ආපසු හැරි බලන්නට තමිළිනී ගේ පොත අපිට උපකාරයක්- ගාමිණි වියන්ගොඩ

තමළිනී ගේ මේ කෘතිය දොරට වැඩීම සම්බන්ධයෙන් වචන කිහිපයක් කථා කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. මක් නිසා ද යත් තමිළිනී ගේ මේ කෘතිය නිමිති කොටගෙන අපි අද ජීවත්වන මොහොත පිළිබඳව යම්කිසි අදහසක් කෙටියෙන් දක්වන්නට හැකිවීම විශේෂයකි. විගණනය යනුවෙන් විෂයක් තිබෙන බව අපි දනිමු. විගණන පනතක් ගැන ද මේ කාලයේ කථාවන බව අපිට අසන්නට ලැබේ. මේ විගණනයෙන් කෙරෙනේනේ මුදල් කටයුතු සහ ඒවාට අදාළ වටිනාකම් පිළිබඳව සොයා බැලීමක් ලෙස සරළව දැක්විය හැක. දෙපාර්තාමේන්තුවක් හෝ අමාත්‍යාංශක් ගතහොත් ඒවායේ ගිය වසරේ මූල්‍ය කටයුතු කෙරී තිබෙන ආකාරය පිළිබඳ සොයා බැලීමක් ඒ මගින් සිදු කෙරේ. මොනවගේ ද වියදම්කර ඇත්තේ. මොනවට ද වියදම් කර තිබෙන්නේ මේ ආදි වශයෙන් විගණනයක් ඒවා තුළ කෙරෙනු ඇත. මේ විගණනය කියන එක සමාජය පැත්තෙන් ගත්තත් ඉතමත් වැදගත් අංගයකි.
සමාජයට ද මේ ආකාරයේ ම විගණනයක් අවශ්‍ය කෙරේ. අපේ රාජ්‍ය තුළ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ, විගණනය කරන නමුත් අවාසනාවකට ලංකාවේ සමාජය හා දේශපාලන දේහය තුළ එවැනි විගණනයක් කිරීමේ උවමනාවක් ඇති විගණකාධිපතිවරු නැත. තමිළිනී ඇත්ත වශයෙන් කරඇත්තේ තමා පිළිබඳ ඒ ආකාරයේ විගණනයකි. ඇය තමන් කටයුතු කළ ඒ දේශපාලන සංවිධානය පිළිබඳව හා ඒ දේශපාලන සංවිධානයට උපත ලැබීමට අප සළසා දුන් කරුණු හා ඒ දේශපාලනය ද ඇතුලත් සියල්ල කැටිකරගත් ජාතික ප්‍රශ්නය ගැන තමන්ගේ පැත්තෙන් ඇය ඒ විගණනයක් කර තිබේ. තමිළිනී තමන් ගත්ත ක්‍රියාමාර්ගය ගැන යම් කිසි විධියක පසුතැවීමකට පත් වී තිබෙන බව ඒ පොතෙන් කියැවේ. තමිළිනීගේ පැත්තෙන් ඇති වූ ඒ පසුතැවීම කොපමණ දුරට අපේ පාර්ශවයෙන් කෙරි තිබෙනවා ද යන්න අපේ අවධානයට යොමුවිය යුතුව තිබේ.
ඕනෑම රටක යුද්ධයක් ඇති වූ විට ඒ යුද්ධය යම් කිසි ආකාරයකට නාමකරණය කෙරේ. අපේ රටේ අතීතයේ දි රජවරු යුද්ධ කර ඇතත් සුවිශේෂ රජවරු දෙන්නෙක් යුද්ධ කර තිබේ. එක් අයෙක් දුටු ගැමුණු වන අතර අනිකා එළාරවේ. එක් අයෙක් සිංහළ වන විට අනිකා දෙමළ විය. ඒ කථාව මහාචංශය කියන පොතේ ඇතිවා පමණක් නොව අපි එය පාසැලේ දි ඉගෙන ගත්තේ ය. එයින් අපිට දී ඇති හෝ ඔලුවට පැමිණි අදහස තමයි සිංහළ සහ දෙමළ ජාතිය අතර මහා යුද්ධයක් ඇති වූවාය යන්න. ඒ යුද්ධයේ දි දෙමළ ජාතිය පරාජයකර සිංහළ ජාතියේ රජ වූ දුටු ගැමුණූ රට එක්සත් කළා කියන අදහස එතන ඇත. නමුත් අපි හොයලා බැලුවොත් එම යුද්ධය කොයියම් ම ආකාරයෙන්වත් ජාතීන් දෙකක් අතර ඇති වූ යුද්ධයක් නොවන බව අද අපි දනිමු. ලංකා ඉතිහාසය පුරා සිය වාරයකටත් වඩා රජවරුන් අතර ඇති වූ යුද්ධ අතර එක යුද්ධයක් පමණි ඒ. වෙනත් ආකාරයට කියන්නේ නම් මේ යුද්ධය ද බලය සඳහා රජවරුන් දෙදෙනෙක් අතර ඇති වූ තවත් යුද්ධයක් ඇරෙන්නට ඒ යුද්ධය ද ජාතින් අතර ඇති වූ යුද්ධයක් නොවේ. එළාර ගේ හමුදාවේ දසමහා යෝධයන් අතර සිංහල යෝධයින් හිටියා හා සමානවම දුටු ගැමුණු ගේ දසමහා යෝදයන් අතර දෙමළ යෝධයෝ ද සිටිමෙන් ඒ යුද්ධය ජාතින් දෙකක් අතර වූ යුද්ධවක් නොවන බව මොනවට පැහැදිළි ය. ඒ වගේම එළාර රජු පාලනය කළ ප්‍රදේශයේ සිටියේ ද සිංහළ මිනිසුන් ය. එවිට සිංහළ මිනිසුන්ගේ රජෙකු හැටියට තමයි එළාර අභිෂේක ලබා වසර 40ක් රට පාලනය කළේ. නමුත් මේක ඉතිහාස පොතට පැමිණිමේ දී අපිට ආ පණිවිඩය තමයි ජාතින් දෙකක් අතර යුද්ධයක් ඇති වී සිංහල ජාතිය ජයග්‍රහණය කළා යන්න.
නමුත් එම සිද්ධිය වර්තමානයේ දි ඇත්තටම සිද්ධ විය. මීට වසර 30කට පමණ පෙර පටන්ගෙන මේ මුළු රට විනාශ කළ මේ යුද්ධය, ජාත්ීන් දෙකක් අතර ඇති වූ යුද්ධයක් බව අපිට අඳුණා ගන්නට පුලුවන. මේක නිති පොතක හෝ ව්‍යවස්ථාවක තියන කරුණු අනුව එසේ නොවේ යන්න ඔප්පු කරන්නට පුඵවන් කථාවක් නොවේ. මක්නිසාද යත් ඒ මේ යුද්ධය ජාතින් දෙකක් අතර නොව ආණ්ඩුවක් සහ ත්‍රස්තවාදි සංවිධානයක් අතර ඇති වූ යුද්ධයක් ලෙස තමයි එයින් සළකන්නේ. නමුත් මේ යුද්ධය තුළ දී දකුණේ අපි මේ යුද්ධය දැක්කේ මොන ආකාරයට ද? අපි මේ යුද්ධය දැක්කේ සිංහළයින් තමන්ගේ රට ආරක්ෂා කිරීම සඳහා කරන යුද්ධයක් ලෙසට ය. මේක කොයි ආකාරයට ප්‍රතික්ෂේප කළත්, අපේ රණවිරුවන් විසින් සිංහළයා වෙනුවෙන් කළ යුද්ධයක් ලෙසයි අර්ථ කථනය වූයේ. උතුරේ තිබෙන්නේ ද මේ මතයේම අනික් පැත්ත ය. මේක විමුක්ති අරගලක් මෙන්ම තම ජාතියේ ප්‍රජාතින්ත්‍රිය අයිතිවාසිකම් පිළිබඳ අරගලයක් ලෙසිනුයි දෙමළ ජනයාගේ සිතේ හි ධාරණය වි තිබෙන්නේ. එවිට මේ ජාතීන් දෙකම තනි පුද්ගලයින් වශයෙන් මෙන්ම සමාජයක් වශයෙනුත් මේ යුද්ධය කරගෙන ගියේ සහ ඊට මූලික වූයේ ජාතින් දෙකක ආකාරයට මිසක් නීති පොතේ තිබෙන ආකාරයට නීත්‍යානුකුල ආණ්ඩුව සහ නීති විරෝධි ත්‍රස්තවාදි සංවිධානයක් අතර යුද්ධයක් ලෙසට නොවේ.
දැන් ඒක විනාශයකින් කෙරවර වී ඇත. ඒ විනාශය සිදුවූවාට පසුව මේ විනාශය දෙස ආපස්සට හැරී බලන්නට සමාජයකට හැකිවිය යුතු ය. එදා දුටුගැමුණු සහ එළාර රජුගේ යුද්ධයෙන් පසුව දුටුගැමුණු රජු මේ සිදුවීම කුමක් ද යන්න ආපස්සට හැරී බැලුවේ ය. එක පැත්තකින් ඔහු තම ප්‍රතිමල්ලවයාට කරන්නය හැකි ඉහලම ගෞරවය සැලසිය යුතු ආකාරයේ අන පනත් ඇති කළේ ය. ඔහුගේ සොහොන අසලින් යන විට ගරුකළ යුතු බවට නීති සකස් කළේ ය. එ පමණක් නොව ඔහුට මරණ මංචකයට යන විට මේ සිදු වූ දේ පිළිබඳව ආපසු හැරි බැලුවේ ය. මහාවංශ කතුවරයා එතන දි රහතන් වහන්සේලා පැවසු බවට මෙසේ ලියා ඇත. ඔබතුමා විශාල පාපයක් කර නැත. ඔබ කර ඇත්තේ මිනිසුන් එකහමාරක ගේ ජීවිත නැති කිරීම පමණි. ඒ සම්බන්ධයෙන් පමණයි ඔබට වගවීමක් තිබෙන්නේ යන්න එහි වැඩිදුරටත් සඳහන් වේ. මිය ගියවුන් අතර මිනිසුන් එක හමාරක් හැටියට අර්ථ දක්වන්නේ පන්සිල් ගත් අයෙක් සහ තිසරණය ගිය අයෙක් සිටීමය. මහා වංශ කතුවරයාට අනුව මේ ජීවිත එකහමාරට තමයි ගැමුණ රජ්ජුරුවො වගකිව යුතු වන්නේ.
කෙසේ හෝ මේකෙන් පෙනෙන්නේ එදා ජාතීන් දෙකක් මුල්කරගෙන නොව බල අරගලය සඳහාම විශාල මිනිසු ඝාතනයක් කළ රජ කෙනෙකුට අවසාන මොහොතේ දී තමන්ගේ හෘදය සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නයක් මතු වූ බවය. ඒ හෘදය සාක්ෂිය ඉදිරියේ තියෙන ඕනෑම බලවේගයකින් ඔහු සහනයක් පැතූ බව පැහැදිළි ය. එදා තිබුණු ආකාරයට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ඒ සහනය පැතුවේ ය. දැන් අද අර විදියට නොව ජාතින් දෙකක් ලෙසට ම මරාගෙන තිබෙන විට මොන ආකාරයේ හෘදය සාක්ෂියක් අපිට ඇතිවිය යුතු ද? ඒ හෘද සාක්ෂිය විමසන්නේ අපේ කීයෙන් කී දෙනා ද? ෆෙඩරල් ක්‍රමය ඉල්ලන විට ඇයි ෆෙඩරල් ඉල්ලන්නේ යන්න සොයා බැලිය යතු බවට ලග දී ජනාධිපතිතුමා වැදගත් ප්‍රකාශයක් කළේ ය. ප්‍රශ්නය තිබෙන්නේ එතන ය. ෆෙඩරල් දෙන්නට බැහැ කියන එක එන්නේ ඊට පසුව ය. හැබැයි මෙහෙම ඉල්ලන්නේ ඇයි ද යන්න ප්‍රථමයෙන් ම සොයා බැලිය යුතුව තිබේ. ආපසු හැරි බැලූ විට ඊ ළගට එන උත්තරේ තමයි මේ යුද්ධය පිටි පස්සේ ඇති හේතුව. අපි හිතනවා ත්‍රස්තවාදය පරාජය කළා, රට එක්සත් කළා. ඒකීය ශ්‍රි ලංකාවක් යුධ බිමේ දී ස්ථාපිත කළා යන්න. දැන් කිසි ප්‍රශ්නයක් නැති බව ඇතැම් අය කල්පනා කරති.
තමිළිනී තමන්ගේ සංවිධානය පිළිබඳව මේ තරම් විවේචනාත්මකව කථා කිරීම දෙස බලන විට අපි ඒ වගේ සිය ගුනයක් ස්වයංවිවේචනාත්මක ව අපි දෙස හැරි බැලිය යුතු ය. ඒ ආකාරයට විතරම යි මේ රටේ ඉදිරි දශක කිහිපය තුළ තවත් විනාශකාරි යු්ධයක් ඇතිවීම වැලැක්විය හැකි වන්නේ. නැවත නැවතත් තමිලිණි ලා සහ ප්‍රභාකරන් ලා බිහිවිම වැළැක්වීමට මෙයින් පිට වෙන කිසිම ක්‍රමයක් නැත. මේක සිංහළයින් පමණක් තේරුම්ගත යුතු දෙයකි. මේ රටේ බහුතරය මෙන්ම වසර 2500ක ඉතිහාසයක් අපිට තියනවා කියන නිසාම ඒක එසේ විය යුතු ය. මේ රට අපේ නම් මේ රට ආරක්ෂා කර ගැණිමේ නිවැරදි ක්‍රමය තේරුම් ගැණිම අපේ වගකීමකි. ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න අපි දන්නේ නැති නම්, ආරක්ෂාව යනුවෙන් ඉදිරිපත් කරන්නේම ඒ ආරක්ෂාව වලක්වන ක්‍රම නම්, මේ රටේ බහුතරය වූවත් අපිට පමණක් නොව අපේ ඉදිරි පරම්පරාවලට ද අපි මේ රට ආරක්ෂා කෙරෙන්නේ නැත. ඒ නිසා මා හිතනවා මේ වෙලාවේ තමළිනී ගේ මේ කෘතිය නිමිති කරගෙන එක්තරා ආකාරයක අන්තරාවලෝකනයක් ජාතියක් ලෙස අපි කළයුතු ය. වාර්ගික ජාතියක් ආකාරයටත්, ලාංකිය ජාතිය විදියටත්, කොහේද වැරදුණේ යන්න අපේ ඇතුලට අපි හැරිලා බැලිය යුතුව තිබේ. ඒ ආකාරයටම පමණයි තවත් මේ වගේ ඛේදවාචක අනාගතයේ ඇතිවීම වලක්වා ගන්නට හැකි වන්නේ. ඒ නිසා මේක මම අවස්ථාවක් කරගන්නවා අපි මුහුණ දෙන ගැටලුවේ එක ප්‍රශ්නයක් ගැන කථා කරන්නට.
දැන් යහපාලන ආණ්ඩුව පිළිබඳව විවිධ ආකාරයේ චෝදනා එල්ල වේ. ඒ චෝදනා දිනෙන් දින වැඩිවේ. මේ චෝදනා වැඩිවෙන අතරේ තමන් ට නැති වූ දේවල් ලබාගන්නට, කල දුටු තැන වල ඉහගන් කියන ආකාරයේ පිරිසක් බලාගෙන සිටිති. දැන් අපි යුද්ධය අවසන් කර වසර 7ක් ගත වි ඇත. යුද්ධය අවසන් කිරීමේ මුලික එල්ලය වන සාමය ස්ථාපිත කරගන්නට තවමත් නොහැකි වි ඇත. යුද්ධය ජයගත් නමුත් සාමයේ දි අපි පරාජය වි තිබෙන බව මේ වසර 7 තුළ දැකගත හැක. වසර 7ක් තිස්සේ සාමය පරාජය වනවා කියන්නේ ඕනෑ ම මොහොතක නැවත යුද්ධය පැමිණිය හැකි බවයි. මේ පිළිබඳව අවබෝධයක් තිබෙනවා යැයි අපි හිතන දේශපාලනඥයින් දෙදෙනෙක් අපිට ලැබී ඇත. මේ දක්වා ඔවුන් ඒ පිළිබඳ දක්වන ප්‍රතිචාරය සාධණිය වේ. අද උතුරේ අත්පත් කරගෙන තිබෙන දෙමළ මිනිසුන්ගේ ඉඩම් විශාල ප්‍රමාණයක් ආපසු ඔවුන්ට ලබා දී ඇත. අධිආරක්ෂක කලාප කියන ඒවා විශාල ප්‍රමාණයක් දැන් අඩුකර තිබේ. හමුදාව පෙනෙන්නට තිබෙන තත්ත්වය ටිකෙන් ටික අඩුකර තිබේ. හැබැයි මේ සියලුම දේවල් භෞතික දේවල් ය. මේ භෞතික පිළිසකර කිරීම්වලින් පමණක් බෑ මේ තුවාලය සුව කරන්නට. ඒ සඳහා ජාතියක් ලෙසට ඒ දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් දීම අවශ්‍ය කෙරේ.
ඒ විසඳුම සපයන්නට අළුත් ආණ්ඩුව ප්‍රතිඥාවක් දී තිබේ. ජනාධිපතිතුමාත්,
අගමැතිතුමාත් මේ ගැන යම් ප්‍රකාශයක් පත්කර තිබේ. ඒ සන්දර්භය තුළ අළුත් ආණ්ඩු ක්‍රමයක් සකස්කර ගැනිමේ සූදානමක් ද ඇත. මේ අළුත් ආණ්ඩු ක්‍රමය තුළ බලය බෙදා හැරීම කියන සංකල්පය අනිවාර්යයෙන්ම අඩංගු වියයුතුයි කියන ජනතා මතයක් තිබේ. මේකට තමයි අර ෆෙඩරල් කියන වචනය පෙරට දමමින් යකෙක් මවා එය ඊළාම් රාජ්‍යයක් හැදීමට දරන උත්සාහයක් ලෙස සමහරු පෙන්වන්නට මහන්සි ගන්නේ. මේවා ගැන අපි දැනුවත්ව සිටිය යුතු ය. අඩු වශයෙන් තව වසර 50ක් වත් යුද්ධයක් නැතිව මේ රටේ සාමකාමිව ජීවත් වෙන්නට පුළුවන් වාතාවරණයක් අපි සකස් කරගත යුතු ය. ඒ සඳහා දේශපාලනික තීරණයක් ගැණිමේ මොහොතකට ජාතියක් ලෙස අපි පැමිණ ඇත. මේ මොහොත කිසි ආකාරයකින්වත් අපි අතපසු කළයුතු නැත. තමිලීනි වැනි අයගේ මේ ජීවන අත්දැකීම් තුලින් අපි ඉගෙන ගන්නට තිබෙන පාඩම එයයි. ඊ ළග පරම්පරාවලට බියෙන් හා සැකයෙන් තොරව එක්සත් රටක් තුළ ජීවත් වෙන්නට පුළුවන් කියන එක සහතික කරන්නට පුළුවන් වෙන්නේ අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් බව පමණක් අපේ හිසේ දරාගත යුතු ය. දැන් පරිසරය වෙනස් වි ඇත. පෙර පැවති පරිසරය තුළ මෙවැනි දෙයක් කථා කරන එකත් අවදානම් විය. නමුත් අද අපිට ඒ ගැන කථා කරන්නට පුළුවන. මහජන මතය ප්‍රකාශයට පත්කරන්නට පුළුවන්කම අද තිබේ. මේක නිස්කාරණයේ නාස්ති නොකළ යුතු ය. විසදුමක් නැති ව වැඩි කාලයක් යන්නට නොහැක. මේ කාලය තුළ මේ ප්‍රශ්නයට අපි විසඳුමක් සොයාගත යුතු ය. ඒ නිසා අර පෙර කියු ආකාරයේ අන්තරාවලෝකනයක් කරන්නට මේක අවස්ථාවක් කරගනිමු යන යෝජනාව අවසාන වශයෙන් කරන්නට කැමැත්තෙමි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *