ජනවාරි 08 කළේ, අර්බුදය වසා තිබූ ජනප්‍රිය සිංහළ බෞද්ධ ජාතිවාදි සළුව ඉරා දැමීමයි- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි (2වෙනි කොටස)

ජනවාරි 08 රාජපක්ෂගේ ආණ්ඩුව පරාජය වූවත්, නැතත් ඒ වනවිට සමාජය ශක්තිමත් වෙමින් තිබුණි. ආණ්ඩුව පෙරලුණු නිසා සිදුවූයේ සමාජය ශක්තිමත් වෙන්නට එයිට වඩා හොඳ අවකාශයක් නිර්මාණය වීම ය. මක් නිසා ද යත්, බලයට පත් වූ මෛත්‍රි-රනිල් ආණ්ඩුව රාපක්ෂගේ ආණ්ඩුව වගේ හෙජමනික් ආණ්ඩුවක් නොවේ. සාමාන්‍යයෙන් ලංකාවේ ඡන්දදායක කොට්ටාශවල සිංහළ ජනයාගේ අධිපති දෘෂ්ඨිවාදය මතයි ආණ්ඩු පවතින්නේ. මේ ආණ්ඩුවට එහෙම හෙජමනියක් නැත. මේ ආණ්ඩුව ඒ ආකාරයට ගත්තාම ඉතාමත් ම දුර්වල ආණ්ඩුවකි. මේ දේශපාලන මොහොත තුළ ඒ දුර්වලතාවය ඉතාම වැදගත් ය. ඊ ළඟ එක තමයි රාජපක්ෂගේ ආණ්ඩුව පෙරළා දමා දැන් කුමක් ද කරන්නේ යන්න. අඩු තරමින් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, 17වෙනි සංශෝධනය හා කොමිසන් සභා පිහිටුවීම වැනි යම් යම් ආයතන පිහිටුවිම වැනි දේ මගින් ආණ්ඩුව පෙරලා දැමීමෙන් එහා ගිය ජයග්‍රහණයක් අත්කරගෙන ඇත. සමාජය ශක්තිමත්වීම, රාජපක්ෂ පාලනය පෙරලා දැමීම හා ඔය ප්‍රතිසංස්කරණ ටික ඇතිකරනවා දකින්නටයි මට අවශ්‍ය වුයේ.
මහින්ද ගේ ආණ්ඩුව පෙරලුනේ නැතත්, ඒ මතුවූ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යාපාරය ඉතාම වැදගත් ය. රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්නට හැකි වීම ඊටත් වඩා වැදගත් විය. පත්වෙන ආණ්ඩුවෙන් යම් යම් ප්‍රතිසංස්කරණ වෙනවා නම් ඒක එයිටත් වඩා වැදගත් මිසක් එය කොන්දේසියක් කරගත යුතු නැත. කොන්දේසියක් හෝ යම් සාධනිය දෙයක් බලාපොරෝතුවෙන් ම නොවේ ඒ ජනතා ව්‍යාපාරයට ඒ මොහොතේ මා මැදිහත් වූයේ. අපි යමක් කරන්නේ, වෙන දේ කුමක් ද යන්න හරියට ම දැනගෙන නොවේ. මේ ක්‍රියාවලියට සම්බන්ධ වූ හැමෝම කිවූ දෙයක් තිබුණි. මේ අය බලයට ඇවිත් අපි කියන දේවල් කරන බවට ඒ කිසිවෙක් බලාපොරොත්තු ඇතිකර ගත්තේ නැත. පළවෙනි එක තමයි මේ ක්‍රමය වෙනස් කළයුතු බවට තිබූ ඉල්ලීම. විප්ලවීය වෙනස්කම් වල දී සිදුවන්නේ ඒ දේ ය. විප්ලවයෙන් වෙන්නේ මිනිස්සු කරන්නේ, තිබෙන එක වෙනස්කර දැමීම ය. ප්‍රංශ විප්ලවයේ දී සිදු වූයේ ද රුසියානු විප්ලවයේ දී සිදුවූයේ ද ඒ දේම ය. මෙතනත් වූයේ තිබෙන දේ පෙරළා දැමීම ය.
පැවති ආණ්ඩුව පෙරලා දැමු පසු බලයට පත්වෙන අය කරන දේවල් වලට අලුතින් පත් වූ අය වගකිව යුතු වේ. එසේ නැතිව අපි වැනි අය ඒ කරන දේවලට වගකිවයුතු නැත. මම මේ ආණ්ඩුව ගැන විධිමත් ආකාරයට ගතහොත් වගකියන්නේ නැත. අපි වැඩකළේ ඒ කාලයේ තිබුණු කොන්දේසිවලට අනුවය. ජනතාවට දුන් පොරොන්දු මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නෙක් නැති නම් ඒක ඒ ආණ්ඩුවේ ප්‍රශ්නයකි. පත් වූ ආණ්ඩුවේ පැත්ත අපි ගතහොත් ඒ වගකීම අපි භාරගත්තා වේ. මගේ වගකීම ඉෂ්ට කිරීම යන්නෙහි තේරුම වන්නේ ජනවාරි 8 වෙනිදා පෙනී සිටි අදහස් වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීම ය. මීට පෙර සාකච්ඡාවේ දී මා කියු දෙවැනි කණඩායම, එනම් හොඳ කට්ටියක් ගෙනත් රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමිය යුතුව තිබු බව කියන පෙරටුගාමි පක්ෂයේ අය වැනි පිරිස් දැන් හරි ලස්සන කථාවක් කියති.
රාජපක්ෂ පරදින බව ඒ අය දැනගෙන සිටි බවයි දැන් ඔවුන් පවසන්නේ. ඔවුන්ට අවශ්‍ය වූයේ ඒක පස්සේ යන එක නොව නිවැරදි වාමාංශික ස්ථාවරය සටහන් කර තැබීමට බව දැන් ඔවු හු කියති. අපි හිටියත් නැතත් රාජපක්ෂ පරදින බවයි ඔවුන් මේ කියන්නේ. දේශපාලන වශයෙන් ඒක ඉතා වංචනික ප්‍රකාශයකි. මහින්දගේ ආණ්ඩුව නිකම්ම පරදින්නේ නැත. ඒක පරදින්නේ ඒක පරාජය කරන්නට කවුරු හෝ වැඩකළ නිසාවෙනි. ඒ වැඩකළ අය සියල්ලම ආණ්ඩුව පෙරලෙන බව දන්න නිසා නිකම් ම හිටියා නම් වෙන්නේ කුමක් ද? එවිට මහින්දගේ ආණ්ඩුව පරදින්නේ නැත. මහින්ද පරදින බව දැන සිටි පිරිස්වලට සිතුනා නම් මහින්දගේ ආණ්ඩුව පරදින්නේ නැති බව, එවිට ඔවුන් කරන්නේ කුමක් ද? මම මෙයින් පෙන්නන්නට උත්සාහ දන්නේ ඒ ප්‍රකාශයේ විහිළු සහගත බව හා වංචනික බව පැහැදිළි කිරීමට ය. ඒ මොහොතේ අවශ්‍යතාවය වන්නේ ආණ්ඩුව පරාජය කිරීම නම්, අපි සිටගත යුත්තේ එතන මිස පරාජය නොවෙන තැන නොවේ. උදාහරණයක් ලෙස අපේ ගේ ලඟ කුණු ගොඩක් ඇති නම්, මගේ අතේ කුණු ගැවෙන හෙයින් දුප්පත් මිනිසෙක් ඒක ඉවත් කරනතුරු මා බලා සිටිම වැනි වැඩකි ඒ. කවුරු හරි මගෙන් ඇසුවොත් ඒකට සම්බන්ධ නොවුනේ ඇයි ද යන්න, කවුරු හරි ඒ කුණුගොඩ ගෙනියන බව දන්න නිසා මා ඒකට සම්බන්ධ වූයේ නැත වැනි උත්තරයක් තමයි ඒකට දෙන්නට තිබෙන්නේ. ඒ නිසා මා කුමටද මගේ අතේ කුණු ගාගන්නේ වැනි කථාවක් ද එතන තිබේ.
දේශපාලනය යනු ආචාරධාර්මික දෙයකි. ඒ මොහොතේ අවශ්‍යතාවය තිබුණේ රාජපක්ෂ ව පරාජය කිරීම නම්, ඒක අපි කළයුතු ය. වෙනත් විදියකින් කියනවා නම් කුණුගොඩ අපි අයින්කළ යුතු වේ. අනික් මිනිසුන් ඒක කරන්නට ලැස්තිනම් අපිත් එයට සම්බන්ධ වියයුතුව තිබේ. එසේ නොකර අපේ අතේ කණු නෑ කියන කථාව දේශපාලන වශයෙන් අශිෂ්ට කථාවකි. එවැනි වාමාංශික මත අශිෂ්ට මත ලෙස හැඳින්විය හැක. අපි වගේ අයව විවේචනය කරන කණ්ඩායම් දෙකකි සිටිති. එක කණ්ඩායමක් තමයි මහින්දගේ ආණ්ඩුව පෙරළා නොදැමිය යුතුය කියන කණ්ඩායම. ඒක ප්‍රශ්නයක් නැත. බලයට එන පාලකයන් නැවත කුණු ඔතැනට දාන බව ඇයි අපි කිව්වේ නැති ද? කියන එකයි අනික් මතය. මේ විවේචනය දෙවිධියකට සළකා බැලිය හැක. මහින්දවාදින් ගේ විවේචනයේ දී කියන්නේ ඒ කාලයේ සිදු වූ දේවල් ම දැණුත් සිදුවන බව ය. මේකට මහින්ද අමරවීර හොඳ කථාවක් කීවේ ය. දැන් අපි කොහොමත් හොඳට කාලා ඉන්නේ, අළුත් කට්ටියක් ආවොත් අළුතෙන් කන්නට පටන් ගන්නවා. පරන කට්ටිය කන ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඒ අයම පත් කිරීම යහපත් බවයි ඔහුගේ අදහස වූයේ.
ආර්ථිකය සම්බන්ධයෙන් නම් කිසියම් වලංගුතාවයක් ඒ කථාවේ ඇත. මතු පිටින් බැළු කළ ආර්ථිකයේ වර්ධනයක් මහින්දගේ පාලන කාලයේ තිබුණි. මේ ආණ්ඩුව යටතේ ඒක නැති වී ගියා කියන කථාවේ යම් වලංගුතාවයක් ඇත. ආර්ථික අර්බුදය ගැන බැරැරුම් ව බාලුවොත් ඒ ආණ්ඩුව ආර්ථික අර්බුදය වෙනත් ආකාරයකට වසාගෙන සිටියේ ය. රාජපක්ෂගේ කාලයේ ලංකාවේ ආර්ථිකයේ ඇත්ත වර්ධනයක් සිදුවූයේ නැත. සංඛ්‍යා ලේඛන විජ්ජාවක් තිබුණා පමණක් නොව විශාල වශයෙන් ණය ලබාගෙන එය වසාගෙන සිටියේ ය. පලදායි නොවන ආර්ථික කටයුතුවල කර තිබු යෙදවීම් නිසා ආර්ථිකයේ ව්‍යාජ වර්ධනයක් පෙන්නුම් කළේ ය. මේ ආණ්ඩුව ඒක නවත්වා ඇති නමුත් කරන්නේ කුමක් ද යන්න දන්නේ නැත. ඒ නිසා එතන කරන විවේචනයේ යම් දෙයක් තිබේ. මහින්ද රාජපක්ෂගේ ආර්ථික වැඩපිළිවෙල ඒකට විසඳුම යන්න ඒකෙන් අදහස් වන්නේ නැත. මේ ආණ්ඩුවට ආර්ථික වැඩපිළිවෙලක් නැති නිසා අපිට තෝරාගන්නට තිබෙන ක්‍රමය මහින්දගේ ක්‍රමය නොවේ. අපි කළයුත්තේ මෙතනින් ඉදිරියට යෑම ය.
අර වාමාංශිකයෝ කියන තර්කයේ කොහොමත් වලංගතාවයක් නැත. ඒ අයගේ තර්කය ජනවාරි 08ට නැවත ගෙන ගියහොත් ඒකෙන් කියන්නට වෙන්නේ මා 2009 සරත් ෆොන්සේකා ඉල්ලන විට පැවසු දේ පමණි. එනම් රාජපක්ෂ පාලනය පෙරලා නොදැමිය යුතු බවයි එයින් කියන්නේ. ඒක එසේ නම් ඒ අය ඒක දැන් කෙලින්ම කිය යුතු ය. ඒ අනුව අද වෙන දේවල් ගැන අපිට ඇගිල්ල දිගුකර වැඩක් නැත. මා දන්න ආකාරයට අපි කවුරුත් මේ ආණ්ඩුව පැමිණි පසු මේ මේ දේවල් කරන බව කිව්වේ නැත. අපි පැහැදිළිවම කිව්වේ රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්නට මේ ක්‍රියාමාර්ගය ගන්න බවය. අපොහකය කියන්නේ ඒකට ය. ඒ පෙරළා දැමීමෙන් පසුව ඇතිවන වෙනස්කම් පමණක් නොව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මෛත්‍රිපාල භාර ගන්න විටම අපි එය විවේචනය කළේ ය. එතකොටම මේ ජයග්‍රහණය වෙන පැත්තකට යන බව දන්නා නිසයි අපි එහෙම කළේ. අර්ජුන මහේන්ද්‍ර වගේ අය පත්කිරිම, රවි කරුණානායක මුදල් ඇමති හැටියට පත්කිරීම වැනි දේ අප අනුමත කළේ නැත. ඒක පුදුම වෙන්නට තරම් දෙයක් නොවේ. ජනවාරි 8න් පසු මේ පෙනෙන්නට ඇති අර්බුදය අද ඊයේ ඇති වූ එකක් නොවනවා මෙන්ම ඒක ලෙහෙසියෙන් විසඳිය හැකි අර්බුදයක් ද නොවේ. ජනවාරි 8 කළේ අර රාජපක්ෂලා ඒ අයට තිබු සිංහළ බොද්ධ ජාතිවාදය සමග හදපු ජනප්‍රියත්වය නිසා එයින් වසාගෙන සිටි අර්බුදය නිරුවත්වීම ය.
දේශපාලනය දැන් විවෘත ය. ඒක නිසා තමයි ජනවාරි 08 අඩු තීව්‍රතාවයකින් යුත් විප්ලවයක් ලෙස මා හැඳින්වූයේ. ඒකට ද නොයෙක් විවේචනය පැමිණියේ ය. අඩු තීව්‍රතාවයක් සහිත විප්ලවයක් කිව්වේ ඒකට සහභාගි වූ ජනයා පවතින ක්‍රමය සමග ගැටුණු ස්වභාවයට අනුව ය. එහි ප්‍රතිරොධයතාවය, අර ප්‍රංශ හා රුසියානු විප්ලව වලට වඩා ඉතා අඩු තීව්‍රතාවයක් තිබූ නිසා ය ඒක එහෙම නාමකරණය කළේ. තවම ඒ විප්ලවය අවසන් වි නැත. අද ලංකාවේ දේශපාලනයේ මූලික අර්බුදයක් ඇති වෙමින් පවති. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දෙකඩවීමේ අනිවාර්ය තත්ත්වයක් පැමිණේ. එවිට රට පාලනය කරගත නොහැකි තත්තවයක් ඇතිවීමට පුළුවන. ඒක නරක නැත. අලුක් විකල්පයන් පිලිබඳා අදහස් මතුවන්නේ එවැනි අවස්ථාවන් තුළින් ය. මේ අර්බුදකාරි තත්ත්වය නිසා අපි හරියට ප්‍රඥාවන්ත වුවහොත් අපේ සමාජයට ඉදිරියට යන්නට තිබෙන මාවත් පාදාගැනීමට හැකිවනු ඇත. එහෙම නැතිව විශ්වවිද්‍යාලයක සම්මන්ත්‍රණයක් තියලා හරි, පක්ෂ සම්මේලනයක් තියලා හරි සමාජයට තියෙන මාවත් මොනවාද කියලා තීරණය කළ නොහැක. ඒවා එන්නේ මේ වගේ දේශපාලන අර්බුද කාලවල කෙරෙන මහජන සාකච්ඡාවක් තුලිනි. අද එවැනි මහජන සාකච්ඡාවකට ඉඩකඩ පෑදි ඇත. ඉඩකඩක් යනු ප්‍රජාතන්ත්‍රවාදි ඉඩකඩ ම නොව ඒ විෂය බද්ධ අවශ්‍යතාවය අද මතු වි තිබේ. ඒක හැම මොහොතේම මතුවන්නේ නැත. මේ සඳහා අපේ මනෝමූල පැත්ත තවමත් ශක්තිමත් නැත. ඒවාට තවම සංවිධාන ගොඩනැගී නැත. දියුණු අදහස් පැහැදිළි ව මතු වී නැත. නමුත් ඒක අපිට දැන් මග හැරිය නොහැක. ඒක දැන් සමාජය ඉදිරියේ අභියෝගයක් ලෙස තිබේ. මේ ඇතිවි තිබෙන තත්ත්වය මා දකින්නේ ඒ ආකාරයට ය.
මේ ආණ්ඩුව ගැන කරන්නට ඕනෑ නම්, විවේචන ටොන් ගණනක් මට ද තිබේ. මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන, දේශපාලන වශයෙන් හැසිරෙන ආකාරය, මාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය හා අල්ලෂ් දූෂණ ගැන ද ඕනෑ තරම් මට විවේචන තිබේ. ඒක පුදුම වියයුතු දෙයක් නොවේ. දේශපාලනය තුළ අඛණ්ඩත්වයේ බලවේගයන් හා වෙනසේ බලවේගයන් යනුවෙන් සමාජයක බලවේගයන් දෙකක් ඇත. මෙයින් කියන්නේ වෙනස නියේජනය කරන බලවේගයන් මෙන්ම අඛණ්ඩත්වය නියෝජනය කරන බලවේග ද තිබෙන බව ය. විප්ලවයක දි වෙන්නේ වෙනස වෙනුවෙන් පෙනී සිටින බලවේග ශක්තිමත්වීම ය. නමුත් ඒ බල හුවමාරුව වූවාට පසුව අර අඛණ්ඩත්වය වෙනුවෙන් පෙනී සිටින බලවේග විවිධ වේශ වලින් විප්ලවීය පිළිවෙල තම ආධිපත්‍යට නතුකර ගනි. ඒක ගැන දැනගන්නට අවශ්‍ය නම් මාක්ස් ලියූ, ලුවී බොනපාට්ගේ බෛ්‍රෑමර් 18වෙනි දා පොත කියැවීමෙන් තේරුම්ගත හැක.
ඒක සාමාන්‍යයන් සිදුවෙන දෙයකි. මෙතන දී ද සිදුවූයේ පුද්ගලයින් ලෙස කලින් සිටි අය මේ පාලනය තුළ ද සිටිති. පාලන මානසිකත්වයේ ද වෙනසක් නැත. අනික් එක පාලන සංස්කෘතිය ද එසේ ම ය. අපගේ පුරුදු යනාදිය මෙන් ම ඡන්දදායක හැසිරීම ද එසේම ය. ඒ අයගෙන් සමහරක් ජනවාරි 08 ජනතා නැගිටීමේ දී විශාල අදහස් වෙනුවෙන් පෙණී සිටියේ ය. නමුත් විප්ලවය සිදුවූවායින් පසුව ඒ අය බලන්නේ මොකක් හරි රක්ෂාක් හදාගන්නට නැති නම් වෙන යමක් කරගැනීමට ය. සාමාන්‍යයෙන් විප්ලවයකින් පසුව වෙන්නේ විප්ලවයේ බලවේග දුර්වල විම ය. ඒ වෙනුවට අඛණ්ඩත්වයේ බලවේග ශක්තිමත් වීම ය. දැන් අප රටේ මේ අඛණ්ඩත්වයේ බලවේග ශක්තිමත් වි ඇත. විප්ලවයේ බලවේග දුර්වල ය. නමුත් මේක වැඩිකල් පවතින්නේ නැත. මේක ප්‍රතිගාමි ආකාරයට සමනය වෙන්නට නම්, තිබෙන්නේ නැවත රාජපක්ෂලා බලයට පැමිණිම ය. විප්ලවයක් සමනය වෙන්නට ක්‍රම කිහිපයක් තිබේ. කලින් සිටිය අය නැවත පැමිණිම ප්‍රතිගාමි ආකාරයට එය සමනයවීමක් වේ. එහෙම නැතනම් අර පැමිණි අයම පොඩි වෙනස්කම් සහිතව පැරණි ආකාරයටම මෙය ඉදිරයට ගෙන යා හැක. සෝවියට් දේශයේ සිදුවූයේ එයයි. ස්ටැලින්වාදය කියන්නේ එවැනි එකකට ය.
එහෙම නැතනම් ඒ වෙනස දීර්ග කාලින එකක් බවට පත් වේ. දැන් ප්‍රංශයේ දි සිදුවූයේ එවැනි වෙනසකි. ප්‍රංශය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු තමයි ප්‍රංශ විප්ලවයේ ප්‍රථිඵල දකින්නට ලැබෙන්නේ. මේ වගේ අද බැලුවොත් රාජපක්ෂලාට නැවත බලයට එන්නට තිබෙන අවස්ථා අඩු ය. මක්නිසා ද යත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වෙන්නට ඇති ඉඩකඩ වැඩි ය. දැන් මෛත්‍රිපාල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සෑහෙන ප්‍රමාණයකට බලය තහවුරු කරගෙන ඇත. එතකොට සිංහළ බෞද්ධ සමාජයේ ඡන්දදායකයින් ගෙන් කොටසක් තමයි රාජපක්ෂට අද ඉන්නේ. ඒක 50%ක් ගත්තත් ජයග්‍රහණයකට ප්‍රමාණවත් නැත. 70%ක් පමණ ගතහොත් තමයි රටේ බලය ගන්නට හැකි වන්නේ. සිංහළ බෞද්ධ නොවන අය අතරේ රාජපක්ෂට කොහොත්ම ඉඩකඩක් නැත. ඒ නිසා ඒ බලය එන්න එන්න අඩුවෙන එක පැහැදිලි ය.
ඒ අනුව රාජපක්ෂලාට කෙටි කාලීනව බලයට එන්නට තිබෙන ඉඩකඩ අඩු ය. ඒ වගේම ශ්‍රි ලංකා-එජාප සන්ධානය ද වැඩිකල් පවතින්නේ නැත. ඒ සන්ධානය බිඳෙනවා කියන්නේ එයින් එජාපයට ශක්තිමත් වෙන්නටත් හැකියාවක් නැත. මක්නිසා ද යත්. ඒ අය ගමන්කරන ආකාරය බැලූ විට ජනප්‍රිය බව අඩුවෙන්නට නියමිත ය. ඒ නිසා මේක කඳවුරු 3කට බෙදෙන්නට පුළුවන. එවිට නැවතත් අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වෙන්නට ඇති ඉඩකඩ බොහෝ ය. ඒ අර්බුදකාරි තත්ත්වය තුළ මා හිතන්නේ අලුත් දේශපාලන සමතුළනයක් සඳහා සාකච්ඡාව පවත්වාගෙන යන්නට පුළුවන. මේක තමයි දැන් තිබෙන දේශපාලන තත්ත්වය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *