ජනාධිපති ඊයේ බලන්න ගිය ඔයාමඩුව පොහොරවලට ප්‍රමිතියක් නැහැ ; ගොවීන්ට නිකුත් කොට නැහැ

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඊයේ නිරීක්ෂණය කළ අනුරාධපුර ඔයාමඩුවේ නිෂ්පාදනාගාරයේ කාබනික පොහොර සඳහා කිසිදු ප්‍රමිති සහතිකයක් නැති බවත්, ඒවා යොදා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ කිසිවක් නැති බවත්, මේ වනතෙක් කිසිදු ගොවියකුට එම පොහොර නිකුත් කොට නැති බවත්, වාර්තා වෙයි.

අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත පිහිටි මෙම කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ඊයේ ලක්විය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින්  මෙහි කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලබන අතර ඒ සඳහා ජපන් ජබර, ගිනිසීරියා, කුකුළු අපද්‍රව්‍ය, වියළි ගොම සහ එප්පාවල රොක් පොස්පේට්, අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා බව කියති.

කෙසේ වෙතත්, නිරීක්ෂණයේ දී හෙළිදරව් වුයේ මෙහි නිපදවන පොහොර ඒ දක්වා ගොවීන් වෙත නිකුත් කොට නැති බවයි.

ඒ පිළිබඳව කළ විමසුමක දී දැනගන්නට ලැබුණේ මෙම පොහොර ගැන ඒවා නිෂ්පාදනය කරන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කියන කරුණු හැරුණු විට වෙනත් කිසිදු ප්‍රමිති සහතිකයක් නැති බව යි. එහි ඇති ඇමෝනියා , පොටෑසියම් හෝ පොස්පරස් ප්‍රමාණ පිලිබඳ කිසිදු පරීක්ෂණයක් මෙතෙක් සිදුකොට නැත. විවිධ වගාවන් සඳහා ඒවා යොදාගත යුතු ආකාරය සහ ප්‍රමාණ ගැන ද නිර්දේශ කිසිවක් නැති බව කියති.

වී ගොවිතැනට මෙබඳු පොහොරක් යොදන්නේ නම් එය වගා ආරම්භයට පෙර කළ යුතු බව කියතත්, මෙම පොහොර ගොවීන්ට මෙතෙක් ලබා දී නැති අතර ගොවීන්ගෙන් ඒ සඳහා ඉල්ලුමක් ද නැති බව ද වාර්තා වෙයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *