එජාප නායකයින් මහ බැංකුව කොල්ල කෑවා නම් ඒ සල්ලි මහා භාණ්ඩාගාරයට ලැබුණේ කොහෙන්ද? – එජාප සභාපති වජිර අබේවර්ධන

එජාප නායකයින් මහා බැංකුව කොල්ල කා ඇතැයි විශාල බොරු ප්‍රචාරයක් ගෙන ගිය ආණ්ඩුව එම ගනුදෙනුවට අදාළ බව ඉයන මුදල වන රුපියල් බිලියන 8.5 ක් මෙවර අයවැය හිගය පියවා ගැනීමට යොදාගන්නා බව ප්‍රකාශ කොට ඇතැයි ද එජාප නායකයින් කොල්ල කෑ බව කී මුදල මහා භාණ්ඩාගාරයට ලැබෙන්නේ කොහෙන්දැයි තමා ප්‍රශ්න කරන බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මතුගම පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය. එහි දී වැඩි දුරටත් කතා කළ අබේවර්ධන මහතා මෙසේ ද පැවසීය.

“මහ බැංකු මංකොල්ලයක් සම්බන්ධව පොහොට්ටුව ගෙනගිය අසත්‍ය ප්‍රචාරවලට එක්සත් ජාතික පක්ෂය නිසි පිලිතුරු ලබාදුන්නේ නැහැ. ජනතාවට සත්‍ය අවබෝධ කරදීමට ක්‍රියා කළේ නැහැ. මහබැංකු හොරකමක් සිදුව තිබෙන බව පොහොට්ටුවේ අය කියන විට අපේම ඇතැම් අය හොරකමක් වගේ තමයි කියමින් නිහඬව බලා සිටියා. එය අපේ ම අය අපට කළ ද්‍රෝහීකමක් බව කිව යුතුයි.

 රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මහාබැංකුව මංකොල්ල කෑමට වූවමනාවක් නැහැ. එහෙම අගහිඟකමක් එතුමාට ඇත්තේ නැහැ. තමන් ජීවත්වන නිවසත් රාජකීය විද්‍යාලයට ලියාදුන් නායකයාට මෙවැනි දෙයක් සිදුකිරීමට කිසිඳු වූවමනාවක් නැහැ.

එක්සත් ජාතික පක්ෂය කිසිදාක මහාබැංකු බැඳුම්කර නිකුත් කරලා රට සංවර්ධනය කිරීමට කටයුතු කළේ නැහැ. බැඳුම්කර නිකුතුව ආරම්භ කළේ චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණියයි.

බැඳුම්කර සිද්දිය සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළත් මේ රටේ නීතියට අනුව මෙහි කිසිඳු වරදක් සිදුව නැහැ. නීතී නැති තැන ඕනෑ ම අයෙකුට තම ව්‍යාපාරයෙන් ලාභ උපයාගත හැකියි. අනිසි ලාභ ලබන්නෙකු පාලනය කිරීම සඳහා වෙනත් රටවල නීතී තිබෙනවා. නමුත් ලංකාවේ තවම එවැනි නීතියක් ඇත්තේ නැහැ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා 2005 සිට 2015 වනතෙක් තෝරාගත් බැංකු 9 ක් සමග බැඳුම්කර නිකුතුව සිදුකළා. ඒ කාලය තුළ බැඳුම්කර නිකුතුව සිදුවුණේ එම බැංකු අතර පමණයි. නමුත් 2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එලෙස බැංකු 9 කට සීමා වී තිබු බැඳුම්කර නිකුතුව ලෝකයටම විවෘත කලා.

මෙවර අයවැය මගින් ජනතාවට කිසිඳු සහනදායී වැඩපිළිවෙලක් ඉදිරිපත්කර නැහැ. මේ අයවැයෙන් ජනතාව කබලෙන් ලිපට ඇදදමා තිබෙනවා. මේ අයවැයෙන් ගෑස් මිළ අඩු වෙන්නෙ නැහැ. කිරි පිටි මිළ අඩුවෙන්නෙ නැහැ, සිමෙන්ති හොයාගන්න ලැබෙන්නෙ නැහැ. මේසන් මහත්වරුන්ට, වඩු මහත්වරුන්ට රස්සාව හම්බවෙන්නෙ නැහැ. ගොවි ජනතාවට පොහොර ලබාදෙන්නෙ නැහැ.

ඒ වගේම මේ අයවැයෙන් සමස්ත රාජ්‍ය සේවකයන් ලක්ෂ 15 ක් සහ විශ්‍රාමිකයින් ලක්ෂ 6 ක් රැවටීමට ලක්කර තිබෙනවා. විශ්‍රාම වයස 65 දක්වා කියලා ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. කොහොමත් සුවිශේෂී වූ ශ්‍රේණි වලට කැමති නම් සේවය කරන්න විශේෂඥ වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට වයස 63 දක්වා සේවා කාලය දීර්ග කරලා තමයි තිබුණේ. නමුත් විශ්‍රාම ගත්තට පසුව සේවය කරන්න අවස්ථාව දෙනවා නම් තමයි ශක්තිමත් ආර්ථිකයක් තිබෙනවා කියලා පිළිගන්න පුළුවන්. එහෙම නැතිවුනොත් මේ කරලා තියෙන්නේ විශ්‍රාම යනකොට ආණ්ඩුවට ප්‍රශන්යක් තිබෙනවා. තමන් ඉතුරු කරගත්තු පාරිතෝෂික දීමනාවත්, රජයේ යොදන මුදලත් දාලා 80% ක් එකපාරට රජයේ සේවකයන්ට ලබාගන්න පුළුවන්කම තිබෙනවා.”

එකසත ජාතික පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ රැස්වීම් දෙකක්  මතුගම සහ බේරුවල ස්ථාන දෙකක දී පැවති අතර හිටපු නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම, හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහත්වරු ද ක්‍රියාකාරීන් දැනුවත් කිරීමට එක් වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *