තරුණයින් අතුරුදන් කිරීමේ නඩුවෙන් කරන්නාගොඩ බේරන්න යොදාගත් “රහස්‍ය වාර්තාව” අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නිදහස් කිරීමට හේතු වූ බව කියන නීතිපති දෙපාර්ත මෙන්තුවේ රහස්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ නියෝග කළේ ය.

අදාළ නඩුවේ වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා ඉවත්කර ගන්න ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයකු ඉදිරිපත් කළ රහස්‍ය වාර්තාවක් බව නීතිපති දෙපාර්ත මේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් පසු මෙම නියෝගය කරනු ලැබී ය.

තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධිචෝදනා ඉවත් කරගැනීමට නීතිපතිගේ තීරණය බල රහිත කරන ලෙස අතුරුදහන් කළවුන්ගේ ඥාතින් ගොනු කළ පෙත්සමක් ඊයේ නොවැම්බර් පළමු වැනිදා අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අවස්තාවේ දී මෙම නියෝගය කරනු ලැබී ය.

”හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  හමුවේ  ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණයට හේතු වූයේ චුදිත කරනාගොඩ සම්බන්ධයෙන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකු ඉදිරිපත් කර තිබූ `රහස්‍ය වාර්තාවක්` බව,”යි නීතිපති වෙනුවෙන් පෙනී සිටී අතිරේක සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ කියා සිටිම මෙම නියෝගය නිකුත් කිරීමට හේතු වී ය.

හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත්  තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිඥ අචලා සෙනෙවිරත්න මගින් සරෝජා ගෝවින්ද සාමි නාගනාදන් හෙවත් එම්.සරෝජනී  පෙරේරා, ජමාල්ඩීන් ජෙනී ෆස්ලීන් ජෙනිෆර් වීරසිංහ, දොන් මර්වින් ප්‍රේමලාල්  වීරසිංහ, අමීන්තුල් ජිෆ්රියා සාබ්දීන් යන අතුරුදන් කළවුන්ගේ  ඥාතීන් සිව් දෙනෙකු ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපති සංජය රාජරත්නම් සහ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යි.

නීතිපතිවරයා වගඋත්තරකාර නාවික හමුදාපතිවරයාගේ අධි චෝදනා ඉවත් කර ගැනීමට ගත් තීරණය  ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙස ද විත්තිකාර හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ට එරෙහිව ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන ලෙස  නීතිපතිවරයා ට බල කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *