අලි නිදහස් කිරීමේ නියෝගය වෙනස් නොවේ !

ඇතින්න මරා කැළෙන් අල්ලාගත්තා යැයි කියන අලි පැටවුන් ජාවාරමට අදාළ නඩුව පසුගිය 18වෙනිදා විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපති දෙපාර්තුවේ කරුණු විමසීමක් නොමැතිව එකී අලිපැටවුන් බැඳුම්කරයක් මත තාවකාලිකව චුදිතයින්ට මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහින් පිළපිටිය දුන් නියෝගය සුළු සංශෝධනයක් සහිතව එසේම ක්‍රියාත්මක කිරීමට නියෝග කළ බව වාර්තා වේ.
උක්ත නඩුව මැයි මස් 22වෙනි දින නැවත විභාගයට ගත් අවස්ථාවේ දී චුදිතයින්ට ම නඩු භාණ්ඩ ලබා දීම රටේ ඇති නීති රාමුවට අනුව නීති විරෝධි බව රජයේ අධිනීතිඥ දිලීප පීරිස් මහතා කරුණු සහිතව මහේස්ත්‍රාත්වරයාට පෙන්නා දුන්නේ ය. වන ජීවි හා වෘක්ෂ ලතා අඥාපනත යටතේ රජයේ පොදු දේපලක් වන මෙම අලි පැටවුන් නඩුව නිමවන තුරු රජයේ භාරයේ තවදුරටත් සිටිය යුතු බව වැඩි දුරටත් කියා සිටියේ ය.
විත්තියේ නීතිඥයින්ගේ තර්කය වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුද්ධාගමේ ආක්ෂාවට ප්‍රමුඛ ස්ථානයක් හිමිවන බැවින් ඉදිරි මාස කිහිපය තුල පැවැත්වීමට නියමිත පෙරහැරවල් සඳහා මේ අලි මුදා හැරීම නීති විරෝධී නොවන බව ය. පාරිලෛය වනයේ දී බුදුන්ට ද උවටැන් කළ පූජනීය සත්වයෙකු වූ අලියා බෞද්ධ සංස්කෘතියේ සංකේතයක් බව ද කියා සිටි විත්ති පාර්ශවයේ නීතිඥයෝ මෙය බෞද්ධ සංස්කෘතිය විනාශ කිීමේ එන් ජී කුමන්ත්‍රණයක් බව ද වැඩි දුරටත් තර්ක කළේ ය.
මේ නඩුව පිළිබඳව උනන්දුවක් දක්වන පුරවැසියන් තිදෙනෙකු වන ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණි උයන්ගොඩ, සහ මහින්ද රත්නායක යන අයවලුන් පැමිණිලි පාර්ශවයෙන් සම්බන්ධවීමට අවසර දෙන ලෙස ඉල්ලමින් නීතිපති දෙපාර්තමේන්තුවට සහාය පිණිය නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ද මේ නඩුවට පෙනී සිටියේ ය.
ඇතින්නන් මරා හෝ නිර්වින්දනය කොට කැලෙන් අල්ලා ගන්නා ලද බවට සැකකරන මෙම අලි පැටවුන් පෙරහැරේ ගෙන යෑමෙන් බුද්ධාගම ද නැතිවෙනවා මිස රැකෙන්නේ කෙසේ ද යන්න උසාවියේ දී ප්‍රශ්න ළේ ය. බුද්ධාගමට මුවා වී හොරෙන් අල්ලාගත් බවට සැකකරන අලි මුදාහැරීමට රටේ පවතින නීතියෙන් ප්‍රතිපාදන ලබාදී නැති බව නීතිඥය කුමාරප්පෙරුමගේ තර්කය විය.
දෙපාර්ශවයේම කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත් පිළපිටිය එක් අලියෙකුට නියම කර තිබු බැඳුම්කරය රුපියල් කෝටියේ සිට කොටි 3ක් දක්වා වැඩිකර, හා මාස 3ට අදාළව දී තිබු නිදහස් කිරීම මාසයක් දක්වා අඩුකර චුදිතයින්ට ම අලිපැටවුන් නිදහස් කිරීමට නැවතත් නියෝග කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *