තැන තැන හදා ඇති කාබනික පොහොර වී ගොවිතැනට නුසුදුසුයි ; ජනාධිපතිගේ ඔයාමඩුව සංචාරයෙන් හෙළිවෙයි

රජයේ ආයතන මගින් පසුගිය කාලයේ හිතු මතේ නිෂ්පාදනය කොට ඇති කාබනික යයි කියන පොහොරවල වී ගොවිතැන සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කොට ඇති ප්‍රමිතිය නැති බවත්, එම පොහොර යෙදීමෙන් හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා පසුගිය දා අනුරාධපුර ඔයාමඩුවේ කාබනික පොහොර නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කිරීමෙන් පසු කරන ලද විමසුම් මගින් මෙම තත්ත්වය හෙළි වී තිබේ.

වී ගොවිතැනට යෙදීම සඳහා සුපෝෂිත කාබනික පොහොර ලෙස නිර්දේශයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇත. ඒ අනුව කාබනික පොහොරට අමතර ඇමෝනියා එක් කොට ඒවායේ ඇමෝනියා ප්‍රතිශතය සියයට 10 මට්ටමට ඉහළ නැංවිය යුතු ය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය වන්නේ එලෙස සකස් කළ සුපෝෂිත පොහොර වී ගොවිතැනේ මුල් අවස්ථාවේ යෙදිය යුතු බවයි.

කෙසේ වෙතත්, රජයේ ආයතන විසින් විවිධ ස්ථානවල කාබනික ලෙස නිපදවන පොහොර මෙම සුපෝෂිත තත්ත්වයට පත්කොට නැති බව කියති. එම පොහොර වී ගොවිතැනට යෙදීම ඵලදායි නොවන බව කෘෂි විශේෂඥ මතය වී තිබේ.

එබැවින් එම පොහොර වී ගොවිතැනට යෙදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කොට නැති බව කියති.

එම තත්ත්වය හේතුවෙන් ගොවීන්ට මෙවර මහ කන්නය වගා කිරීමට සිදුව ඇත්තේ කිසිදු පොහොරකින් තොරව ය. ආණ්ඩුව ගෙනා බව කියන නැනෝ යුරියා ද බොහෝ ප්‍රදේශවල ගොවීන්ට ලැබී නැත.

බොහෝ ප්‍රදේශවල ගොවීහු ගොවිතැන් කටයුතුවලින් වැළකී සිටීමට තම ගොවි බිම් වලින් අඩක් පමණක් වග කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වන්නේ මෙම තත්ත්වය තුල ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *