සීනි මිල පාලනයත් ඉවතට

 

සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය  තීරණය කර තිබේ.

සීනි ආනයනකරුවන් සහ මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කොට ඇත.

සහල්, සිමෙන්ති, ගෑස් , කිරිපිටි ආදිය සඳහා තිබු මිල පාලනය රජය මීට පෙර ඉවත් කළේ ය.

මිල පාලනය කළ භාණ්ඩ වෙළෙඳපොළේ හිග වීම නිසා ආණ්ඩුව එම මිල පාලනයන් ඉවත් කළේ ය.

සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත්, පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සැප්තැම්බර් 02 වනදා ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

එහිදී ආනයනකරු විසින් අලෙවි කළයුතු සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම තොග මිල දැක්වුණේ රුපියල් 116ක් ලෙසය.

කෙසේවෙතත් මේ වනවිට වෙළෙඳපොළේ නැවතත් සීනි හිඟයක් මතුවී ඇති බැවින් සීනි මිල පාලනය ද ඉවත් කිරීමට රජයට සිදුව තිබේ.

වෙළෙඳුන් පැවසන්නේ  රජය පැනවූ පාලන මිලට සීනි අලෙවි කළ නොහැකි බැවින් තමන් සීනි මිලදී ගැනීම අත්හිටවූ බවය.

කෙසේ වෙතත්,  සීනි අලෙවි කළ බොහෝ වෙළෙඳසල්වල සීනි අලෙවි කරන ලද්දේ පාලන මිලට වඩා වැඩි මිල ගණන් යටතේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *