|

අගාධයෙන් ගොඩඑන්න උත්තරයක් – ආචාර්ය සරත් කටුකුරුන්ද

ආචාර්ය සරත් කටුකුරුන්ද

විදේශ විනිමය සංචිත හිඟය අද අපේ රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික ප්‍රශ්නයකි. ඒ ආර්ථික ප්‍රශ්නයෙන් දේශපාලන හා සමාජ ප්‍රශ්න ද මතු වෙයි. මේ ලිපිය ඒ පිළිබඳව සාකච්ඡා කෙරෙන්නකි. අප මේ සාකච්ඡාව කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානි, ආචාර්ය සරත් කටුකුරුන්ද සමගය. විදේශ විනිමය සංචිත හිඟ වීමට හේතු සමග ඒවා යළි ඉහළ නංවාගත හැකි ක්‍රම ආචාර්ය කටුකුරුන්ද මෙසේ විස්තර කරයි.

රටක් සෙසු රටවල් සමග ආර්ථික ගනුදෙනු කරද්දී ඒ සඳහා නැති නම් ඒ ගෙවීම් සඳහා භාවිත කරන්නේ විදේශ විනිමය සංචිතය. 2020 අවසන් වෙද්දී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 5,664කි. එවකට තිබූ සමස්ත විදෙස් වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 8,521ක් පමණ විය. 2020 පැවැති ඒ සංචිත ප්‍රමාණවත් වූයේ මාස හයකුත් සති හතරකටය. අද වන විට පවතින සංචිත ප්‍රමාණය මාස තුනකටවත් ප්‍රමාණවත් නොවේ.

මේ අර්බුදය විසඳුම් රහිතව ගමන් කළොත් පවතින සංචිත සති හතරකට පමණක් ප්‍රමාණවත් වෙතැයි ආර්ථික විශ්‍ලේෂකයෝ සඳහන් කරති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්නා ණය ද මේ සංචිතවලට ඇතුළත් වෙයි. එමගින් විදේශ සංචිත ශක්තිමත් වෙයි. විදේශ සංචිත පවත්වාගෙන යාමෙන් ආර්ථිකයට වන කාර්ය හෙවත් ප්‍රයෝජන ඉතා වැදගත්ය. හේතුව මහ බැංකුව තමන් සතුව පවතින සංචිත පදනම් කරගෙන මුදල් නිකුත් කිරීමය. එය මහ බැංකුව මගින් ක්‍රියාත්මක කරන යම් වැඩපිළිවෙළකි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුවේ 1987 සිට 2006 කාලයේ හිටපු අධිපතිවරයා වන ඇලන් ග්‍රීන්පෑන් (Alan Greenpan) යම් රටක විදේශ වත්කම් ප්‍රමාණය අවම වශයෙන් කොතරම් තිබිය යුතු දැයි කියා තිබේ. ඔහු කියන හැටියට එය අවම වශයෙන් රාජ්‍ය ණය සහ රජය විසින් සහතික කළ ණය ප්‍රමාණයට වඩා වැඩි විය යුතුය. රජය මගින් සහතික කළ ණය ලෙස හඳුන්වන්නේ රාජ්‍ය ව්‍යවසායයන් එනම් තෙල් සංස්ථාව, විදුලිබල මණ්‍ඩලය, එයාර්ලංකා ගුවන් සමාගම වැනි රජයට අයත් සංස්ථා මණ්ඩල මගින් ගන්නා ණයයි.

ඒ ණය ගෙවන බවට රජය දෙන සහතිකය හෙවත් රජයේ ඇපය හේතුවෙන් ඒවා රජය මගින් සහතික කළ ණය ලෙස හැඳින්වෙයි. රජයේ ඒ සහතිකය රාජ්‍ය බැංකුවලට සේම පෞද්ගලික බැංකුවලට ද ලැබෙයි. කෙසේ හෝ රටක් සතු විදේශ වත්කම් හෝ සංචිත ප්‍රමාණය ඉහත කී ණය වර්ග දෙකට වඩා වැඩි විය යුතු බව ජාත්‍යන්තර පිළිගැනීමයි.

ග්‍රීන්පෑන්ගේ ඒ නිර්ණායකය මත ශ්‍රී ලංකාව දෙස බලමු. 1948 සිට 1962 දක්වා කාලයේ ජාත්‍යන්තරය පිළිගත් මට්ටමෙන් අපි අපේ සංචිත පවත්වාගෙන ගියෙමු. 1950 දී ලංකාවේ මුළු සංචිත ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 238කි. ඒ වන විට ලංකාව සතු මුළු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 26.3කි. එකල රජයේ දේශීය ණය ප්‍රමාණය විශාල නොවේ. 1962 දක්වාම ලංකාව ජාත්‍යන්තරය පිළිගත් ඒ සම්මතය මත කටයුතු කර තිබේ. එනම් රට සතු ණය ප්‍රමාණයට වඩා විදේශ වත්කම් ඒ යුගයේ ලංකාව සතුව පැවැතිණි.

ඉන් පසු 2021 දක්වා දිගටම පැවැතී ඇත්තේ රට සතු ණය ප්‍රමාණයට වඩා අඩු විදේශ සංචිත ප්‍රමාණයකි. විවෘත ආර්ථිකය ආරම්භ වූවාට පසු රට සතු විදේශ ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යයි. ඒ යුගයේ විදේශ වත්කම් ප්‍රමාණය ද ඉහළ පහළ ගොස් තිබේ. එහෙත් විදෙස් වත්කම් ප්‍රමාණය ඉක්මවා විදෙස් ණය ප්‍රමාණය ඉහළ ගොසිනි.

පිළිගත් ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයන් කියන්නේ මාස දහයකට අවශ්‍ය හෙවත් ප්‍රමාණවත් භාණ්‍ඩ සහ සේවා ආනයනය කිරීමට අවශ්‍ය තරම් විදේශ සංචිත ප්‍රමාණයක් ඕනෑම රටකට තිබිය යුතු බවය. ‘මහපට ඇඟිල්ලේ නීතිය’ (Rule of Thumb) එනම් ප්‍රායෝගික දැනුම හෝ අත්දැකීම් මත ගොඩනැගෙන පොදු මග පෙන්වීම ගැන මෙහිදී සලකා බලමු. පුංචි උදාහරණයකින් එය පැහැදිලි කළ හැකිය.

උද්ධමනය ආර්ථිකයකට අහිතකර වුවත් සියයට තුනක හතරක උද්ධමනයක් පැවැතීම රටකට, ආර්ථිකයකට හොඳ බව ආර්ථික විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. එලෙසම මාස දහයකට ප්‍රමාණවත් විදෙස් සංචිත පැවැතිය යුතු බව ඇතැම් ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. ඒ නිර්ණායක ගෙන බැලුවත් ලංකාවට එය සංතෘප්ත කළ හැකිව තිබුණේ ඉහත කී 1948 සිට 1962 දක්වා යුගයේ පමණකි.

උද්ධමනය ආර්ථිකයකට අහිතකර වුවත් සියයට තුනක හතරක උද්ධමනයක් පැවැතීම රටකට, ආර්ථිකයකට හොඳ බව ආර්ථික විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. එලෙසම මාස දහයකට ප්‍රමාණවත් විදෙස් සංචිත පැවැතිය යුතු බව ඇතැම් ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. ඒ නිර්ණායක ගෙන බැලුවත් ලංකාවට එය සංතෘප්ත කළ හැකිව තිබුණේ ඉහත කී 1948 සිට 1962 දක්වා යුගයේ පමණකි.

1948 දී ලංකාව සතුව පැවැති මුළු විදේශ වත්කම්වලින් මාස 14කට ප්‍රමාණවත් භාණ්ඩ හා සේවා ආනයනය කරගත හැකිව තිබිණි. එයට හේතුව ඒ වන විට අපේ රටේ විදේශ විනිමය සංචිත විශාල වශයෙන් ඉහළ ගොස් තිබීමය. ඒ සංචිත ප්‍රමාණය 1949 දී මාස 11.3කට ද 1950 දී 11.06කට ද ප්‍රමාණවත් විය. 1950 පසු අඩු වී නැවත 1955 දී එය මාස 10කට ප්‍රමාණවත් විය. ඉන් පසුව වර්තමානය දක්වාම පවතින්නේ පහත වැටීමකි. අනතුරුව 1977 වනතුරුම අපේ විදෙස් විනිමය සංචිත ප්‍රමාණවත් වී ඇත්තේ මාස තුනකට ආසන්න කාලයකටය. 1977න් පසුව විදෙස් වත්කම් ඉහළ පහළ ගියත් ඒවා ප්‍රමාණවත් වන කාලය මාස තුන ඉක්මවා නැත.

විදේශ විනිමය වෙළෙඳ පොළට මහ බැංකුවට කළ හැකි බලපෑම වැඩි වෙන්නට නම් විදෙස් සංචිත ඉහළ මට්ටමක පැවැතිය යුතුය. එවිට ගෙවුම් ශේෂයේ හිඟය පියවීමේ හැකියාව ද වැඩි වෙයි. එසේම එමගින් විනිමය අනුපාතය ස්ථාවරව පවත්වාගෙන යාමේ හැකියාව ද ඉහළ යයි. රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීම අවම කරගත හැකිය. අපේ විනිමය අනුපාතය හෙවත් රුපියලේ අගය සියයට 10කින් පමණ මේ වන විට අවප්‍රමාණය වී තිබෙන්නේ අප රට සතුව විදෙස් සංචිත ප්‍රමාණවත් තරම් නොමැති හෙයිනි.

විදෙස් සංචිත ඉහළ මට්ටමක පැවැතුණහොත් අපට විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය ද දිනාගත හැකිය. ඒ වගේම ආයෝජන ප්‍රවර්ධනයට ද ඉඩ සැලසෙයි. රටට විදෙස් ආයෝජන ගලා එයි. එය එසේ වන්නේ රටේ ආර්ථිකය කඩාවැටෙන්නේ නැත යන විශ්වාසයෙනි. එවැනි රටක ආයෝජනය කිරීම තමන්ට හොඳ බවට විශ්වාසයක් ආයෝජකයන් අතර වර්ධනය වෙයි. එහෙත් වර්තමානයේ පවතින අර්බුදය සමග වී තිබෙන්නේ එහි අනෙක් පැත්තය. එනම් මෙරට තිබුණු විදේශ ආයෝජනත් රැගෙන යාමය. විදෙස් සංචිත ඉහළ මට්ටමක පැවැතීම වඩා වැදගත් වන්නේ එහෙයිනි.

රටක් සතුව විදෙස් මුදල් සංචිත තිබෙනවා සේම ඒවා ආයෝජනය ද කළ යුතුය. ඒවා ගොඩ ගසාගෙන සිටීමෙන් ධනය තව තවත් නූපදියි. ලංකාවේ ආරම්භක යුගයේ අපේ විදේශ විනිමයෙන් වැඩි කොටසක් පැවැතුණේ ස්ථාවර තැන්පතුවලය. ප්‍රමුඛ විදේශ බැංකුවලය. බ්‍රිතාන්‍ය බැංකුවලය. ජාත්‍යන්තර ප්‍රාග්ධන හා මුදල් වෙළෙඳ පොළේ අපේ සංචිත ආයෝජනය කිරීම ආරම්භ කරන්නේ 1990 ගණන්වලය. විදේශ විනිමය කළමනාකරණය මත අවදානම අඩු ආයෝජනවල වැඩි ආදායමක් ලැබෙන පරිදි ආයෝජන කර තිබෙන බව ද කිව යුතුය.

ආයෝජනය සඳහා තෝරාගන්නේ ඉතාමත් අඩු අවදානමක් ඇති සුරැකුම්පත්ය. එසේම කඩා වැටෙන හා ගිනි ගන්නා ආර්ථිකවල ආයෝජන කළ අවස්ථා ද නැතිවා නොවේ. එසේ කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමානයේ සිටින අධිපතිවරයාය. ඒ, 2011 අප්‍රේල් මාසයේදීය. කබ්රාල් මහතා එවකට ද මහ බැංකු අධිපතිවරයා විය. එය ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටෙමින් පැවැති යුගයකි. ග්‍රීක ස්වෛරීත්ව බැඳුම්කර ආයෝජනයෙන් එදා ලංකාවට වූ පාඩුව ඇමෙරිකන් ඩොලර් මිලියන 6.6කි. එහෙයින් ‘ගින්න පෙනි පෙනී ගින්නට නොපැනිය යුතු බව’ මහ බැංකු අධිපතිවරයාට අවබෝධ වී ඇතැයි අපි විශ්‍වාස කරමු. ඒ පාඩම ඔහුට මතක ඇතැයි ද අපි විශ්වාස කරමු.

ආයෝජනය සඳහා තෝරාගන්නේ ඉතාමත් අඩු අවදානමක් ඇති සුරැකුම්පත්ය. එසේම කඩා වැටෙන හා ගිනි ගන්නා ආර්ථිකවල ආයෝජන කළ අවස්ථා ද නැතිවා නොවේ. එසේ කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමානයේ සිටින අධිපතිවරයාය. ඒ, 2011 අප්‍රේල් මාසයේදීය. කබ්රාල් මහතා එවකට ද මහ බැංකු අධිපතිවරයා විය. එය ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටෙමින් පැවැති යුගයකි. ග්‍රීක ස්වෛරීත්ව බැඳුම්කර ආයෝජනයෙන් එදා ලංකාවට වූ පාඩුව ඇමෙරිකන් ඩොලර් මිලියන 6.6කි. එහෙයින් ‘ගින්න පෙනි පෙනී ගින්නට නොපැනිය යුතු බව’ මහ බැංකු අධිපතිවරයාට අවබෝධ වී ඇතැයි අපි විශ්‍වාස කරමු. ඒ පාඩම ඔහුට මතක ඇතැයි ද අපි විශ්වාස කරමු.

ඒ උදාහරණයෙන් හා විදේශ විනිමය සංචිත ආයෝජනය පිළිබඳ අතීත පාඩම්වලින් රටට හෙළි කරන්නේ දූරදර්ශීභාවයේ හා අදූරදර්ශීභාවයේ ප්‍රතිවිපාකය.

රාජ්‍ය ණය වාරික ගෙවීමටත් දේශීය වෙළෙඳ පොළේ හිඟයක් ඇති වන විට එය සපුරාලීමටත් වාණිජ බැංකු ඉල්ලා සිටින අවස්ථාවලදී ඔවුන්ට සැපැයීමටත් යොදා ගන්නේ සංචිතවල තිබෙන විදේශ මුදල්ය. ලෝකයේ ඉහළම විදේශ විනිමය සංචිතයක් හිමි රට චීනයයි. එහෙත් බොහෝ රටවල තිබෙන්නේ අඩු විදේශ විනිමය සංචිතයකි. ලංකාව ද එබඳු රටකි. එවැනි අවස්ථාවක මහ බැංකුව රටේ විදේශ විනිමය වෙළෙඳ පොළේ ද්‍රවශීලතාව රැකිය යුතුය. එය කළ යුත්තේ ණය ගෙවීමටත්, හිඟය පූරණය කිරීමටත් වාණිජ බැංකුවලටත් විදේශ විනිමය සැපැයීමෙනි. විදේශ විනිමය ඉල්ලුම් කරන ඕනෑම අවස්ථාවක ඒවා සපුරාලීම සඳහා සූදානම් වීම මහ බැංකුවේ වගකීමකි.

ද්‍රවශීලතාව රැකෙන පරිදි ප්‍රමුඛතා මත ආයෝජනය කිරීම ඉතා වැදගත්ය. එහිදී කළ යුත්තේ දිගු කාලීන ආයෝජන නොව කෙටි කාලීන ආයෝජනය. ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් අවුරුද්දකට අඩු කාලයකින් කල්පිරෙන ණය ක්‍රමයකි. එතැනදී ආරක්ෂා සහිතව ආයෝජනය කිරීම ඉතා වැදගත්ය. ඊට හේතුව අපේ ණය වාරික ගෙවීම පැහැර හැරියොත් හෝ අතපසු කළොත් එය රටක් ලෙස අපට අහිතකර වීමය. ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන ලංකාව සිටි ශ්‍රේණියෙන් පහළ ශ්‍රේණියකට ඇද දැම්මේ ලංකාව ණය ගෙවා ගැනීමට නොහැකි රටක් බවට පත්වෙමින් පවතින බව ඔවුන්ගේ නිරීක්ෂණ නිගමනය වූ හෙයිනි.

ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන ලංකාව සිටි ශ්‍රේණියෙන් පහළ ශ්‍රේණියකට ඇද දැම්මේ ලංකාව ණය ගෙවා ගැනීමට නොහැකි රටක් බවට පත්වෙමින් පවතින බව ඔවුන්ගේ නිරීක්ෂණ නිගමනය වූ හෙයිනි.

පවතින අර්බුදය වහාම තේරුම් ගැනීම සහ ඊට අවශ්‍ය විසඳුම් සම්බන්ධයෙන් අදහස්, යෝජනා හා සැලැස්මක් සකස් කිරීමට හැකි ඉක්මනින් වහාම විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කළ යුතු බව මගේ පළමු යෝජනාවයි.
විසඳුමක් එන්නේ සැලැස්මක් මතය. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ලංකාව ඉදිරියේදී විශාල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙන බවයි.

විෂයය ගැන දන්නා විද්වතුන් විශාල පිරිසක් රටේ සිටිති. විෂයය පිළිබඳ හසළ දැනුමක් තිබෙන අය විශ්වවිද්‍යාලවලත්, ව්‍යාපාරික හා බැංකු ක්ෂේත්‍රවලත් සිටිති. ඔවුන්ගේ අදහස් ඉතා වැදගත්ය. ඔවුන් සමග සාකච්ඡා කරන්නේ නම් එසේ කරමින් ‘අතීසාරයට අමුඩ ගසන්නා බඳු’ වැඩ නොකර සිටීමට ආණ්‍ඩුව පරිස්සම් විය යුතුය.

ඒ විද්වත් මණ්‍ඩලය කොට්ඨාස දෙකකින් සමන්විත විය යුතුය. කොරෝනා වසංගතයත් සමග ඇති වුණු අර්බුද කළමනාකරණයට සෞඛ්‍ය අංශ ඇතුළු එක් මණ්ඩලයක් එහි සිටිය යුතුය. කොරෝනා මර්දන යාන්ත්‍රණයේ සිටි විද්වතුන් විටින් විට ඉවත් වූයේ විද්‍යාත්මකව කටයුතු කිරීමට ආණ්‍ඩුව ඔවුනට ඉඩ නොදුන් නිසාය. එය එසේ නොවී යළි රට වහන්නට වුණොත් විදේශ සංචාරකයෝ නොපැමිණෙති. එසේම විදේශ ආයෝජකයෝ ද නොපැමිණෙති.

තත්ත්වය සමනය සඳහා ලංකාවේ විධිමත් වැඩපිළිවෙළක් පවතින බවත්, එය මැනවින් ක්‍රියාත්මක වන බවත් ආයෝජකයන්ට හා සංචාරකයන්ට පෙනෙන්නට තිබිය යුතුය. හුදෙක් එන්නත්කරණයෙන් පමණක් මෙය සමනය කළ නොහැකිය. ඊට එහා ගිය විචක්ෂණශීලී වැඩපිළිවෙළක් රජයට තිබිය යුතුය. මණ්ඩලයේ අනෙක් අංශය විය යුත්තේ විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය මග පෙන්වීම සඳහා තවත් අංශයක් තිබීමය. ඒ මණ්ඩලයේ යෝජනා ඉවත නොදමා ඒවා ගැන සාකච්ඡා කර ක්‍රියාත්මක කළ යුතුය.

විදේශ රැකියාවල නියුතු ලාංකිකයන් මෙරටට එවන මුදල් විශාලය. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉන් වන පිටිවහල විශාලය. 1981 සිට 2000 කාලයේදී විදේශ රැකියා කළ අය එවූ මුදල දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිඵලයක් ලෙස සියයට 5.7කි. 2001 සිට 2020 දක්වා කාලයේදී එය සියයට 8ක් විය. විදේශ රැකියාවලින් උපයාගත හැකි ආදායම් ඉහළ නංවාගත හැකි ප්‍රබල ක්‍රමය වන්නේ පුහුණු ශ්‍රමිකයන් විදෙස් රැකියා සඳහා යැවීමය. දැනට විදෙස් රැකියා සඳහා යන ලාංකිකයන්ගෙන් සියයට 70ක් ගෘහසේවිකාවන් සහ නුපුහුණු ශ්‍රමිකයෝය.

විදේශ රැකියා සඳහා යන පුහුණු ශ්‍රමිකයන් සංඛ්‍යාව සියයට 20ක් පමණ වෙයි. මා යෝජනා කරන්නේ තොරතුරු තාක්ෂණ ශිල්පීන් හා පුහුණු සාත්තු සේවිකාවන් වැඩි වැඩියෙන් රට රැකියා සඳහා යැවිය යුතු බවය. පුහුණු සාත්තු සේවිකාවනට යුරෝපයේ තිබෙන ඉල්ලුම ඉතා ඉහළය. අපට ඒ ඉල්ලුමට සැපැයිය හැකි නම් විදේශ විනිමය අර්බුදයට එහි විසඳුමක් තිබේ. සංචාරක කර්මාන්තයෙහි ද එවැනි අලුත් අවස්ථා අපමණය.

විදේශ ආයෝජන වැඩි කරගැනීම සඳහා අපේ ආර්ථික ප්‍රතිපත්තිවල විශ්වසනීයභාවය වර්ධනය කළ යුතුය. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ලංකාවේ පොදු පහසුකම්, සෞඛ්‍ය, සංචාරක වැනි ක්ෂේත්‍රවල ආයෝජන වැඩි කිරීමට තිබෙන අවස්ථා සුලභය.

විදේශ විනිමය අර්බුදය ඉහළ යාමට ආහාර මිල ඉහළ යාම ඍජුව බලපෑවේය. එහෙයින් රසායනික පොහොර තහනම වහා ඉවත් කළ යුතුය. එමගින් ආහාර මිල ගණන් අවම කිරීමටත්, උද්ධමනය පාලනය කිරීමටත් හැකි වෙයි. දැනට අප යොමු වී සිටින්නේ ගෝලීය නිමවුම් අපනයන වෙළෙඳපොළටය.

විදේශ විනිමය අර්බුදය ඉහළ යාමට ආහාර මිල ඉහළ යාම ඍජුව බලපෑවේය. එහෙයින් රසායනික පොහොර තහනම වහා ඉවත් කළ යුතුය. එමගින් ආහාර මිල ගණන් අවම කිරීමටත්, උද්ධමනය පාලනය කිරීමටත් හැකි වෙයි. දැනට අප යොමු වී සිටින්නේ ගෝලීය නිමවුම් අපනයන වෙළෙඳපොළටය.

එහි තරගකාරීත්වය ඉතා විශාලය. ඒ නිසා සේවාවලට තිබෙන ඉල්ලුම ඔස්සේ ගොඩනැගී තිබෙන අවස්ථා ප්‍රයෝජනයට ගත යුතුය. නිමවුම් අපනයන නමැති සාම්ප්‍රදායික ගියරයෙන් සේවා අභිමුඛ සංවර්ධන ගියරයට ලංකා ආර්ථිකයේ ගියර් මාරු කළ යුතු බව මගේ යෝජනාවයි. එමගින් අත්කරගත හැකි වාසි සුවිශාල බව මගේ තක්සේරුවයි.

අපනයන ඉපයීම් වැඩි කරගැනීමට හෝ ආයෝජන වැඩි කරගැනීමට විසඳුමක් පෙනෙන මානයක නොපෙනෙයි. ඒ නිසා වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙසට හැරිය යුතුමය. විවිධ රටවල ගෙවුම් ශේෂයේ ඇති වන අර්බුද සමනය කරගැනීමට සහනදායක පොලියකට දිගු කාලීන ණය දීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවීමේ එක් අරමුණකි. දැන් ලංකාව සිටින්නේ මූල්‍ය අරමුදලේ ඒ අරමුණ ඉටු කරගැනීමට සුදුසු අවධියකය. ලංකාව ද මූල්‍ය අරමුදලේ සාමාජික රටකි. එහෙයින් ලංකාව වහාම මූල්‍ය අරමුදල වෙත යා යුතුය. රට ණය උගුලක නොපටලවන ආයතනය මූල්‍ය අරමුදලයි. මූල්‍ය අරමුදල ණය මුදල් දෙන්නේ ඒ ඒ රටවල මහ බැංකුවලටය. බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ආයතන ණය දෙන්නේ අදාළ රටේ ආණ්‍ඩුවටය.

එහෙත් මූල්‍ය අරමුදල සමීපස්ත ණය දෙන්නේ අදාළ රටේ විනිමය සංචිත වැඩි කරගැනීම සඳහා ඒ රටේ මහ බැංකුවටය. ජත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය 1965 සිට 2020 අතර කාලයේ අප 4.7 ආර්ථික වර්ධනයක් අත්කරගෙන තිබේ. ඒ කාලයේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් ලබා නොගෙන අප කටයුතු කර තිබෙන අවුරුදු 22ක කාලයකදී අත්කරගෙන තිබෙන්නේ 4.49ක ආර්ථික වර්ධන වේගයකි.

මූල්‍ය අරමුදල සමගම යමින් අප කටයුතු කර තිබෙන කාලයේ අත්කරගෙන තිබෙන ආර්ථික වර්ධන වේගය සියයට 5.61කි. ඒ ඉලක්කම්වලින් පෙන්වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රකුසකු නොවන බවය. ලංකාවේ හා එහි ජනතාවගේ මිතුරකු බවය. ඒ මිතුරා ළඟට යා හැක්කේ අධිතක්සේරුවෙන් උපන් උද්ධච්ඡකම බිම තැබුවහොත් පමණකි.

මූල්‍ය අරමුදල සමගම යමින් අප කටයුතු කර තිබෙන කාලයේ අත්කරගෙන තිබෙන ආර්ථික වර්ධන වේගය සියයට 5.61කි. ඒ ඉලක්කම්වලින් පෙන්වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රකුසකු නොවන බවය. ලංකාවේ හා එහි ජනතාවගේ මිතුරකු බවය. ඒ මිතුරා ළඟට යා හැක්කේ අධිතක්සේරුවෙන් උපන් උද්ධච්ඡකම බිම තැබුවහොත් පමණකි.

රුහුණූ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානී

ආචාර්ය සරත් කටුකුරුන්ද

සාකච්ඡා සටහන

 ගුණසිංහ හේරත්

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *