කාබනික පොහොර ප්‍රතිපත්තිය වැස්සට හේදී යයි

රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය අනුව වගා බිම්වලට යොදා තිබු පොහොර මහා වැසි නිසා ගසාගෙන ගොස් ඇති බැවින් එම ගොවි බිම් වලට වහාම රසායනික පොහොර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය උත්සහ දරමින් සිටින බව වාර්තා වෙයි.

පොහොර නොමැතිව වගා විනාශවීම යම් තරමකට හෝ වළකාගැනීම සඳහා  මෙම පියවර ගැනීමට සිදු වී තිබේ.

මේ වනවිට රට තුළ ඉතිරිව ඇති රසායනික පොහොර  සහ කෘෂි රසායන පිළිබඳව වහා ම වාර්තාවක් සකස් කරන ලෙස කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයාට උපදෙස් දී ඇති අතර පෞද්ගලික සමාගම් සතුව ඇති පොහොර ලබාගෙන ගොවීන්ට නිකුත් කරන ලෙස ද නියෝග කොට ඇත.

බොහෝ ගොවි බිම්වලට කිසිදු පොහොරක් ලැබී නැති අතර ඇතැම් ගොවි බිම්වලට යොදා තිබු කාබනික පොහොර පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් හේදී ගොස් ඇති බව ද කියති. විශේෂයෙන් උඩරට ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපා ඇති අතර එළවළු ගොවිතැන විශාල විනාශයකට මුහුණ දී ඇති බව කෘෂිකර්ම නිලධාරීහු වාර්තා කරති.

වහාම රසායනික පොහොර නිකුත් කිරීමට කෘෂිකර්ම ආමාත්‍යාංශය තීරණය කොට ඇත්තේ මෙම අර්බුදයට පිලියමක් වශයෙනි.

එසේ වුව ද, එම ගොවි බිම්වලට ලබාදීමට ප්‍රමාණවත් රසායනික පොහොර මේ වනවිට රට තුළ නැති බව ද කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *