රජයෙන් සහල් ගෙන්වීමත් අසාර්ථකයි ! පෞද්ගලික අංශයට අවසර !!

මෙරට වෙළෙඳපොළේ ඉහළ යන සහල් මිල පාලනය සඳහා රජය මගින් සහල් ආනයනය කොට බෙදා හැරීමේ වෙළෙඳ අමාත්‍යංශයේ උත්සාහය අසාර්ථක වී ඇති නිසා සහල් ආනයනයට පෞද්ගලික අංශයට අවසර දීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව දෙසැම්බර් 31 දක්වා කාලය සඳහා සහල් ආනයන අවස්ථාව පුද්ගලික අංශයට ලබා දී තිබේ.

වෙළෙඳ අමාත්‍යංශය රුපියල් 100 ට අඩු මිලට සහල් ගෙන්වා බෙදා හරින බව කීව ද, මෙරට වෙළෙඳපොළට ගැළපෙන සහල් එම මිලට ලබාගත නොහැකි වී ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාවෙන් ගෙන්වන්නට ගිය පොන්නි සම්බා ටොන් එකක මිල ඩොලර් 660 ක් වන බවත්, ඒ අනුව ඩොලරයට රුපියල් 203 නිල අනුපාතය අනුව ගණන් බැලුව ද, නැව් ගාස්තුවලින් තොර මිල කිලෝවක් ශ්‍රී ලංකා රුපියල් 134 කි.

පකිස්ථානයේ ජැස්මින් සහල් ටොන් එකක මිල ඩොලර් 633 කි. ඒ අනුව එහි මිල ද කිලෝව රුපියල් 130 ඉක්මවා යයි.

මේ තත්ත්වය තුළ ප්‍රමිතියෙන් තොර නාඩු සහල් ගෙන්වා කිලෝව රුපියල් 98 බැගින් විකිණීමට වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු කොට ඇතත්, එම සහල් සඳහා ඉහළ ඉල්ලුමක් නැති බව කියති. එම සහල් ගෙන්වීමෙන් දේශීය සහල් මිල ඉහළ යෑම පාලනය වීමක් ද සිදු වී නැත.

එමෙන් ම එලෙස අඩු මිලට සහල් විකුණා ඇත්තේ පාඩු පිට බවත්, පසුගිය මාසයේ පමණක් සහල් අලෙවියෙන් සිදු වූ පාඩුව රුපියල් ලක්ෂ 660 ක් බවත්, වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය අමතා අද ප්‍රකාශ කළේ ය.

එලෙස රජයෙන් සහල් ගෙන්වා බෙදාහැරීම අසාර්ථක වීම සහ පාඩු ලැබීමත් නිසා පෞද්ගලික අංශයට සහල් ගෙන්වා බෙදා හැරීමට අවසර ලබා දී ඇත.

රසායනික පොහොර තහනම නිසා අස්වනු හානි වීම මත ඉදිරි කාලයේ සහල් මිල තවත් ඉහළ යා හැකි බව කියති.

කෘෂිකර්ම ඇමතිවරයා කීවේ ඉදිරි කන්නයේ නාඩු වී කිලෝව රුපියල් 100 බැගින් රජය මගින් මිලට ගන්න බවයි. ඒ අනුව සහල් කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා යනු ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *