ඥානසාර හිමි පත් කළේ ජනාධිපතිතුමාගේ බලතල අනුව යි ; ප්‍රශ්න කරන්න බැහැ – ඇමති බැසිල් රාජපක්ෂ

එක රටක් ,එක නීතියක් සඳහා නීති සම්පාදනය කරන කමිටුවේ සභාපති තනතුරට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කළේ ජනාධිපතිතුමාගේ බලතල අනුව සහ එතුමාගේ කැමැත්ත අනුව බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. 69 ලක්ෂයක ජනවරම හිමි වුයේ ජනාධිපතිතුමාට බවත්, එම ජනවරම යටතේ එතුමා ගන්නා තීරණවලට විරුද්ධ නොවිය යුතු බවත් ඇමතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේ දී ඥානසාර හිමිගේ පත්වීමට පක්ෂ නායකයින් විරෝධය ප්‍රකාශ කිරීමට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ.

විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පක්ෂ නායකයින් මෙම පත් කිරීමට එරෙහිව කරුණු දක්වා ඇතැයි වාර්තා වෙයි.

එහි දී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට ඇත්තේ 69 ලක්ෂයේ ජනවරම නියෝජනය කරන්නේ ඥානසාර හිමි නම් එය තමන්ට පිළිගත නොහැකි බව යි.

ඥානසාර හිමියන් පත් කිරීමට මෙරට සුළුතර ජනයා පමණක් නොව සිංහල බෞද්ධ බහුතර ජනයා ද විරුද්ධ බව ඒ මහතා ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *