“මුල්‍ය අරමුදලට නම් මැරුනත් යන්නේ නැහැ” – රනිල්ට පිළිතුරු දෙමින් වාසුදේව කියයි

ජනතාවට කොතරම් අමාරුකම් දැනුනත්, ආණ්ඩුව විනාශ වුවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතීමට මැරුණත් නොයන බව වාසුදේව නානායක්කාර ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පවතින විදේශ විනිමය ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මුල්‍ය අරමුදලේ සහය ලබාගන්නා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් වාසුදේව ඇමතිවරයා කීවේ මුල්‍ය අරමුදලට ගිය විට නොයෙකුත් කොන්දේසි දමන බවත්, එම කොන්දේසි ක්‍රියාත්මක කිරීම අපහසු බවත් ය.

රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාවේ දී කීවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නොයෙකුත් කොන්දේසි ඉදිරිපත් කළ ද, රැකියා අහිමි කිරීම වැනි කොන්දේසි නොදමනු ඇති බව සහ මුල්‍ය විනයක් ඇතිකරන කොන්දේසි පනවනු ඇති බවයි. මුල්‍ය විනය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය බව වික්‍රමසිංහ මහතා කීය.

මේ අතර මාධ්‍ය වාර්තා කොට ඇත්තේ ඊයේ පැවති ඇමති මණ්ඩල රැස්වීමේ දී ද, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීමේ ඉල්ලීම උදය ගම්මන්පිල ඇතුළු ඇමතිවරුන් ගණනාවක් විසින් ඉදිරිපත් කරනු ලැබූ බව සහ ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් සිදු වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *