මහින්ද යුගයේ වංචා දූෂණ කළ 16කට FCIDයෙන් නඩු

 

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයන් ලෙස ‍හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු දේශපාලනඥයන් සහ නිලධාරින් දහසය දෙනකුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා අධිචෝදනා භාරදුන් බව නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා මාධ්‍යවෙත පවසා තිබේ.

නඩු පැවරූ සෙසු පිරිස අතර විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට, විනිමය සුරැකුම් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා, උතුරු මැද පළාතේ හිටපු ඇමැති ආනන්ද සරත් කුමාර ඇතුළු නිලධාරීහු කිහිපදෙනෙකුද වෙති.

මේ යටතේ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව දිවි නැඟුම, ඉසුරුමත් නිවහන ව්‍යාපෘති යටතේ රුපියල් මිලියන දෙදහස් නමසිය අනූදෙකක් පිළිබඳ සාපරාධි සාවද්‍ය මුදල් පරිහරණය හා දිවි නැඟුම ව්‍යාපෘතිය යටතේ ලිත් මුද්‍රණය කිරීමකට අදාළව නඩු දෙකක් මහාධිකරණය හමුවේ පවරා ඇත.

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්ට රජයේ මුදල් රුපියල් මිලියන හයසියයක් සාපරාධි සාවද්‍ය පරිහරණය පිළිබඳව නඩු පැවරීම සිදු කර තිබේ.

සතොස සතු මුදල් වයඹ පළාත් සභාවේ මැතිවරණ කටයුතු සඳහා යෙදවීම සම්බන්ධයෙන් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පවරා ඇත.

විනිමය සුරැකුම්පත් කොමිසම සතු රුපියල් මිලියන පහක මුදලක් තාරුණ්‍යයට හෙටක් වැඩසටහනට ලබාදීමට එරෙහිව නාලක ගොඩහේවා මහතාට නඩු පවරා තිබේ.

සෙවිලි තහඩු සාවද්‍ය සාපරාධි පරිහරණයට ලක් කිරීමේ චෝදනාව යටතේ හිටපු පළාත් සභා ඇමති ආනන්ද සරත් කුමාර මහතාට එරෙහිව නඩු පවරා ‍ඇත.

විදුලියබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවල පොලිය සම්බන්ධයෙන් සාවද්‍ය සාපරාධි පරිහරණය පිළිබඳව විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිවත් නඩු පවරා තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ලිපි ගොනු පනස්දෙ‍කක් නීතිපතිවරයා හමුවට යොමු කර ඇති බවත් එක ලිපි ගොනුවක් පිටු සීයේ සිට දෙසීය දක්වා ප්‍රමාණයක් වන බවත් ඒවාට අයත්වන ලේඛනද එවන් ප්‍රමාණයකින් බවතින බැවිනුත්ඒ සියලුම ගොනු සීරුවෙන් පරීක්ෂාවට යොමු කළ යුතු වන බවත් නීතිපතිවරයා පවසා සිටී.

එවන් බැරෑරුම් තත්ත්වයක් යටතේ තම දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැඩි වෙහෙසකින් යුතුව ඒ සම්බන්ධව ක්‍රියාකර ගෙන යන බවත් නීතිපති ජයන්ත ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

(LankaTruth වාර්තාවකි )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *