අප සිටින වළ සිතනවාට වඩා ගැඹුරුය – මහාචාර්ය රොහාන් සමරජීව

සමස්ත මානව ශිෂ්ඨාචාරයේම කෙන්ද්රීයමය ප්‍රශ්නය  වනුයේ අපව ආණ්ඩු කරගැනීම උදෙසා අප විසින් කුමන ක්‍රමයක්  භාවිත කළයුතු ද යන්නය. 2015 ජනවාරි 8 වන දින පැවැත්වුනු ජනාධිපති මැතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයගැනීමෙන් අනතුරුව එමප්‍රශ්නය ශ්‍රී  ලංකාව තුල වඩාත් වැදගත් තැනක් ගත්තේය. මෙම ලිපියයේ පරමාර්ථය වනුයේ එම ප්‍රශ්නය  කිසියම් ආකාරයක පැහැදිලි කිරීමක් ලබාදීමයි. ඒ සඳහා දැනට සිදු කෙරෙමින් පවතින ව්‍යවස්ථා  සංශෝධනය සන්නිදර්ශනය කර ඒවායේ ආධාර ලබාගැනෙනු ඇත.
ඒකාධිකාරිත්වය ද,ප්‍රජාතන්ත්‍රවාදයද  ද?
මහනුවර රාජධානිය බිඳවැටී වසර දෙසීයක් ගතවී ඇතත් ඒ වැඩවසම් සමයේ නටබුන් චින්තනයන් අප සිත් තුලින් ඉවත් වී නැත. දැහැමින් රට කරන මහ රජකු තවමත් අප බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවයි. නමුත් රජුගේ දැහැමිබව දිගින් දිගටම පවත්වා ගෙන යන්නේ කෙසේද යන ප්‍රශ්නයට  අපට උත්තරයක් නැත. එසේම, ආණ්ඩුවේ පැහැදිලිව අර්ථකතනය කරන ලද එක් එක් කොටස් වැරදි තීරණගැනීමෙන් වලක්වාගැනීම උදෙසා ක්‍රමවේදයක්  තිබිය යුතුය යන සංකල්පයට ද අප එකඟ නැත. මහනුවර රාජධානියේ පැවති දේශපාලන සංස්කෘතිය තුල විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ කටයුතු එකිනෙකින් වෙන්ව නොපැවතින. අධිකරණයේ සමහර අංශ වෙන්ව පැවතිය ද ඒවා වෙන්කල සීමාවන් සිදුරුවලින් යුක්ත වූ හෙයින් එකිනෙක අතර එහා මෙහා ගමන් කිරීමට හැකිවිය.
පුරාණ රජවරු සේම අපේ සමහර නායකයෝ ද රජයට අයිති දේ සහ තමන්ට අයිති දේ වෙන්කර හඳුනාගැනීමට අසමත්ව සිටිති. ආණ්ඩුවේ එක් එක් ස්ථරවල බලය (විධායකයේ සහ ව්යනවස්ථාදායකයේ) වෙන් කර තැබීම සම්බන්ධයෙන් ඔවුන්ගේ කැමැත්තක් නොමැති අතර එවැනි පියවර සකස් කර ඇති තැන්වලදී ඒවා මගහැර සිය අවශ්යධතාවය ඉටුකරගැනීම සඳහා නොයෙකුත් කූටෝපායයන් භාවිත කරති.
කෙසේවෙතත්, ප්රේජාතන්ත්රමවාදය වෙනුවෙන් මෙන්ම අප උරුම කරගෙන එන මහනුවර දේශපාලන සංස්කෘතියට ආගන්තුක ද වන ආණ්ඩුක්‍රම  සංකල්පයකට කැමැත්ත පලකරමින් පසුගිය ජනවාරි මාසයේ දී තෝරාගැනීමක් කරනු ලැබින. මෙවැනි තෝරාගැනීමක් සිදුවන්නට තරම් දිගු කලක් අප නූතන ලෝකය සමග සම්බන්ධ වී සිටියෙමු. එහෙත්, පසුගිය වසර විස්ස තුල දක්නට ලැබී තිබූ නිමිති එයට ප්‍රති විරුද්ධ ඒවා විය. මේ සිදුවූ වෙනස ආපසු හරවන්නට බැරි එකක් නොවේ. පැරණි වැඩවසම් සංස්කෘතියත් නූතන ප්‍රජාතන්ත්‍රවාදී  සංස්කෘතියත් අතර ආතතිය තවදුරටත් එසේම පවතී.

තීරණාත්මක ද? අවුල් සහගත ද?
සිදුවන වැරදි සොයාගැනීමේ ක්‍රමවේදයන් ද සහිතව බලය වෙන්කර තැබීම යන කරුණ අවුල් ඇතිකරවන සුළුය. එයින් ඇතිවන ප්‍රතිපලය පිළිබඳව කල්තබා අනාවැකි පළකිරීමේ හැකියාවක් ද නැත. අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වර්තමාන ලෝකයේ වඩාත්ම බලවත් පුද්ගලයා ලෙස පෙනෙන්නට ඇතත් එරට ව්‍යස්ථාදායකය විසින් හෝ අධිකරණය විසින් හෝ එසේත් නැතිනම් ඊට වඩා පහළින් පවතින ප්‍රා න්ත රජයයන් විසින් හෝ ජනාධිපතිවරයාගේ තීරණ ක්‍රියා යාත්මක කිරීමට බාධා පැමිණවූ අවස්ථා බොහොමයකි.
රටේ ඇතිවන සියළුම දේශපාලනික සිද්ධීන් සහ ඒවායේ ඇතිවන ප්‍රතිපල තමන්ට පාලනය කළ නොහැකිය යන අදහස ශ්‍රී  ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයාට ගැටළුවක් ඇති නොකරන බව පෙනෙන්නට තිබේ. අගමැතිවරයා සහ පාලක දේශපාලන සන්ධානය තුල සිටින්නවුන්ගේ සහ සිය පක්ෂයට අයත් සාමාජිකයින්ගේ කටයුතු සඳහා ජනාධිපතිවරයා ඉඩ දී තිබේ. බොහෝ දෙනෙක් මෙය දකින්නේ නායකත්ව ලක්ෂණ නොමැති කමක් වශයෙනි. මැතිවරණ ක්‍රමය සංශෝධනය වීම මා බලාපොරොත්තුවන්නේ මෙසේ යැයි කෙලින්ම ප්‍රකාශ නොකරමින් මැතිවරණ ක්‍රමය සංශෝධනය වෙනුවෙන් ජනාධිපතිවරයා දැඩි කැපවීමක් ඇතිව සිටිය හැක්කේ කෙසේදැයි වටහාගන්නට ඔවුන් අසමත්ව ඇත.
දැනට රටේ පවතින්නේ එක්තරා ආකාරයක අරාජික තත්වයකි. බාධාවකින් තොරව සිය ජීවිත කාලය පුරාවටම රටේ ජනාධිපති තනතුර දැරීමට සහ අනතුරුව එම තනතුර දිගින් දිගටම සිය පරම්පරාවේම පවත්වා ගැනීමට අපේක්ෂා කළ ජනාධිපතිවරයා පරාජය කරනු ලැබින. මේ බලවත් ජනාධිපතිවරයාට සේවය කිරීම පිණිස තෝරා පත්කර, සකස් කරගන්නා ලද ව්‍යවස්ථාදායකය තවමත් පවතී. විශේෂයෙන්ම නව ජනාධිපතිවරයා පාර්ළිමේන්තුව විසුරුවා හැරීම වෙනුවට ව්‍යවස්ථා සංශෝධනයන් සිදුකිරීම පිණිස පාර්ළිමේන්තුව මත විශ්වාසය තැබීම හේතුවෙන් ව්‍යවස්ථාදායකය දේශපාලන කලබල රාශියකට මැදිව සිටිනු දක්නට ලැබිණි . ජනාධිපති ධූර කාලය ස්වේච්ඡාවෙන්ම ජනාධිපතිවරයා විසින් කෙටි කරන ලද අතර දෙවන වාරයකට තරඟ කිරීමට අපේක්ෂාවක් නොමැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී. මෙය, සිය අභිලාෂයන් මුදුන් පමුණුවාගැනීමට ස්ථාවර වේදිකාවක් ලෙස මෙම ජනාධිපතිවරයා භාවිත කළ නොහැකිය යනුවෙන් උන්නතිකාමි සම්ප්‍රදායික  දේශපාලකයින්ට වටහා දුන් පණිවිඩයක් විය. එම පණිවිඩය හරහා ජනාධිපතිවරයා ඉහත කී වර්ගයේ දේශපාලකයින්ගේ සහාය අහිමි කරගත්තේය. තීරණ ගැනීමේ කටයුතුවල පවතින සාමාන්‍ය අවුල් සහගත තත්වය මෙම පරිසරය තුල වඩාත් උග්‍ර  වී ඇත.
හොඳින් සිතා බලා කටයුතු කිරීම ද හදිසියේ කටයුතු කිරීම ද?
වර්තමානයේ සිදුකෙරෙමින් පවතින ව්‍යවස්ථා සකස්කිරීමේ කටයුතු හදිසියෙන් සිදුකරන්නේය යන්න සමහරුන්ගේ අදහසයි. නියතයෙන්ම ඉතාමත්ම සංකීර්ණ එකක් වන 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන බලමු.
බ්‍රිතාන්‍යයන්ගෙන් අපට උරුම වූත් තවමත් එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන්නාවූත් කේවල මන්ත්‍රී ක්‍රමය  මැතිවරණ ක්‍රම  අතර ඉතාමත්ම සරල ක්‍රමයක් වන අතර එක් වාක්‍යයකින් සමස්ත ක්‍රමයම පැහැදිලි කරදිය හැකිය. එමෙන්ම එය ඉතාමත්ම ප්‍රාථමික මැතිවරණ ක්‍රමයකි. එක්සත් රාජධානියේ මෑතකදී පවත්වන ලද මැතිවරණයේදී මිලියන 3.8 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් දේශපාලන පක්ෂයට හිමිවූයේ එක් පාර්ළිමේන්තු අසුනක් පමණක් වන අතර ඡන්ද මිලියන 1.5 ක් ලබාගත් පක්ෂයට ආසන 56 ක් හිමි විය.

දිස්ත්‍රික්කයක්  පදනම මත වන සමානුපාත නියෝජනය ක්‍රමය 1978 වර්ෂයේ දී ශ්‍රී  ලංකාවට හඳුන්වා දෙනු ලැබින. අනතුරුව සිදුකරන ලද නවීකරණයන් හරහා පහසුවෙන් මන්ත්‍රී ආසනයක් ලබාගැනීමේ ක්‍රමයක් වන ජාතික ලැයිස්තුව හඳුන්වා දෙන ලද අතර මනාප ඡන්ද ලබාදීමේ ක්‍රමවේදය වඩාත් ඉහළ මට්ටමකට ගෙන එන ලදී. එහෙත්, එය වඩාත් සංකීර්ණ වූ ක්‍රමවේදයක් විය. මේ සංකීර්ණ ක්‍රමය වටහාගැනීමට පමණක් නොව වෙනත් වෙනත් අවශ්‍යතාවන් සඳහා තමන්ට අවශ්‍ය  පරිදි එම ක්‍රමය නමාගන්නට සමත්වීම අපේ ජනතාව ගේ ඉහළ බුද්ධි මට්ටමට දෙස් දෙන කරුණකි. මේ ක්‍රමය හඳුන්වා දීමෙන් ලැබුනු, අපේක්ෂා නොකළ ප්‍රතිපල අතර මැතිවරණ නීති කඩකිරීමට දඬුවම් නොලබන තත්වයක් ඇතිවීම සහ එකම පක්ෂයේ අපේක්ෂකයින්ට විරුද්ධව ප්‍ර චණ්ඩත්වය මුදාහැරීම වැනි කරුණු දැක්විය හැක.
ප්‍රාථමික කේවල මැතිවරණ ක්‍රමයට හෝ 1978 දී වැරදි සහිතව හඳුන්වා දෙනු ලැබූ මූලික සමානුපාත නියෝජන ක්‍රමයට හෝ ආපසු යාමෙන් තොරව පවතින මැතිවරණ ක්‍රමයේ ඇති වැරදි නිවැරදි කරගන්නේ කෙසේ ද යන්න 1996 වැනි කාලයේ හෝ ඊටත් පෙර සිටම දේශපාලන පක්ෂ අතර සහ විශේෂඥ දැනුමැත්තන් අතර කතා බහට ලක්වෙමින් තිබිනි. එනමුත්, වසර 19 ක් තිස්සේම කරන ලද සාකච්ඡා සහ වාර්තා සකස් කිරීම් වලින් පලක් නොවුනු අතර නීතියට නිගා කරමින් ප්‍රචණ්ඩත්වය පෙරමුණ ගත්තේය. දිගින් දිගටම පාර්ළිමේන්තුවට තේරී පත්වූයේ වැරදි වර්ගයේ පුද්ගලයින් ය.
ව්‍යවස්ථා සංශෝධනයන් අතරින් නීතිගත කිරීමට වඩාත්ම අපහසු වර්ගය මැතිවරණ ක්‍රම සංශෝධනයන්ය. දේශපාලන පක්ෂ විසින් මෙහිලා ඉදිරිපත් කර ඇති සමහර හේතු යථාර්ථයන් වන නමුත් සමහර හේතු ඔවුන් සිය සිත් තුලින් නිර්මාණය කරගත් ඒවාය. කෙසේවෙතත්, සියළුම දේශපාලන පක්ෂ සම්පූර්ණයෙන්ම සනසවන මැතිවරණ සංශෝධනයන් ඉදිරිපත් කිරීම දුෂ්කර කාර්යයකි. මැතිවරණ ක්‍රම  සංශෝධනයන් අනුමත කරගැනීම පිණිස,එවකට  පවතින පාර්ළිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීම අනිවාර්යය. එම පාර්ළිමේන්තුවේ මන්ත්‍රීවරුන් තේරී පත්වී ඇත්තේ පැරණි ක්‍රමයට අනුව වන අතර ඔවුන් එම ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබාගත්තවුන්ය. අනෙක් අතට, කුඩා පක්ෂවල සහයෝගය ලබාගැනීමට අසමත් වීම සංශෝධනයන් ගේ නීත්‍යානුකූල  භාවය පිළිබඳව ගැටළු මතුකිරීමට හේතුවක් වනුඇත.
2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනාම සිය මැතිවරණ ප්‍රකාශයන් තුල මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම, විශේෂයෙන්ම මනාප ඡන්ද ක්‍රමය ඉවත්කිරීම, පිළිබඳව විශේෂ කැපවීමක් සඳහන් කර තිබිනි. මෙම තත්වය විසින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අද්විතීය අවස්ථාවක් නිර්මාණය කර දී තිබුණු බව පෙනෙන්නට තිබූ තත්වයයි . ජයග්‍රාහී අපේක්ෂකයා විසින් ස්වේච්ඡාවෙන්ම පනවාගන්නා ලද දින සියයේ කාල සීමාව විසින් සංශෝධනයන් සිදුකර ගැනීමේ ශක්යතාව වඩාත් ශක්තිමත් කර තිබිණි
කිසිවකු විසින් 2015 ජනවාරි මාසයෙන් පසු කාලය පමණක් සලකන්නේ නම්, සුදුසු තරමේ උපදේශනයන් ගැනීමෙන් තොරව මැතිවරණ ක්‍රම  සංශෝධනයන් සිදුකරන්නට යන සෙයක් පෙනීයානු ඇත . එහෙත්, ඒ සම්බන්ධයෙන් පසුගිය දහනව වසරක් තිස්සේ පවත්වන ලද වැඩමුළු, අදහස් විමසීම් සහ උපදේශනයන් මෙන්ම ඒවායේ ප්‍රතිපල ලෙස සකස් කරනු ලැබූ ලේඛන පිළිබඳව නොතකා හරින්නේ ඇයි?
පරමාදර්ශී ලෝකය තුල නීති පනවනු ලබන්නේ සියලු  අධ්‍යනයන්  සහ උපදේශන අදහස් විමසීම් ක්‍රියාවලීන් සමාප්ත කිරීමෙන් පසුවය. එහෙත්, සිදුකර ඇති විශාල පරිමාණ සංශෝධනයන් දෙස සැලකිල්ලෙන් බලන කෙනෙකුට පෙනී යනු ඇත්තේ ඒවා විවිධාකාර වූ ˝ප්‍රතිපත්ති කවුළු˝ තුල සිදුවී ඇති බවයි. සමහර ප්‍රතිපත්ති කවුළු ( නව රජයේ පළමුවන දින සියය වැනි) ඇතිවන බව කල්තබා පෙනී යන අතර තවත් සමහර ඒවා හදිසියේම නිර්මාණය වන ඒවාය ( දේශපාලන හෝ ආර්ථික අර්බුද වැනි). එහෙයින්, දේශපාලන නායකයින් ගේ මෙන්ම ජනතා සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන විශේෂඥයින්ගේ ද වගකීම වනුයේ එවැනි කවුළු නිර්මාණය වන අවස්ථාවන්හිදී සම්මත කරගනු පිණිස හොඳින් සලකා බලා සකස් කල ප්‍රතිපත්ති, නීති හෝ ව්‍යවස්ථාමය විකල්ප සකස්කොට තබා ගැනීමය.
කවුළුවක් නිර්මාණය වූ අවස්ථාවක දී ප්‍රතිපත්ති, නීති හෝ ව්‍යවස්ථාමය සංශෝධ‍න හෝ අදාල සියළුම කරුණු සලකා බලා, උපදේශන ලබාගෙන අවශ්‍ය  සියළු කටයුතු අකුරක් නෑර සිදු කළයුතු යැයි බලාපොරොත්තු වන්නේ නම් එය කිසිසේත්ම යථාර්ථවාදී නොවේ. එසේ කළයුතු යැයි බලකර සිටින්නන් එක්කෝ දේශපාලන ක්‍රියාවලීන් සිදුවන ආකාරය පිළිබඳ කිසිවක් නොදන්නා පුද්ගලයින්ය; නැතහොත් සංශෝධන ඇනහිටවීමේ පරමාර්ථය ඇතිව ක්‍රියා  කරන්නවුන්ය. ක්‍රියාවලිය මන්දගාමී කිරීමෙන් සිදුවනු ඇත්තේ සංශෝධන සිදුවීම වැලකීමයි. මන්ද ඉහත කී ආකාර ප්‍රතිපත්ති කවුළු සදාකාලිකවම විවෘතව නොපවතින බැවිනි. වර්තමාන තත්වය තුල නිර්මාණය වූ ප්‍රතිපත්ති කවුළුව අප්‍රයල් 23 වැනිදායින් වැසීයාමට නියමිතව තිබින. එහෙත්, කාලය විසින් ඇතිකරන පීඩනයක් නොමැතිව මැතිවරණ ක්‍රම සංශෝධන සිදුවිමට ඉඩ නොමැති බව වටහා ගෙන ඇති ජනාධිපතිවරයා විසින් මහත් දුෂ්කරතා මධ්‍යයේ එම කවුළුව විවෘතව ඇති කාලය දීර්ඝ කරගන්නා ලදී.
ඍජු ප්‍රජාතන්ත්‍රවාදයද  නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයද ?

එක්සත් ජාතික පක්ෂය හැර අනෙක් දේශපාලන පක්ෂවල දැඩි අකැමැත්තට ලක්වූ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල , ප්‍රකට විද්වත් දේශපාලනඥයකු විසින් සම්පාදනය කරන ලද 1972 ව්‍යවස්ථාව තුල පවා නොතිබුනු බවට කැපී පෙනුනු ප්‍රගතිශීලී අංගයන් රැසක් අඩංගු වීම පුදුම සහගත කරුණක් විය. මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය ඉදිරියට යා හැකිවීම, සිදුවන වැරදි සොයාගැනීම පිණිස සමහර පියවර සහ ඉහළ මට්ටමේ මැතිවරණ ක්‍රමයක් පමණක් නොව ජනමත විමසීම් සඳහා විධිවිධාන ද මෙහිදී ව්‍යවස්ථාවට එකතු කර තිබින. වර්තමානයේදී ද මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී ජනතාවගේ සහභාගිත්වය සහතික කරනු පිණිස ජනමත විමසුමක් සිදුකිරීම අත්‍යවශ්‍ය  වීම ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ වාසි හා අවාසි හොඳින් පැහැදිලි කරයි.
මෙහි ඇත්තේ සරල තර්කයකි. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ජනතාවගේ අයිතියට අනිවාර්යයෙන්ම බලපෑමක් සිදුකරයි. සංශෝධනයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ජනතාව නියෝජනය කරන්නේ යැයි කියන දේශපාලන පක්ෂවලට පමණක් සීමා නොවිය යුතුය. ජනතාවට සිය පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවීමට අවස්ථාව ලැබෙන්නේ මැතිවරණ හරහා වන හෙයින් සහ මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල පවතින බැඳියාව ඔවුන් නියෝජනය කරන ජනතාව ගේ බැඳියාවට වඩා වෙනස් එකක් වන හෙයින් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී ජනතා සහභාගිත්වය අනිවාර්යයෙන්ම තිබිය යුතුය.
එහෙත් එය මූලික වශයෙන්ම නොමග යවන තර්කයක් බව ද කිවයුතුය. ජනමත විමසීම් පිළිබඳව ශ්‍රී  ලංකාවේ අත්දැකීම් මෙන්ම වෙනත් රටවල අත්දැකීම් ද සලකා බැලූවිට පෙනීයන්නේ ඒ වූ කලී දැඩි බලපෑමක් යටතේ ලබාගන්නා ජනතා සහභාගිත්වයක් බව ජනමත විමසීම්වලට පක්ෂව කතාකරන කණ්ඩායම් විසින් වටහා ගතයුතුව තිබේ. මෙහිදී සිදුවන එකම දෙය නම් දේශපාලන බලවත්කම් සහිත පිරිස් විසින් ප්‍රවේශමින් සැලසුම් කර හෝ සාකච්ඡා කර සකසන ලද ප්‍රශ්නයකට ජනතාව ලවා ඔව් හෝ නෑ කියවා ගැනීම පමණකි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයකට වඩා නාට්‍යයක අංගයකට නෑකම් පෙන්වයි.
ජනමත විමසීමක්, නිවැරදි දේශපාලන සහභාගිත්වයකට සමාන කිරීම වංක, කපටි, කුහක ක්‍රියාවකි. වැදගත් ප්‍රතිපත්තිමය, නීතිමය හෝ ව්‍යවස්ථාමය සංශෝධනයක් ජනමත විමසුමකින් කෙරෙන ඔව් නෑ කීමක් දක්වා සරල කිරීමට හැකිවේ නම් ඒ කලාතුරකිනි.
උදාහරණයක් ලෙස, මනාප ඡන්ද ක්‍රමයට කැමැති ද නැතිදැයි ජනමත විමසුමකින් ජනතාවගෙන් විමසිය හැකි වෙතත් එයින් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද? ඒ වෙනුවට ඇති විකල්පය කවරක්දැයි එයින් පැහැදිලි කෙරෙන්නේ ද? සමහර විට, ˝ මනාප ඡන්ද ක්‍රමය වෙනුවට දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කෙරෙන සංවෘත ලැයිස්තුවකින් එසේත් නැතිනම් කේවල ක්‍රමය හරහා සිදුවන ඡන්ද කොට්ඨාශ නියෝජනයක් ද සහිත දෙමුහුම් ක්‍රමයක් හඳුන්වා දිය යුතු ද ˝ වැනි සංකීර්ණ ප්‍රශ්නයක් ඇසිය හැක. එවැනි ප්‍රශ්නයක් නිවැරදිව වටහාගැනීමේ ශක්තිය ඡන්දදායකයින්ගෙන් බහුතරයකට තිබේ ද? එවැනි ප්‍රශ්නයක් හරහා ජනතාවට හුරුපුරුදු මනාප ක්‍රමය තෝරාගැනීමේ අවස්ථාව ඉවත් කර නැති ද? මෙම ප්‍රශ්නයට සෑහීමකට පත්විය හැකි පිළිතුරු ලැබුනේ යැයි සිතමු. එවිට, සංවෘත පක්ෂ ලැයිස්තුවක් සකස් කිරීම සඳහා කොන්දේසි හෝ කේවල සහ සමානුපාත ක්‍රම ඒකාබද්ධ කරන යාන්ත්‍රණයන් සකස් කරගැනීම වැනි ඍජු ප්‍රජාතන්ත්‍රවාදයෙන්  පිටත වන කාර්යයන් රාශියක් සිදු කළයුතු වන්නේ නොවේ ද?
ඍජු ප්‍රජාතන්ත්‍රවාදයේ තර්කයට අනුකූලව ක්‍රයාකිරීමට නම් අපට එක් ජනමත විමසුමක් නොව, ඔව් නෑ පිළිතුරු ලබාදෙන ජනමත විමසුම් මාලාවක් පවත්වන්නට සිදුවනු ඇත. මෙය යථාර්ථවාදී නොවේ. ජනමත විමසුම්වලට පිළිතුරුදෙමින් සිටිනවාට වඩා හරි හම්බ කරගැනීම, දූ දරුවන් හදා වඩා ගැනීම වැනි වෙනත් වැදගත් කටයුතු රාශියක් ඡන්දදායක ජනතාව වන අපට තිබේ. පූජාවක් පවත්වන පරිද්දෙන් හෝ මෙසේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයට  සහභාගිවීමට අපට සිදුවුවහොත් එය අපට නොසෑහෙන කරදරයක් වනු ඇත. වගකිවයුතු පුරවැසියන් ලෙස හැසිරෙමින් අප විසින් තීරණ ගතයුතු යැයි කියන රජයේ ප්‍රතිපත්ති සියල්ලක්ම වටහාගන්නට උත්සාහ දරන්නට ගියහොත් අපේ ජීවිතවල වෙනත් කිසිම දෙයක් කරන්නට කාලයක් ඉතිරි නොවනු ඇත.
මේ සඳහා පවතින හොඳම විකල්පය නම් මනාව ක්‍රියාත්මක වන නිලධාරි තන්ත්‍රයකින් සහ එම විෂයයන් සම්බන්ධයෙන් උනන්දුවක් සහ දැනුමක් ඇති විශේෂ කණ්ඩායම්වලට අදහස් ප්‍රකාශකිරීමට ඉඩ සලසන අදහස් විමසීමේ සැසිවලින් ශක්තිමත් කරන ලද නියෝජිතප්‍රජාතන්ත්‍රවාදයකි .
අවසානයේ, චර්චිල්ගේ වදන් මෙසේ අනුවාදනය කරමි.
වරින් වර අත්හදා බලන ලද අනෙකුත් ආණ්ඩු ක්‍රමයන් හැරුණුකොට මෙය වඩාත් නරකම ආණ්ඩු ක්‍රමයයි.
it is the worst form of Government except for all those other forms underpinned that have been tried from time to time.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *