“එක රැයකින් කාබනික කිරීමේ අදහස ජනාධිපතිතුමාට කවුරු දුන්නත් ඒක දිරච්ච ලණුවක්” – මහාචාර්ය බුද්ධි මාරඹේ ග්ලාස්ගෝ පරිසර සමුළුවේ සිට කියයි

 

එක දිනකින් රට කාබනික කෘෂිකර්මයට හැරවීමේ අදහස කවුරුන් විසින් ජනාධිපතිතුමාට ලබා දුන්නත් තමන්ට කියන්නට තිබෙන්නේ එය දිරච්ච ලණුවක් බව යැයි මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ස්කොට්ලන්තයේ ගලාස්ගෝ නුවර එජා කාලගුණ විපර්යාස සමුළුවට සහභාගී වී සිටින අතරතුර මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ ය.

හරිත කෘෂිකර්මය උසස් සංකල්පයක් බවත්, තමා එයට විරුද්ධ නැති බවත්, එසේ වුවත් එකවර රට කාබනික කෘෂිකර්මයට හැරවීමේ උත්සාහයෙන් සිදුවන්නේ මහා විනාශයක් බවත්, ඒ මහතා පැවසුවේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා  අන්තර් ජාලයේ මෙහෙයවන Truth With Chamuditha වැඩ සටහනට සහභාගී වෙමිනි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ තනතුරුවලින් ඉවත්කිරීම ගැන ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කීවේ තමා පේරාදෙණි සරසවියේ පුර්ණ කාලීනව සේවය කරන බව සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ කිසිදු තනතුරක් නොදැරූ බවයි. එමෙන් ම කිසිදු තනතුරකින් ඉවත් කළ බවක් තමන්ට දන්වා නැති බව ද ඒ මහතා කී ය.

චීනයෙන් ගෙන්වා ඇති ප්‍රශ්නගත පොහොර නැව ගැන ප්‍රශ්න කිරීමට පිළිතුරු දුන්  ඒ මහතා කීවේ එය භාරගැනීම කිසිසේත් නොකළ යුතු බව සහ භාර ගත හොත් රටට ඇතිවන විනාශය ආපසු හැරවිය නොහැකි බවයි. එයට ගෙවීම් නොකළ යුතු බවත්, එසේ කළ නොහැකි නම් ගෙවීම් කර හෝ එම පොහොර ආපසු යැවිය යුතු බවත්, මහාචාර්ය මාරඹේ මහතා වැඩි දුරටත් පැවසීය.

මහාචාර්ය මාරඹේ මහතා මෙම සම්මුඛ සාකච්ඡාව ලබා දී ඇත්තේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පාරිසරික විපර්යාස පිලිබඳ සමුළුවේ රාමුගත සම්මුතියේ 26 වැනි සමුළුවට ( COP 26 ) ශ්‍රී ලංකා රජයේ නියෝජිතයකු ලෙස සහභාගී වී සිටිය දී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *