|

අයවැය ලේඛනය නීති විරෝධී යි – වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ නිශාන් ද මේල්

රටේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 කට වඩා අඩු විය යුතු බව රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වගකීම් පනත මගින් නියම කොට තිබිය දී එම සංඛ්‍යාව ඉක්මවා යමින් සියයට 8 කටත් වැඩි අයවැය හිගයක් සමග ඉදිරිපත් කළ බැවින් මෙම අයවැය ලේඛනය නීති විරෝධී වන බව වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන් ද මේල් මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුව විසින් සම්මත කළ නීතියකට පටහැනිව ඉදිරිපත් කොට ඇති අයවැය සම්මත කිරීමේ හැකියාව සලකා බැලීමට පාර්ලිමේන්තුවට සිදුවන බව ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන් ම අයවැය මගින් ඉදිරිපත් කොට ඇති ඇතැම් ආදායම් යෝජනා ද නීති විරෝධී බව ද, මීට පෙර අවස්ථාවල ද මෙබඳු ආදායම් යෝජනා ඉදිරිපත් වුව ද , නීති ප්‍රශ්න නිසා ක්‍රියාත්මක කළ නොහැකි වූ බව ද නිශාන් ද මේල් මහතා කියයි.

රටේ ඉහළ ම ආදායම් ලබන සමාගම්වලින් එක් වරක් අය කිරීමට යෝජිත සියයට 25 ක අධි භාරය එවැන්නකි. එය නීතියට පටහැනි වන අතර ආයෝජකයින් ද අධෛර්යමත් කරන්නකි.

මෙම වසරේ බිලියන 1500 ක් වූ රජයේ ආදායම බිලියන 2200 ඉක්මවා සියයට 45 කින් වැඩි වන බව අයවැය ඇස්තමේන්තු මගින් අපේක්ෂා කළ ද, රජයේ ආදායම් යෝජනා මගින් එතරම් විශාල ආදායමක් නොලැබෙන බවත්, සියයට 20 ක් හෝ වැඩිම වුණොත් සියයට 25 කට වැඩි ආදායමක් ලබා ගත නොහැකි බවත්, ආචාර්ය නිශාන් ද මේල් මහතා කියයි.

සිරස රුපවාහිනියේ පැතිකඩ වැඩ සටහනට සහභාගී වෙමින් ඒ මහතා වැඩි දුරටත් කීවේ රටේ දැවෙන ප්‍රශ්නවලට අයවැය මගින් විසදුම් ලබා දී නැති බව යි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *