කාර්ය සාධක බළකායත් ” හොඳටම කළා ” – අනුර සූරියබණ්ඩාර 

 

එක රටක් එක නීතියක් සංකල්පය  ක්‍රියාත්මක කරවීම සඳහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් 13 දෙ⁣නකුගෙන් සමන්විත කාර්ය සාධක බළකායක් පත්කොට තිබේ. එහි සභාපතිවරයා ලෙස පත්කරනු ලැබ ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ය.

නීතිය පසිඳ ලීම සහ ක්‍රියාත්මක කිරීම , නීතියේ රැකවරණය , සර්ව සාධාරණ විය යුතු බව අවධාරණය කර ; ජාතිය , ආගම , කුලය හෝ වෙනත් සාධකයක් මත කිසිදු පුරවැසියෙක් නීතියේ වෙනස්කමකට හෝ විශේෂත්වයකට භාජනය නොවිය යුතු බව  දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරුණකි. එසේ නම් ඒ සඳහා තවත් කාර්ය සාධක බළකායක් කුමටද යන්න පැහැදිලි නැත.

ගැසට්ටුවේ සඳහන් ආකාරය අනුව  බළකාය පිහිටුවනු ලබන්නේ , ශ්‍රී ලංකාව තුළ එක රටක් , එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම , ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානුෂීය සාරධර්ම සාක්ෂාත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස පිළිබිඹු වන හෙයින් සියලුම පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන ලෙස සළකන බව තවදුරටත් තහවුරු කළ යුතු හෙයිනි.

ඒ සඳහා කාර්ය සාධක බළකාය වෙත කාර්යයන් දෙකක් පැවරී ඇත. එනම් ,

1 ) රට තුළ එක රටක් , එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම.

2 ) අධිකරණ අමාත්‍යංශය විසින් මේ වන විට මෙයට අදාළව සකස්කර ඇති නීති කෙටුම්පත් හා සංශෝධන අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන වේ නම් , ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝජනා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම වේ.

බළකාය නම් කර ඇති ආකාරය සහ බළකායට පැවරෙන කාර්යයන් දෙක ගත් කල එය නීතිමය කටයුත්තක් බව පැහැදිලිවේ. මෙයට පෙර ශ්‍රී ලංකාවේ මෙවැනි නීති සම්පාදන කටයුතු පවරනු ලැබුණේ , කොල්වින් ආර් ද සිල්වා, ජී එල් පීරිස් ,ජයම්පති වික්‍රමරත්න වැනි නීති විශාරදයන්ට වුව මෙවර තෝරාගෙන ඇත්තේ ගලගොඩඅත්තේ වීම ද කැපීපෙනේ. කෙසේ වුව , බළකාය සඳහා සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපතිවරයා ඔවුන්ගේ ” විචක්ෂණභාවය , සාමාර්ථය සහ විශ්වාසවන්තභාවය කෙරෙහි මහත් වූ භක්තිය සහ විශ්වාසය තැබූ බව ද සඳහන්වේ.

කාර්ය සාධක බළකායේ සාමාජිකයන්ගේ නාම ලේඛනය අනුව සාමාජික පිරිස අතරින් නම දෙනකු සිංහලයන් වන අතර මුස්ලිම් ජාතිකයන් සිවු දෙනෙකි. දෙමළ ජාතිකයකු බළකායට ඇතුළත් නොවනවා සේම , කාන්තා නියෝජනයක් ද බළකායට නැත. ඒ ජනාධිපතිවරයා බලාපොරොත්තු වන ආකාරයේ විචක්ෂණභාවයක් , සාමාර්ථයක් සහ විශ්වාසවන්තභාවයක් සහිත දෙමළ ජාතිකයකු සහ කාන්තාවක හමු නොවුණු නිසා වන්නටද පුළුවන.

කාර්ය සාධක බළකායේ සාමාජිකයන්ගේ නාම ලේඛනය අනුව සාමාජික පිරිස අතරින් නම දෙනකු සිංහලයන් වන අතර මුස්ලිම් ජාතිකයන් සිවු දෙනෙකි. දෙමළ ජාතිකයකු බළකායට ඇතුළත් නොවනවා සේම , කාන්තා නියෝජනයක් ද බළකායට නැත. ඒ ජනාධිපතිවරයා බලාපොරොත්තු වන ආකාරයේ විචක්ෂණභාවයක් , සාමාර්ථයක් සහ විශ්වාසවන්තභාවයක් සහිත දෙමළ ජාතිකයකු සහ කාන්තාවක හමු නොවුණු නිසා වන්නටද පුළුවන.

” අපි තමයි හොඳටම කළේ ” යනු ජනාධිපතිවරයාගේ ප්‍රකට කියුමකි. එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකාය සඳහා සභාපතිවරයා පත් කීරීමේදීත් ජනාධිපතිවරයා හොඳටම කර ඇති බව පෙනෙන්නට තිබේ.

ගලගොඩඅත්තේ මෙරට අධිකරණය සහ නීතිය කෙරෙහි දක්වා ඇති හැසිරීම සිහිපත් කර ගැනීම මඟින් එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකායේ සභාපතිධූරයට හෙතෙම කොයි තරම් ගැලපේද යන්න වටහා ගන්නට හැකිය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව 2016 වසරේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ අධිකරණ භූමිය තුළ කළහකාරී ලෙස හැසිරුණේ මෙකී ගලගොඩඅත්තේය.

එකී හැසිරීම හේතුවෙන් චෝදනා හතරක් යටතේ ගොනුකෙරුණු නඩුවෙන් චෝදනා හතරටම වරදකරු කරනු ලැබූ ඔහුට  ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ශිරාන් ගුණරත්නගෙන් සමන්විත අභියාචනාධිකරණය මගින් වසර 19ක සිර දඬුවමක් වසර 06කින් ගෙවිය යුතු බවට තීන්දු ක⁣ළේය.

චෝදනා හතරක් යටතේ ගොනුකෙරුණු නඩුවෙන් චෝදනා හතරටම වරදකරු කරනු ලැබූ ඔහුට  ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ශිරාන් ගුණරත්නගෙන් සමන්විත අභියාචනාධිකරණය මගින් වසර 19ක සිර දඬුවමක් වසර 06කින් ගෙවිය යුතු බවට තීන්දු ක⁣ළේය.

අධිකරණයට අපහාස කිරීමේ නඩුවේදී සාක්ෂි දෙමින් ගලගොඩඅත්තේ කීවේ, රට බේරා ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ගේ ඇප ප්‍රතික්ෂේප වී රිමාන්ඩ් බාරයට පත්වීම නිසා සංවේදී වීම හේතුවෙන් සංවේදී වීම නිසා එම තත්ත්වය උදාවූවා මිස අධිකරණයට අපහාස නොකළ බවයි. එම ප්‍රකාශය මදකට පිළිගත්තා වුවද අධිකරණය ඉදිරියේ විනයානුකූලව හැසිරීමට තරමට ශික්ෂණයක් නොමැති තැනැත්තකු එක රටක් එක නීතියක් වෙනුවෙන් කටයුතු කරන්නට කෙතරම් සුදුසුද යන ගැටලුවට විසඳුම් ලැබෙන්නේ නැත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව⁣ට හිමිවු සිරදඬුවමෙන් උන්වහන්සේ නිදහස ලැබුවේ යහ පාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමාව නිසාය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව⁣ට හිමිවු සිරදඬුවමෙන් උන්වහන්සේ නිදහස ලැබුවේ යහ පාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමාව නිසාය.

එසේ නිදහස ලැබීමෙන් පසුවත් , මුලතිව් නයාරු ගුරුකන්ද  විහාරස්ථානාධිපති හිමිගේ දේහය උසාවි නියෝගය නොතකා විහාර භූමියේදී ආදාහනය කරන්නට කටයුතු කරනු ලැබුවේද ගලගොඩඅත්තේ ඥානසාර විසින්මය. ආදාහනය අවසානයේ උන්නාන්සේ ප්‍රකාශ කළේ , අධිකරණ තීන්දු තීරණ ප්‍රකාර භික්ෂු දේහ ආදාහනය කිරීමට තමන් එකඟ නැත කියාය. ඒ කියමනේ සරල අරුත භික්ෂුවට පොදු ජනයාගෙන් වෙන්වූ වෙනත් නීතියක් පැවතිය යුතු බවය. එසේනම් ගලගොඩඅත්තේ එක රටක් එක නීතියක් සංකල්පයට එකහෙළා විරුද්ධ මතයක් දරන්නෙකි. එවැන්නකු එක රටක් එක නීතියක් කාර්ය සාධක බළකායේ සභාපති වශයෙන් පත් කිරීම යනු ⁣බළකාය නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තත්ත්වයට පත් කිරීමක් බව කියන්නට වෙනත් අටුවා ටීකා අවශ්‍ය නොවනු ඇත.

   අනුර සූරියබණ්ඩාර

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *