බාල පෝරදී කෝටි 100ක් පිල්ලි ගහලා


 

පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදීමට පොහොර ලේකම් කාර්යාලයෙන් ආනයනය කරන ලද යූරියා පොහොර සදහා ව්‍යාජ රසායනාගාර වාර්තා ඉදිරිපත් කරමින් සිදුකළ බව කියන රුපියල් කෝටි 100කට අධික මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට  කරුණු වාර්තා කළේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරනු ලැබූ මෙම වංචාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන කොට්ඨාසයට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ, මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා විසිනි.

පොහොර ලේකම් කාර්යාලය විසින් 2018 සහ 2019 වර්ෂවලදී මෙරටට ආනයනය කරනු ලැබූ යූරියා, මියුරේට් ඔෆ් පොටෑස් සහ ටී්‍රපල් සුපර් පොස්පේට් යන පොහොර වර්ග සඳහා රසායනාගාර වාර්තා ව්‍යාජව සකස් කර මෙම වංචාව කාලාන්තරයක් තිස්සේ සිදුකරමින් තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණීල්ලේ සඳහන්ව ඇත.

මෙම පොහොර සම්බන්ධයෙන් වන රසායනාගාර වාර්තා අසමත් (ෆේල්) වීම නිසා මෙසේ ව්‍යාජ වාර්තා සකස් කර ඇති බවට මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලදී හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් පැමිණීල්ල වූ මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

නිමන්ති රණසිංහ

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *