යුගදනවි රහස් ගිවිසුම රනිල් පාර්ලිමේන්තුවේ සභාගත කරයි ; පාර්ලිමේන්තුවේ බලයට අභියෝගයක් බව කියයි

 

විදුලි බලාගාර සඳහා එල් එන ජී ගෑස් ලබාදීමේ කොන්ත්‍රාත්තුව සඳහා රජය සහ ඇමෙරිකාවේ නිව් ෆොට්‍රස් එනර්ජි සමාගම අතර ඇති කරගෙන තිබෙන රහස් ජිවිසුම ඊයේ පාර්ලිමේන්තුවේ සභාගත කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ගිවිසුම මගින් පාර්ලිමේන්තුවේ බලයට සහ වරප්‍රසාදවලට අභියෝග කොට ඇති බව ප්‍රකාශ කළේ ය.

මෙම ගිවිසුම මගින් පාර්ලිමේන්තුවේ බලය අභියෝගයට ලක් කොට ඇති බව, කතානායකතුමාට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බලය භාවිත කරමින් ප්‍රකාශයට පත්කරන ලෙසත්, ජනාධිපති ලේකම්වරයා සහ සමාගමේ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් ඉල්ලා සිටියේ ය.

වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අදාළ ගිවිසුමේ 8 වැනි වගන්තියේ සඳහන් වී ඇත්තේ අනෙක් පාර්ශවයේ ලිඛිත අවසරයකින් තොරව ගිවිසුමේ අඩංගු කරුණු වෙනත් කිසිවකුට හෙළිදරව් කිරීම සියලු පාර්ශවයන්ට තහනම් බව යි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ඉල්ලීම මත ඇමතිවරයකුට ද ගිවිසුමේ කරුණු හෙලිකිරීම මෙමගින් තහනම් කොට ඇති බව එජාප නායකයා වැඩි දුරටත් පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙය පාර්ලිමේන්තුවේ බලයට සහ වරප්‍රසාදවලට කළ අභියෝගයක් බව යි.

මෙම කරුණ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේ සාකච්ඡා කොට ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *