ලේ බින්ඳුවක් නොසොල්වා නිදහස ලබා ගත් රට අවුරුදු 30ක්ම ලේ ගලන රටක් බවට පත් වුනේ ඇයි? – රාවය ආරම්භක කර්තෘ – ප‍්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන්

Kusal - Books Front Coverජාතිය ගොඩනැගීම ගැන කතාකරනකොට, මම මූලික වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ජාතිය ගොඩනැගීමට අසමත් වීම, ගැනත්, ඉන්දියාවෙ ජාතිය ගොඩනැගීමට සමත් වීම ගැනයි. නූතන අර්ථයෙන් ජාතිය යනුවෙන් අදහස් කරන්නේ කිසියම් දේශයක ජීවත්වෙන, ඒ දේශය ගැන ඇතිකරගත් පොදු හැ`ගීමකින් හා බැඳීමකින් ක‍්‍රියා කරන, සමාන තත්ත්වයකට පත්කරනු ලැබූ, එම දේශයේ විවිධ වර්ගවලට හා කුලවලට අයත්, විවිධ ආගම් අදහන, විවිධ භාෂා කතාකරන, ඒ රටේ ජනයායි.
නූතන ජාතික රාජ්‍යයන් පහල වීම හා එම රාජ්‍යයන්ගේ යහපැවැත්මට අයත් පරණ වැඩවසම් ක‍්‍රම බිඳ වැටීම්, ධනේශ්වර පරිවර්තනයට සමාන්තරව සිදු වූ ඓතිහාසික ක‍්‍රියාදාමයක් ලෙස සලකන්න පුලූවන්. යුරොපයේත් ධනේශ්වරය පහල වීම, පැවති වැඩවසම් ක‍්‍රමයේ අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා උත්සන්න වීම නිසා ඇති ස්වභාවික පිපිරීමක ප‍්‍රතිඵලයක් ලෙස සලකන්න පුලූවන්.
එහෙත් ලංකාව වැනි යටත්විජිත රටවල ධනේශ්වර ක‍්‍රමය පහළ වුනේ, ධනේශ්වර යටත්විජිත ක‍්‍රමයෙන් එල්ල වූ බලපෑමේ ප‍්‍රතිඵලයක් වශයෙන්. යුරෝපයේ පහල වූ ජාතික රාජ්‍යයන්ට සැලසුම් සහගතව ජාතීන් ගොඩනගා ගැනීමක් කිරීමට අවශ්‍ය වුනේ නැහැ. එම රටවල ජාතික රාජ්‍යයන් පහල වීම සේම, ජාතීන් පහල වීම ද ශත වර්ෂ 3කට ආසන්න දීර්ග කාලයක් තිස්සේ ඇති වන මහා සිදුවීම් සහ ඒ ආශ‍්‍රයෙන් ඇතිවන චූල ජීවනය නිසා සිදුවන දෙයක්.
කතෝලික පල්ලියේ ඇති වූ මහා බෙදීම, දීර්ග කාලයක් දේව ධර්මයට තිබූ අති විශාල ආදිපත්‍ය බිඳ වැටීම, විද්‍යාවේ ඇති වූ මහා වර්ධනය, වැඩවසම් ක‍්‍රමයට එරෙහිව ඇති වූ මහා නැ`ගිටීම, දේශපාලන දර්ශනය හා කලාව යන අංශවල ඇති වූ ප‍්‍රබෝධය, වැඩවසම් රාජආණ්ඩු ක‍්‍රමය බිඳවැටී මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ආණ්ඩු ඇති වීම, කර්මාන්ත විප්ලව වැනි සාධක යුරෝපීය රටවල ජනයා නවීන ලෙස හිතන පතන ජනතාවක් බවට පත් කිරීමට හේතු වුනා. ඒ ඇති වූ විශේෂ වටාපිටාවන් තුළ යුරෝපයේ ඇති වූ ජාතික රාජ්‍යයන් තුළ ඒ රටවල් මුල්කරගත් ප‍්‍රබල හැගීමකින් ඒකා බද්ද වූ ජාතීන් ඇති කිරීමට හේතු වුනා. ඒත් ලංකාව වැනි යටත්විජිත රටවල ධනේශ්වර ක‍්‍රමය ඇතිවීමට සමගාමීව එවැනි මහා සිදුවීම් ඇති වුනේ නැහැ. ලංකාවේ ජනයා වැඩවසම් ක‍්‍රමයට හෝ වැඩවසම් රාජ ආණ්ඩුක‍්‍රමයට හෝ කැරලි ගැසුවෙ නැහැ. අඩුම වශයෙන් ලංකාවෙ ජනයා ඒ කාලෙ එංගලන්ත විප්ලවය හෝ ප‍්‍රංශ විප්ලවය ගැනවත් දැන සිටියෙ නැහැ. ඒ දේවල් ගැන ලංකාවේ ජනයට දැනගන්න ලැබුනෙ, ඒ දේවල් සිදු වී තවත් අවුරුදු සියයකට වැඩි කාලයක් ගත වූ පසුව. බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලන කාලයෙදි වතු වගාව මුල්කරගත් ධනේශ්වර ක‍්‍රමයක් ඇති වී ලංකාවෙ පැවති වැඩවසම් ක‍්‍රමය යටපත් වී, රට ධනේශ්වර රටක් බවට පත්වීමට හේතු වුනා. ඒ සමග මධ්‍යගත පරිපාලන ක‍්‍රමයක් හා මුලූ රටටම බලපාන අධිකරණ ක‍්‍රමයක් ඇති වුනා. දුම්රිය මාර්ග, මහා මාර්ග, විදුලි සංදේශ ජාලයන් මගින් රටේ ප‍්‍රදේශ එකට සම්බන්ධකොට ඒකාබද්ධ කිරීමක් ද සිදු වුනා. එම විශේෂ වටාපිටාව තුළ යුරෝපයේ ඇතිව තිබූ ජාතික රාජ්‍යයන්ට සමාන ජාතික රාජ්‍යයක් ලංකාවෙ ඇති වුනා. එය දියුණු වීමෙන් ලංකාවෙ සම ජාතියක් හෝ නවීන ජාතියක් ඉබේ ඇතිවීමට පුලූවන්කමක් තිබුණෙ නෑ.
කුල ක‍්‍රමය ප‍්‍රධාන අඩිතාලම ලෙස ක‍්‍රියාකොට, රාජකාරි ක‍්‍රමය අහෝසි කිරීම, බුක්තිවිඳි ඉඩමට තිබූ වැඩවසම් ක‍්‍රම ඉවත් කිරීම, නීතිය ඉදිරියේ භේදයකින් තොරව සියලූ මිනිසුන් සමාන ලෙස පිළිගන්නා ක‍්‍රමයක් ඇති කිරීම, පාසල් අධ්‍යාපනයේ ව්‍යාප්තිය වැනි දේවල් තුළින් අවශ්‍ය නම් නවීන ජාතියක් ඇතිකර ගැනීමට අවශ්‍ය වටපිටාවක් ඇතිකර තිබුණා.  එම වටාපිටාව නිසා පමණක්, එම නවීන ජාතියට ඉබේ පහලවීමට පුලූවන්කමක් තිබුණෙ නෑ. එය දැනුවත්ව ගොඩනගා ගත යුතු දෙයක් ලෙසයි පැවතුනේ. එම ඓතිහාසික කාර්යබාරය ඉටු කිරීමේ වගකීම පවැරී තිබුණේ ලංකාවෙ නිදහස් ව්‍යාපාරයට හා එහි නායකයින්ට.
ජාතිය ගොඩනගාගැනීමේ අභියෝගය ලංකාවට පමණක් නොව, යටත්විජිත තත්ත්වයක තිබී නිදහස දිනාගැනීමට ක‍්‍රියාකාරමින් තිබූ හැම රටකටම මුහුණ දෙන්නට සිදුවූ අභියෝගයක් වී තිබුණා. අපේ ළ`ගම අසල්වැසියා ලෙස සැලකිය හැකි ඉන්දියාවටත් මෙම අභියෝගයට මුහුණ දෙන්නට සිදු වුණා. ඉන්දියාව ලංකාවට වඩා හු`ගාක් ලොකු රටක් වුනත්, ඉන්දියාවෙ ධනේශ්වර ක‍්‍රමය ඇති වී තිබුණෙත්, ඒ රටේ ජාතික රාජ්‍ය ඇති වී තිබුණෙත්, ලංකාවේ ඇතිව තිබූ ආකාරයට සමාන ආකාරයකටමයි. බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස්වීම මේ රටවල් දෙකටම මුහුණ දෙන්න සිදු වී තිබූ අභියෝගයක්. බි‍්‍රතාන්‍යයන්ගෙන් ලැබී තිබූ ජාතික රාජ්‍ය ක‍්‍රමය නිදහසින් පසු ඉදිරියට ගෙන යන්නේ නම්, සාර්ථක ඉදිරි ගමනක් සඳහා ජාතික රාජ්‍යක් සඳහා ජාතිය ගොඩනගා ගන්නේ කෙසේද යන ප‍්‍රශ්නය මේ රටවල් දෙකේ නිදහස් ව්‍යාපාර හා නායකයින් මුහුණ දීමට සිදුව තිබූ ඉතා වැදගත් අභියෝගයක් වුනා. මේ රටවල් දෙකේ නිදහස් ව්‍යාපාර විසින් විසඳාගත යුතුව තිබූ ප‍්‍රශ්නයේ මූලික ස්වභාවය එක සමාන වුවත්, ප‍්‍රශ්නයේ සංකීර්ණත්වය අනුව ගත් විට, ප‍්‍රශ්න විසඳා ගැනීමට වඩාත් දුෂ්කර හා සංකීර්ණ තත්ත්වයක තිබුණේ ලංකාවෙ නොව ඉන්දියාවෙයි.
භූමියේ ප‍්‍රමාණය අනුව ගත් විට රට වල් දෙක අතර ලොකු වෙනසක් තිබුණා. ලංකාවෙ විශාලත්වය වර්ග කිලෝමීටර් 65.610ක්. ඉන්දියාවේ විශාලත්වය වර්ග කි.මි. 32,87,782ක්. (තිස් දෙලක් අසූහත් දහස් හත්සිය අසූදෙකක්* ජනගහනයේ ප‍්‍රමාණය අනුවද රටවල් දෙක අතර ලොකු වෙනසක් තිබුනා. ලංකාවේ ජනගහනය ලක්‍ෂ 60ක් වන විට ඉන්දියාවේ ජනගහනය ලක්‍ෂ 3000ක්. කුල, භාෂා හා ගෝත‍්‍ර අනුව ගත්විට, ඉන්දියාවෙ තිබුණෙ ලංකාවට වඩා ඉතා සංකීර්ණ තත්ත්වයක්. ලංකාවේ ජනගහනය  වර්ග හෝ ගෝත‍්‍ර ගණයට වැටෙන කණ්ඩායම් හිටියෙ 10කටත් වඩා අඩු ගණනක්. ඉන්දියාවෙ ඒ ගණන සියයකටත් වඩා වැඩියි. ලංකාවෙ භාෂා තිබුනේ 3යි. ඉන්දියාවේ භාෂා හා උප භාෂා 847ක් තිබුණ. ඉන්දියාවේ ජාතිය ගොඩනගාගැනීමේ ප‍්‍රශ්නය තිබුනෙ අපේ ප‍්‍රශ්නයට වඩා ඉතාමත් සංකීර්ණ තත්ත්වයක වුවත්, ඉන්දියාව ඒ අභියෝගය ජයගැනීමට සමත් වුනා. නමුත් අපි අපේ සරල තත්ත්වයක පැවති ප‍්‍රශ්නය විසඳාගැනීමට සමත් වුනේ නැහැ. ඉන්දියානු නිදහස් ව්‍යාපාරය හා එහි නායකයින්, ජාතිය ගොඩනගා ගැනීමේ ප‍්‍රශ්නය සාර්ථක ලෙස ගොඩනගා ගන්නා විට ලංකාවෙ නිදහස් ව්‍යාපාරය හා එම ව්‍යාපාරයේ නායකයින් ජාතිය ගොඩනගා ගැනීමේ ප‍්‍රශ්නය විසඳා ගැනීමට අසමත් වූයේ ඇයිද කියන ප‍්‍රශ්නය ඉතා වැදගත් ප‍්‍රශ්නයක් ලෙස සලකන්න පුලූවන්.
පන්ති පසුබිම හා උගත්කම අනුව ගත්විට මේ දෙරටේ ආගමික පුණර්ජීවන ව්‍යාපාරයේ නායකයින් හා පසුව ඇතිවන නිදහස් ව්‍යාපාරයේ නායකයින් අතර සමාන බවක් තිබුණත්, දෘෂ්ටිමය වශයෙන් ගත් විට දෙරටේ නායකයින් අතර තිබුණේ අහසට පොළොව තරම් විශාල පරතරයක්. සාමාන්‍යයෙන් යටත්විජිත තත්ත්වයක තිබූ හැම රටකම පාහේ දේශපාලන නිදහස දිනා ගැනීමට කරන උදේඝෝෂණ වලට පෙර, ආගමික පුණර්ජීවන ව්‍යාපාර කරළියට ආවා. පසුව ඇතිවන නිදහස් ව්‍යාපාරවලට අවශ්‍ය මූලික චින්තනය හා ප‍්‍රබෝධය ලබා දුන්නෙ ආගමික පුණර්ජීවන ව්‍යාපාර විසින්. ඉන්දියාවේ ඇති වූ හින්දු මුස්ලිම් පුණර්ජීවන ව්‍යාපාරය සමග ලංකාවේ බෞද්ධ හා හින්දු පුණර්ජීවන ව්‍යාපාරය සමාජ ගත කළ අදහස් ඉතාමත් පසුගාමි හා ප‍්‍රතිගාමියයි කියන්න පුලූවන්. ඉන්දියාවේ හින්දු මුස්ලිම් පුණර්ජීවන ව්‍යාපාරයේ නායකයින් යුරෝපයේ පුණර්ජීවන ව්‍යාපාරයෙන්, හොඳින් දැනුම උකහාගත් නූතන නායකයින් පිරිසක් ලෙස සලකන්න පුලූවන්. ඔවුන් තමන් පෙනී සිටින ආගම ආගම් අතර තිබෙන එකම සත්‍ය ආගම ලෙස සලකා ක‍්‍රියා කළේ නැහැ. අන් ආගම්වලට එරෙහිව බේද වපුරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ නැහැ. ඔවුන් වැඩි වශයෙන් පෙනී සිටියේ තමන් පෙනී සිටින ආගම්වල වත්පිළිවෙත් තුළ ඇති වර්තමානයට නොගැලපෙන දේවල් සංස්කරණය කර ගැනීමේ අවශ්‍යතාව. ඔවුන් හැමකෙනෙකුම ආගම් අතර තිබුය යුතු සහජීවනය වෙනුවෙන් පෙනී සිටිය. ඔවුන් මානවවාදී අදහස් වලින් පිරුණු නායකයින් වශයෙන් සලකන්න පුලූවන්.
බෙංගාලයේ හින්දු පුනරුද ව්‍යාපාරයේ පිළිගත් අප‍්‍රකට නායකයා වූ  ‘රාජා රාම් මෝහන් රෝයි’ එකිනෙකට වෙනස් ආගම් විශ්වව්‍යාපි, දේවවාදි, ජාතික ප‍්‍රතිමුර්තීන් ලෙස හඳුන්වනු ලැබුවා. ඔහු ඇතිකරන ලද බ‍්‍රහ්මෝ සමාජ ඔහු හඳුන්වා දෙන ලද්දේ විශ්ව දේවස්ථාන වශයෙන්.  ඉන්දියාවේ ඉස්ලාම් පුණර්ජීවන ව්‍යාපාරයේ පිළිගත් නායකයා වන සහිඞ් අහමඞ් ඛාන්ගේ මතය වුනේ සියලූම ආගමික මතයන් වෙනස්කම් තිබියදීත් එක සමාන බවත්, විවිධ ජනතාවන් අතර එකම සාස්තෘවරයා විවිධ ආකාරයෙන් පෙනී සිටින බවත් ය. හින්දු පුනර්ජීවන ව්‍යාපාරයේ සියලූ පිළිගත් නායකයින් හින්දු කුල ක‍්‍රමයට විරුද්ධ වුනා. අස්හර්ෂණීය ක‍්‍රමයට විරුද්ධ වුනා. ළමා විවාහ ක‍්‍රමයට විරුද්ධ වුනා. අඩු වයසේ වැන්දඹුවන් නැවත විවාහ වනවාට පක්‍ෂ වුනා.
ඉන්දියාවේ ආගමික පුණර්ජීවන ව්‍යාපාරවල ආගමික විශ්වාසයන්ට බර තැබූ ව්‍යාපාරයකට වඩා මානවවාදයට බර තැබූ ව්‍යාපාරයක් ලෙස  සලකන්න පුලූවන්. ඒවා ඉන්දියානු ජාතිය සමගිකොට, ජාතිය ඒකාග‍්‍ර කිරීමට වන අදහස් සමාජ ගත කරන ලද ව්‍යාපර ලෙස ද සලකන්න පුලූවන්. එහෙත් ලංකාවේ බෞද්ධ හා හින්දු ආගමික පුණර්ජීවන ව්‍යාපාරය එවැනි ඉදිරිගාමී ව්‍යාපාරයක් ලෙස සලකන්න බැහැ. ඒවාට වෙනත් ආගම් ගැන විවේචන තිබුණ මිසක්, තමන්ගෙ ආගම්වල තිබෙන යල්පැනගිය දේවල් ගැන විවේචනයක් තිබුණෙ නැහැ. විවිධ ආගම් අතර සහජීවනයක් ඇතිකරව වෙනුවට කළේ ආගම් අතර භේද වර්ධනය කිරීමයි. ජාතිය සමගි කරනවා වෙනුවට භේද කළා.
අනගාරික ධර්මපාලතුමා නූතන සිංහලයින් කෙරෙහිත්, ආරුමුගම් නාවලර්තුමා නූතන දමිලයින් කෙරෙහිත් වැඩිම බලපෑමක් ඇති කළ චින්තකයින් දෙදෙනා ලෙස සලකන්න පුලූවන්. මේ දෙදෙනාම එදා පැවති ක‍්‍රිස්තියානි ආධිපත්‍යයට එරෙහිව හා බෞද්ධ හින්දු ආගමට හිමිව තිබූ අවලස්සන තත්ත්වය වෙනස් කිරීම සඳහා ඉතා බලවත් ලෙස හා නිර්භීත ලෙස ක‍්‍රියා කළ නායකයින් දෙදෙනෙකු ලෙස සලකන්න පුලූවන්. එහෙත් එම නායකයින් දෙදෙනා එම අරමුණ කරා යාමට යොදා ගත් කි‍්‍රයාකාරකම් ජාතිය භේද බින්න කිරීමට මිස සමගි කිරීමට හේතු වුනේ නැහැ. ඒ කාලයේදී රටේ වැඩවසම් කුල ක‍්‍රමයට විශාල පිළිගැනීමක් තිබුණ. ඒ මගින් රටේ සිංහල දෙමළ ජනතාව පහත් ලෙස ප‍්‍රභේද දෙකකට වෙන්කර තිබුණ. අරුමුගම් නාවලර් තුමා හින්දු කුල ක‍්‍රමය වෙනුවෙන් පෙනී සිටිය. පීඩිත කුලවල දරුවන් වංශවත් කුලවල දරුවන් සමග එක පන්ති කාමරයේ උගන්වන ක‍්‍රමයට එතුමා විරුද්ධ වුනා. අනගාරික ධර්මපාල තුමා සිංහල කුල ක‍්‍රමය පමණක් නොව, ශාසනයේ පැවති කුල භේදයද ඉවසන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා. ඔහු ගොඩනගන්නට අපේක්‍ෂා කළ ලංකාව තුළ සිංහල බෞද්ධයින්ට හැර දමිළයින්ට, මුස්ලිම්වරුන්ට, බර්ගර්වරුන්ට පමණක් නොව සිංහල ක‍්‍රිස්තියානින්ට පවා තැනක් තිබුනෙ නැහැ. ඔහු වැදගත් කොට සැලකුවේ සිංහල බෞද්ධයින් පමණයි. 1915 සිංහල මුස්ලිම් කෝලහලය අනගාරික ධර්මපාලතුමා විසින් සිංහල බෞද්ධ ජනයා අතර වපුරන ලද ආගම්වාදී, වර්ගවාදී ප‍්‍රබෝධය පුපුරාගිය අවස්ථාවක් ලෙස සලකන්න පුලූවන්.
ආගමික පුණර්ජීවන අදියරය අවසන් කොට, දේශපාලන ප‍්‍රතිසංස්කරණ අදියරය දිනා ගැනීමේ අදියරයට එළඹුනු පසු, මේ රටවල් දෙකේ නිදහස් ව්‍යාපාර දෙක නිදහස දිනාගැනීම සඳහා දියත් කළ වැඩසටහන් දෙක අතර අහසට පොළොව තරම් ලොකු වෙනසක් පෙනෙන්න තියෙනව. ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ නායකයින්ට බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ඉන්දියාව නිදහස් කරගත යුතු ආකාරය ගැනත්,  ඒ සඳහා කරන අරගලය තුළ ජාතික රාජ්‍ය පැවැත්ම ගැනත්, ඉන්දියානු රාජ්‍ය ගොඩනගාගත යුතු ආකාරය ගැනත් තියුණු අවබෝධයක් තිබුණ. එහෙත් ලංකාවේ නිදහස වෙනුවෙන් පෙනීසිටි අපේ නායකයින්ට එවැනි අවබෝධයක් තිබුනෙ නැහැ. ඔවුන් අපේක්‍ෂා කළේ සරල බල හුවමාරුවක් පමණයි. ජාතික රාජ්‍යයේ යහපැවැත්ම සඳහා ලාංකික ජාතිය ගොඩනගා ගැනීමේ ප‍්‍රශ්නය ගැන ඔවුන්ට මොනම අවබෝධයක්වත් තිබුනෙ නැහැ. ඉන්දිය ජාතිය ගොඩනැගීම සඳහා කුල භේදයට තිබෙන පිළිගැනීමත්, හින්දු මුස්ලිම් භේදයත් අහෝසි කොට භේදයකින් තොරව සියලූ ඉන්දියානුන්ට සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවය ලබාදීමේ අවශ්‍යතාව ඉන්දියානු නිදහස් ව්‍යාපාරය හොඳින් තේරුම්ගෙන තිබුණ. ඒ සඳහා මහජනයා දැනුවත් කිරීම සඳහා සැලසුම් කරන ලද, මහා පරිමාණයේ මතවාදි ව්‍යාපාරයක් සඳහා වැඩසටහනක් එම ව්‍යාපාරයට තිබුණ. අස්පර්ෂනීයත්වයට එරෙහිව පීඩිත කුලවලට කෝවිල්වලට ඇතුල්වන තහංචිවලට එරෙහිව රටපුරා තිබෙන කෝවිල් ඉදිරිපිට මහා සත්‍යග‍්‍රහ ව්‍යාපාර පැවැත්වුව. ඒවට ලක්‍ෂ ගණනින් මිනිස්සු සහභාගිවුනා. ඉන්දු මුස්ලිම් සහජීවනය සඳහා පවත්වාගෙන ගිය ව්‍යාපාරය ජන ජීවිතය කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ඇති කළා. අවසානයේ දී ගාන්ධි ඝාතනයට ලක්වුයේ ද එහි ප‍්‍රතිඵලයක් වශයෙන්. පාකිස්තානය වශයෙන් වෙන්වීමක් ඇතිවීම වළකා ගැනීමට බැරි වූ බව ඇත්තක්. එහෙත් පාකිස්තානයට එකතු වූ මුස්ලිම් ජනයාට වැඩි මුස්ලිම් ජනතාවක් ඉන්දියාවේ නරත කර ගැනීමට ඉන්දියාව සමත් වුනා. ගාන්ධි ඝාතනයට ලක්වන අවස්ථාව වන විටත් හින්දු මුස්ලිම් කෝලහලය තිබුණේ ගිනිගත් තත්ත්වයක. ගාන්ධිගෙ මරණයත් සමග සියලූ ගිනි නිවී ගාන්ධිගේ චිතකයෙන් නැගෙන ගින්න, ඉන්දියාවේ ඉතිරි වූ එකම ගින්න බවට පත් වුනා. ඉන්දීය ජාතිය ගොඩනැගීමේ ක‍්‍රියාදාමය, ඒ සමග කිසියම් ප‍්‍රමාණයකට සම්පූර්ණ වුනා. ඉන්පසුව ඇති කරගන්නා ලද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවවෙන් භේදයකින් තොරව සියලූ ඉන්දියානුවන්ට සමාන අයිතිවාසිකම් සමග සමාන ගෞරවය ලබා දුන්නා. එහෙත් ලංකාවේ නිදහස වෙනුවෙන් පෙනීසිටි සිංහල, දෙමළ මුස්ලිම් නායකයින්ට ජාතික රාජ්‍ය ගැන හෝ ඊට අවශ්‍ය ජාතිය ගොඩනැගීම පිළිබඳ කිසිදු නිරවුල් අවබෝධයක් තිබුණෙ නැහැ. ඔවුන් අතර සිටින සමහර නායකයින්  ලාංකීය ජාතියක් ගැන කතා කළත් ඒත් ඒ කිසිවෙකුට ජාතිය ගොඩනගා ගත යුතුව තිබෙන්නේ කවර ආකාරයකට ද යන්න ගැන කිසිම අවබෝධයක් තිබුණේ නෑ. ඒ නායකයින්ගෙ දැනුම කොයිතරම් සීමාසහිත තත්ත්වයක තිබුණද කියල කියනව නම්, ඔවුන්ට මානව අයිතිවාසිකම් ගැන පවා අවබෝධයක් තිබුණෙ නැහැ. ලංකාවේ මානව අයිතිවාසිකම් කතිකාව කරළියට එන්නෙ 70දශකයේ දි. එහෙත් ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට 1936වන විටත් තමන්ගේම වන මානව අයිතිවාසිකම් ප‍්‍රඥප්තියක් තිබුණ. ඉන්දියානු නායකයින්ට සාපේක්‍ෂව අපේ නායකයින්ගේ දේශපාලන දැනුමේ අන්ත දුප්පත් කමේ තරම අපිට තේරුම් ගන්න පුලූවන්.
ලංකාවේ ජාතිය ගොඩනැගීම පිළිබඳ ප‍්‍රශ්නය අවුල් ජාලාවක් බවට පත්වීම, අපේ රටේ දේශපාලන ව්‍යාපාරවලට හා ඒවායේ නායකයින්ට එම ප‍්‍රශ්න පිළිබඳව තිබූ අවබෝධයක් නැති කමද වැදගත් හේතුවක් ලෙස බලපෑව. මුලදී ලංකා ජාතික සංගමය තුළ සියලූ වර්ගවලට අයත් නායකයින් එකට එක්වී සිටිය. ඒ සමගිය ඉක්මනින් බිඳ වැටුණේ ද බහුතර බලයක් ඉදිරියේ සුලූතර අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා යොදාගත හැකි  ලිබරල් විධිවිධාන ගැන දෙමළ මුස්ලිම් සුළු ජාතික නායකයින්ට සේම සිංහල නායකයින්ටද හරි අවබෝධයක් නොතිබුණු නිසා කියා කියන්න පුලූවන්.
කොල්බෘක් පතිසංස්කරණ යටතේ 1833දි විධායක හා ව්‍යවස්ථාදායක ක‍්‍රමයක් ඇති කිරීමෙන් පසුව නිලලත් සාමාජිකයන් 9දෙනෙකුගෙන් හා නිලනොලත් සාමාජිකයන් 6දෙනෙකුගෙන් යුතු ව්‍යවස්ථා සභාවේ ප‍්‍රදේශීය ජනයා වෙනුවෙන් ජනවර්ග 3න් නියෝජිතයන් 3දෙනෙක් පත්කර ගත්තා. එහි දී ජනවර්ගවල ප‍්‍රමාණය සැලකිල්ලට ගැනීමක් සිදුවුනේ නැහැ. එහි දී  වැදගත් කොට සලකන ලද්දේ උපදේශක සභාවක් වශයෙන් ජන වර්ගවලට ලැබියයුතු නියෝජනය ගැන පමණයි. එය අනාගතයේ පාර්ලිමේන්තු ආණ්ඩුවක් දක්වා විකාශනය වන ක‍්‍රියාවලියක ප‍්‍රාරම්භක අවස්ථාව ලෙස සලකතොත්, පසුව ක‍්‍රමයෙන් ජනවර්ගවල අනුපාතිකයන්ට ගැලපෙන ආසන ප‍්‍රමාණයක් ලැබෙන තත්ත්වයක් කරා විකාශනය වීම නොවැලැක්විය හැකියි. එහෙත් ඒ වෙනස එසේ සිදුවනවා දකින්න දෙමළ නායකයින් කැමති වුනේ නැහැ. ආසන වෙන්කිරීමේ දී 2/1අනුපාතයකට වෙන්කළ යුතු බව දෙමළ නායකයින්ගේ මතය වුනා. සුලූජාතීන්ට බරතබන ප‍්‍රාදේශී්‍ය නියෝජනයක් ඇති කළ යුතු බව සිංහල නායකයින්ගේ මයත වුනා. මේ දෙපිරිසේම ප‍්‍රවේශය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුකූල වුනේ නැහැ. කොටින්ම සිංහල ජනගහනයේ ප‍්‍රමාණයට ගැලපෙන විශාල නියෝජනයක් සිංහලයින්ට ලැබීම මගින් සුලූ ජාතීන් පීඩාවට පත්කරන තත්ත්වයක් වලකා ගැනීම සඳහා යොදාගත යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රතිකර්ම පිළිබඳ අවබෝධයක් දෙමළ හා මුස්ලිම් නාකයන්ට තිබුණෙ නැහැ. අනෙක් අතට සුලූ ජාතීන් අතර ගොඩනැගෙමින් තිබුණු බිය පහකිරීම සඳහා යොදාගත හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිකර්ම පිළිබඳ අවබෝධයක් සිංහල නායකයින්ටත් තිබුණෙ නැහැ.
පොන්නම්බලම්ගෙ පණහට පණහේ ඉල්ලීම ජාතීන් අතර පැවති එම ප‍්‍රවේශයේ අවුල්සහගත බව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදි විරෝධි බව හොඳින් පෙනුන්ම් කරන අවස්ථාවක් ලෙස සලකන්න පුලූවන්. 1925 ඇති වූ බෙදීම නිදහස දක්වා බලපාන ස්ථීර බෙදීමක් බවට පත්වුනා. සුලූජාතික නායකයින් කල්පනා කළ ආකාරයේ අවුල්සහගත බවක් තිබුණා සේම, සිංහල නායකයින් කල්පනා කළ ආකාරයේ අවුල්සහගත බවක් තිබුණා. දෙගොල්ලන්ටම ඒ සඳහා ඇතිකර ගතයුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිකර්ම පිළිබඳ අවශ්‍ය මනා අවබෝධයක් තිබුණේ නැහැ. ඒ කාලයේ ජාතිය ගොඩනැගීම පිළිබඳ අවබෝධයක් තිබුණු එකම සංවිධානය ලෙස සලකන්න පුලූවන් යාපනයේ තරුණ සංගමය පමණයි. ඔවුන් කුල භේදයට එරෙහිව පෙනී සිටිය. සිංහල දෙමළ මුස්ලිම් සමගියක් වෙනුවෙන් පෙනී සිටිය. එහෙත් ඔවුන් ඉන්දියානු කොන්ග‍්‍රසයේ කාබන් පිටපතක් ලෙස ක‍්‍රියා කරන්න උත්සාහ දැරීම තුළ තමන්ගෙ පැවැත්ම ඉක්මනින් අහිමි කර ගත්ත. ඇත්ත වශයෙන්ම මේ කාලයේ ලංකාවේ මාක්ස්වාදීන්ටත් මේ ප‍්‍රශ්නය නිරවුල් කරගැනීම සඳහා කිසිම ප‍්‍රවේශයක් තිබුණෙ නැහැ. ඔවුන් අතින් වුනෙත් මේ ප‍්‍රශ්නය උග‍්‍ර කිරීම සහ අවුල් කිරීම. ඔවුන්ට වැදගත් වුනේ ජාතිය නෙමේ පන්තිය. ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ මාක්ස්වාදීන් ජාතිය ගොඩනැගීමේ ව්‍යාපාරයට සෑහෙන දායකත්වයක් ලබාදීල තියෙනව. කාර්යභාරයක් කරල තියෙනව. ලංකාවේ මාක්ස්වාදීන්ට ඒ කාර්යභාරය ඉටුකරන්න පුලූවන් වුනේ නැහැ. අවසානයේ ලංකාවට නිදහස ලබාදෙනවාට විරුද්ධවෙන සමාජ ප‍්‍රවනතා දෙකක් ගොඩනැගී තිබුණ. ඉන් එකක් සමන්විත වුනේ සුලූජාතීන්ගෙන්. අනිත් ප‍්‍රවනතාවය සමන්විත වුනේ පීඩිත කුලවලින්.
නිදහස ලැබීමෙන් සිංහල ආධිපත්‍යයක් ඇති වී, ඔවුන් අතින් තමන් පීඩාවට ලක්වෙන තත්ත්වයක් ඇතිවනු ඇතැයි කියා සුලූජාතික නායකයින් කල්පනා කළා. නිදහස ලැබී ගොවිගම හා වෙල්ලාල ආධිපත්‍යයක් ඇති වී තමන් පීඩාවට පත්කරන තත්ත්යක් ඇතිවනු ඇතැයි පීඩිත කුලවල නායකයින් කල්පනා කළා. මේ කණ්ඩායම් දෙක වෙනවෙනම පළමුව ඩොනමෝර් කොමිසමටත්, දෙවනුව සොල්බරි කොමිසන් සභාව වෙතත් තමන්ගෙ දුක් ගැනවිලි ඉදිරිපත් කළා. ඒ වනවිට සුලූ ජාතීන්ගේ ප‍්‍රශ්නයට අතිරේකව පීඩිත කුල පිළිබඳ බරපතල ප‍්‍රශ්නයකුත් රටේ පැවති බව ඉන් පෙනෙන්න තියෙනව. මේ තත්ත්වය යාපනේ තිබුණේ දකුණටත් වඩා ගිනිගනිමින් තිබෙන තත්ත්වයක.
නිදහස දිනා ගන්නා ලද්දේ එම ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකට විසඳුමක් නැතිව. නිදහස ලැබීමෙන් පසුත්, ප‍්‍රශ්න දෙක විසඳාගැනීමට උත්සාහ ගැනීමක් සිදුවුනේ නැහැ. නිදහස ලබාගත්තෙ ජාතික රාජ්‍ය සඳහා අවශ්‍ය ජාතිය ගොඩනගා ගැනීමකින් තොරව. නිදහසින් පසුත් ඉදිරියට යන්නට උත්සාහ කළේ ජාතිය ගොඩනගා ගැනීමේ උත්සාහයකින් තොරව. ඉන්පසු සුලූජාතීන්ට සේම සියලූ කුලවල ජනයාටද ජීවත් වන්නට සිදුවූයේ සමාන අයිතිවාසිකම් හා සමාන ගෞරවය අහිමිකරනු ලැබූ දෙවෙනි පෙළ තත්ත්වයක. ඒ අසෝභන තත්ත්වය ඊට ගොදුරු වී සිටි තරුණ තරුණියන් යක්‍ෂාවේශ වී ක‍්‍රියාකරන තත්ත්වයකට තල්ලූ කිරීමට හේතු වුනා. අවසානයේ ලංකාව නිදහස ලබාගත්තේ එකම ලේ බින්ඳුවක්වත් සොලවන්නේ නැතුව. එකම ලේ බන්ඳුවක් නොසොල්වා නිදහස ලබා ගත් රට නිදහස ලැබී අවුරුදු 30කට පසුව එක දිගට අවුරුදු 30ක්ම ලේ ගලන රටක් බවට පත් වුනා. ජාතිය ගොඩනගාගැනීමට අසමත් වී ම  මේ ලේ වැගිරීමේ කෙරේ බලපෑ ප‍්‍රධාන හේතුව ලෙස සලකන්න පුලූවන්. ඒ ලේ වැගිරීමේ කෙරෙහි වර්ගය පමණක් නොව කුලයද බලපෑවා.
විජේවීර කරාව කුලයේ කෙනෙකු වන විට, ඔහුගේ දෙවෙනියා සොලී කුලේ කෙනෙක් වුනා. ප‍්‍රභාකරන් කරයා කුලේ කෙනෙකුවන විට ඔහුගේ දෙවෙනියා බාබර් කුලේ කෙනෙක් වුනා. සමස්ත අර්බූදය කෙරෙහිම බලපෑ ප‍්‍රධාන හේතු දෙක එම නිදර්ශන දෙක තුළ හොඳින් සංඛේතවත් වෙනව. මෙම අර්භූදය තුළ, ‘වර්ගය ප‍්‍රසිද්ධියේ කැරලි ගසන විට කුලය සැ`ගවී ගරිල්ලා යුද්ධයක් කළා’.
මහා විනාශයක් ඇතිවීමෙන් පසුව, නිදහස් ස්වෛරී සම්පූර්ණ කරගැනීමට අසමත් වූ ජාතිය ගොඩනැගීමේ අරමුණ සපුරා ගැනීමට දැන්වත් ලංකාව සමත්වේද? එදා අපට සිටි අවශ්‍ය තරමට ප‍්‍රඥාව නැති අසාර්ථක නායකයින්. ප‍්‍රශ්න අවුල් කරගැනීමට ප‍්‍රඥාව නැතිකම වැදගත් හේතුවක් ලෙස බලපෑව. ඒ නිසා ඇති වූ මහා විනාශය විසින්වත්, අපේ වර්තමාන නායකයින් ප‍්‍රඥාවන්ත කිරීමට සමත් වී තිබේද? මට පෙනෙන දේශපාලන අවකාශය තුළ නම්, ප‍්‍රඥාවවත් ධෛ්‍ය_යවත් පෙනෙනතෙක් මානයක නැහැ. හැම තැනකම පෙනෙන්න තියෙන්නෙ අඳුරෙ අතපතගාන තත්ත්වයක්. සමාජයට නම් නායකයිනට නැති, වෙනදා පෙනෙන්නට නොතිබුණු කිසියම් ප‍්‍රඥාවක් පහළ වී තිබෙන බව පෙනෙනවා. ප‍්‍රඥාව නැති නායකයින් දක්කාගෙන ඉදිරියට යාමේ හැකියාවක් සමාජයට තිබේද? මෙම ඓතිහාසික මොහොතේදී අපේ රටේ නයකයින්ට, රට ඉදිරියට ගැනීමට අවශ්‍ය කරන ප‍්‍රඥාව හා ධෛ්‍ය_ය ලැබේවා කියා ප‍්‍රාර්ථනා කරනවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *