මේ ආණ්ඩුවට ප‍්‍රබල විවේචනයක් එල්ල කරන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට පමණයි – ජවිපෙ නායක අනුර දිසානායක

පසුගිය දින කිහිපය තුළ ජවිපෙ ඉලක්ක කරගත් දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල වුණා. මේ ප‍්‍රහාරය පිළිබඳව යම් දේශපාලනික අදහස් දැක්වීමක් සාකච්ඡුාවක් කරන්න  ඕනෑ කියලා අපි කල්පනා කළා. අපි විවේචනවලට කැමති පක්‍ෂයක්. විවේචනවලින් ගතයුතු සාධනීය දේවල් උකහා ගන්න අපි පසුබට වෙන්නේ නැහැ. අපේ පක්‍ෂය තුළ ස්වයං විවේචනාත්මක ඇගයීම් තිබෙනවා. ඒ වගේම ප‍්‍රහාරයන් පිටුපස තිබෙන දේශපාලනය තේරුම් ගන්න සමත් පක්‍ෂයක්.

මේ මොහොතේ රටේ දේශපාලන තත්වය කුමක්ද? සාමාන්‍යයෙන් මැතිවරණයකින් පසුව අලූත් ආණ්ඩුවක් ගොඩනැගෙන අතර පරාජයට පත්වූ කණ්ඩායම පසු බසිනවා. නමුත් අද විවිධ හේතුන් මත වේගයෙන් යට යන, ඉස්මතු වන දේශපාලන වටපිටාවක් ගොඩනැගී තිබෙනවා. මේ මොහොතේ දේශපාලනය කතාබහ වුණු කණ්ඩායම් කිහිපයක් තිබෙනවා. පරාජයට පත්වුණු රාජපක්‍ෂ කණ්ඩායම, රනිල් කණ්ඩායම, මෛතී‍්‍ර කණ්ඩායම සහ ජනතා විමුක්ති පෙරමුණ ඒ අතර ඉන්නවා. පරාජයට පත්වුණු කණ්ඩායමේ වේදනාව, කෝපය, වෛරය සමාජයට මුදා හරිමින් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ අද විදෙස් සංචාර යන්නේ කොහොමද? විදේශ කටයුතු අමාත්‍යංශයෙන් හිඟමන් යැදලා. ඔහුට වේදනාවක් කෝපයක් දැනෙන්නේ නැද්ද? තමන්ට එරෙහි කණ්ඩායම් විනාශ කළ හැකි යැයි හිතපු, තමන්ට එරෙහිව ලියන මාධ්‍ය විනාශ කර දැමිය හැකි යැයි හිතාගෙන හිටපු ගෝඨාභය රාජපක්‍ෂ අද දිනපතා ජනාධිපති විමර්ශන ඒකකයට යනකොට වේදනාවක්, කෝපයක්, වෛරයක් ඇතිවෙන්නේ නැද්ද? නිවාස අමාත්‍යාංශයෙන් මුළු පක්‍ෂයේ සාමාජිකයින්ටම පඩි ලබාගෙන ඒක නැතිවෙනකොට වේදනාවක් දැනෙන්නේ නැද්ද? විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ තමන්ගේ බිරිඳගේ වාහනය තමන්ම කුලියට අරගෙන එම වාහනයට එක්ලක්‍ෂ තිස් දාහයක කුලියක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත්තා. වීරවංශගේ මාධ්‍ය ලේකම් කුලියට ගත්ත වාහනයට ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඉංජිනේරු සංස්ථාව යන ආයතන දෙකෙන්ම වාහනයට කුලී මුදල් දෙකක් ගත්තා. නුවර සංවිධායකයා තමන්ගේ වාහනය නෝනගේ නමට ලියලා ඒ වාහනේ කුලියට අරගෙන වාහනයත් අරගෙන සල්ලි අරගෙන යනවා. මේ සියල්ල අද අහිමි වෙලා. ඒ වෛරය, කෝපය පිට කරමින් ඉන්නවා. ඔවුන් කෝපය පිට කළ යුත්තේ ආණ්ඩුවටයි. නමුත් අද? ගමන් බලපත‍්‍ර දෙකක් තියෙන වීරවංශ එළියේ ඉන්නවා. ඔහුට ආණ්ඩුව සමඟ ප‍්‍රශ්නයක් නැහැ. ශිරන්ති රාජපක්‍ෂට නඩු පවරන්න  ඕන නැහැ කියලා කැබිනට් එක එකඟ වෙනවා. මහින්ද රාජපක්‍ෂ උගන්ඩාවේ යන්න විදේශ ඇමතිට කතා කරලා ටිකට් එක ගන්නවා. ඔවුන් ආණ්ඩුවත් එක්ක තරහා වෙන්න  ඕනැද?

අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුවේ කෝපය එල්ල වෙන්නේ කාටද? මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමට මේ ආණ්ඩුවට ප‍්‍රබල විවේචනයක් ගොඩනගන්න බැහැ. ඔවුන්ගේ ¥ෂණ වංචා ඊටත් වඩා වැඩියි. ඒ නිසා මේ ආණ්ඩුවට ප‍්‍රබල විවේචනයක් එල්ල කරන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට පමණයි. අපි පාර්ලිමේන්තුවේදී හෙළි කළා රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රභූ රථ දෙකක් සඳහා රුපියල් මිලියන 594ක් වෙන්කර ගත්තා කියලා. සාගල රත්නායක ඒ වෙන්කර ගත්ත මුදල ප‍්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. ඒ වුණාට ඔහු කියනවා එම රථ දෙක සඳහා වැය වන්නේ රු.ලක්‍ෂ 1300ක් පමණයි ඉතිරි ප‍්‍රමාණය බද්ද කියලා. ඔහු කියන්නේ ජර්මනියේ වටිනාකම. අපි කියන්නේ ලංකාවේ වටිනාකම. ඒවා හෙළිදරව් කරනවිට රනිල්ට රිදෙනවා. අපි මහ බැංකු අධිපතිවරයාගේ වංචාවලට විවේචන එල්ල කරනවා. වරායට නියමිත ගාස්තු ගෙවන්නේ නැතිව ඇමතිවරයෙක් ආණ්ඩුවට ලක්‍ෂ 4600ක් අහිමි කරනකොට ඒකට අපි විවේචන කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අයථා විදියට සුළු සේවකයින් බඳවා ගන්න කොට ඒවා හෙළිදරව් කරනවා. පෙට්‍රෝලියම් ආයතනයට අයථා පත්වීම් දෙනකොට ඒ ගැන විවේචනය කරනවා. එවිට පවතින ආණ්ඩුවට රිදෙනවා. ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා මහාමාර්ග අමාත්‍යංශයට මාසයකට රු.65,000 ගණනේ වැටුප් දීලා උපදේශකයෝ 56ක් පත්කර ගන්නවා. රු.25,000 ගණනේ වැටුප් ගෙවලා සම්බන්ධීකරණ ලේකම්වරු 96ක් පත්කර ගන්නවා. මේ විදියට කෝටි ප‍්‍රකෝටි ගණන් නාස්ති කරනකොට ඊට එරෙහිව අපි ප‍්‍රබල විවේචනයක් ගොඩනගනවා.

ඒ වගේම පහුගිය ආණ්ඩුවෙන් වරප‍්‍රසාද ලබාගත්ත ව්‍යාපාරික කණ්ඩායම් මාධ්‍ය ආයතන හිමිකරුවන් මාධ්‍යවේදීන් හිටියා. නිවාස අමාත්‍යාංශයෙන් පඩි ගත්ත මාධ්‍යවේදීන් හිටියා. ඔවුන් පත්තරෙනුත් වැටුප් ගත්තා. ආණ්ඩුවේ ආයතනවලිනුත් වැටුප් ගත්තා. මාධ්‍ය ආයතන හිමිකරුවන් රටේ ප‍්‍රබල සමාගම්වල සභාපති තනතුරුවල හිටියා. ජාතික යැයි කියාගන්නා පුවත්පතක කර්තෘවරයෙක් රාජපක්ෂගේ ජනාධිපති උපදේශක තනතුරක හිටියා. එම පුවත්පතේම මාධ්‍යවේදියෙක් වරායෙන් වැටුප් ගත්තා. ඔවුන්ට ඒවා අහිමි වනවිට ඒ කෝපය ජනතා විමුක්ති පෙරමුණ දෙසට එල්ල කරනවා.

පරාජයට පත්වූ කණ්ඩායමේත් බලයට ආපු කණ්ඩායමෙත් වරප‍්‍රසාද අහිමි වුණු කණ්ඩායම්වලත් පොදු සතුරා බවට අද පත්වෙලා තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන්ගේ පොදු සතුරා බවට පත්වීම ගැන අපි සතුටු වෙනවා. අපි අභියෝග කරනවා, අපිට එරෙහිව ලියන විවේචන තමන්ගේ නමින් ලියන්න කියලා. ඒ වගේම විවේචනය එල්ල කරන කෙනා නිශ්චිත කොට ලියන්න කියලා. නමක් නැතිව ලියන්නේ නිවට නියාළු මාධ්‍යවේදීන්. අපේ පක්‍ෂය තරම් සංවාද කරන තවත් පක්‍ෂයක් මේ රටේ නැහැ. ඒ වගේම අපිට අවලාද, මඩ එල්ල කරනවා නම් ඊට එරෙහිව ප‍්‍රබලම විවේචනයත් ප‍්‍රබලම ප‍්‍රහාරයත් එල්ල කරන්න අපි සූදානම්. ඒක අපේ අයිතියක්.

සමහරු අපිට කිව්වා, අපි කලබල වුණා වැඩියි කියලා. අපි මේ අවලාද තේරුම් ගන්නේ යම් පුද්ගලයෙකුගේ තකතීරු කමක් විදියට නෙවෙයි. එම අවලාද එල්ල කරන්නේ දේශපාලන ව්‍යාපෘතියකට අනුවයි. රාජපක්‍ෂ කල්ලිය, රනිල් වික‍්‍රමසිංහ කණ්ඩායම විවිධ වරදාන වරප‍්‍රසාද ලබාගත් කණ්ඩායම් ජවිපෙට එරෙහිව අද අත්වැල් බැඳගෙන ඉන්නවා. වේදිකාව ඉදිරිපිට ප‍්‍රහාර එල්ල කරගන්නවා. වේදිකාව පිටුපස ජවිපෙට එරෙහිව අත්වැල් බැඳ ගන්නවා. ඒ දේශපාලන ව්‍යාපෘතියට එරෙහිව අපි අපේ දේශපාලනය තෝරනවා. එහි ප‍්‍රමාණය බර අපිට හොඳට තේරෙනවා. එම දේශපාලන ව්‍යාපෘතිය පරාජයට පත්කරන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තිබෙනවා.

මෙම මාධ්‍ය හැසිරීම ගැන පුළුල් දේශපාන අදහසක් අපිට තිබෙනවා. එය නිශ්චිත දේශපාලන සාකච්ඡුාවක්. මාධ්‍යවලට, මාධ්‍යවේදීන්ට එරෙහි පොදු සාකච්ඡුාවක් නොවේ. වරප‍්‍රසාද අහිමිවීමෙන් කෝපයට පත්වී සිටින සුළු පිරිසකගේ මෙහෙයුමට එරෙහිව දිවයින පුවත්පතේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ කතුවරුන් හිටියා. දේශපාලනය පිළිබඳව, ඉතිහාසය පිළිබඳව ජන මනස පෝෂණය කළා. එහෙත් අද ළමුන් පාසැල්වලට ඇතුල් කරන්න සල්ලි ගත්ත කතුවරුත් පුවත්පතේ ගෞරවය විනාශ කරනවා. පුවත්පතේ ගරුත්වය ආරක්‍ෂා කිරීමේ වගකීම එහි මාධ්‍යවේදීන්ටත් තිබෙනවා. යුක්තිය සාධාරණය වෙනුවෙන් ඔවුන්ට අරගලයක් තිබිය යුතුයි. මෙම සාකච්ඡුාව පක්‍ෂය සඳහා පමණක් නෙවෙයි ජනතාවට ඇත්ත ගලායාමට ඇති අයිතිය වෙනුවෙන් තමයි අපි කරන්නේ.
පැවති පාලනය පරාජයට පත්වූවා පමණක් නෙවෙයි. දිනපතා තව තවත් බිඳ වැටෙමින් යනවා. ඒ කඳවුරේ දේශපාලනය විගඩමක් බවට පත්වෙලා. අලූත් ප‍්‍රබෝධයක් ඇතිකරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. සත්‍ය වශයෙන්ම දියවී අවසන් වන ව්‍යාපාරයක්. මේ ආණ්ඩුවත් වේගයෙන් අප‍්‍රසාදයට පත්වූ ආණ්ඩුවක්.

ගොවිජනතාවගේ, ධීවර ජනතාවගේ, රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ අප‍්‍රසාදයට පත්වෙලා අවසන්. තරුණයින්ගේ හැකියාවට දක්‍ෂකමට, උගත්කමට රැුකියාවක් ලබානොදීම නිසා ඔවුන් අපේක්‍ෂා භංගත්වයට පත්වෙලා. සිසු දරු දැරියන්ගේ විරසකයට ලක්වුණා. පොදු මහජනතාව මත අසීමිත බදු ගහලා තමන්ගේ සුඛ විහරණයට ධනය එක්රැුස් කරන ආණ්ඩුවක් බවට පත්වෙලා. එම නිසා ජනතාවට නව දේශපාලන ගමනක වුවමනාව දැනෙමින් තිබෙනවා. ඒ සඳහා පෙළ ගැසෙනවා. එම නිසා මහජනතාවට වාසි දේශපාලනයක් උදාවී තිබෙනනවා. ඒ මහජන පෙළ ගැස්මට ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය ලබාදෙනවා.

මේ නිසා තමයි වෙනදාටත් වඩා ජවිපෙට එරෙහි පිරිස් කෝපයට පත්වලො ඇඳිවත පවා උණා දමමින් වේදිකාවේ රඟපාන්නේ. ජාතික යැයි කියාගන්නා පත්තර කැලෑ පත්තර තත්වයට පත්වෙන්නේ ඒ නිසයි. ඉදිරියේදී එවැනි රඟ දැක්වීම් සිදුවන බව අපි හොඳින්ම දන්නවා. සතුරාගේ කෝපයත් වෛරයත් අඳෝනාවත් තේරුම් අරගෙන අපි එයට මුහුණ දෙනවා. මහජනතාවට එම කෝපය වෛරය පිළිබඳව අවබෝධයක් ලබාදෙන්න  ඕනෑ. ජනතාවට හොඳ සාරවත් අස්වැන්නක් ලබා දීම සඳහා බිම සකස් කරගත යුතුයි. අපේ සූදානම ඒ සඳහායි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *