , ප්‍රකාශ කළ ජනාධිපතිතුමා පවසා ඇත්තේ කෘෂිකර්ම නිලධාරීන් ක්‍රියා කළ යුත්තේ නොමග ගිය ජනතාව දැනුවත් කිරීමට බවයි.

ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික අවශ්‍ය ප්‍රමාණවලින් , පාලනයකින් යුතුව,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කිරීමේ අදහස ප්‍රතික්ෂේප කළ ජනාධිපතිතුමා එම අවශ්‍ය කෘෂි රසායනික ගෙන්වීම සහ බෙදාහැරීම පෞද්ගලික අංශයෙන් පමණක් සිදුකළ  යුතු බව ප්‍රකාශ කොට ඇත. රජය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියා කළ යුත්තේ කාබනික පොහොර ලබාදීමට සහ හරිත කෘෂිකර්මය ප්‍රවර්ධනයට පමණක් බව ද ජනාධිපතිතුමා අවධාරණය කොට තිබේ. එසේ කළ නොහැකි නිලධාරීන්ට ඉවත්ව යා හැකි බව ද ජනාධිපතිතුමා තර්ජනාත්මකව ප්‍රකාශ කළ බව ද වාර්තා වෙයි.

කෘෂි රසායනික ප්‍රතිපත්තිය ලිහිල් කොට අවශ්‍ය රසායනික පාලනයකින් යුතුව නිකුත් කිරීමේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ජනාධිපතිතුමාට ලබා දී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් උදිත ජයසිංහ මහතාගේ නායකත්වයෙන් රැස් වූ කෘෂි විශේෂඥයින් එකොලොස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *