ජනාධිපතිතුමා සකල අමාරුවේ දැමු පාදෙණිය තව පචයක් කෙළියි !

මෙරට කෘෂිකර්මය වහා ම කාබනික කරන්නට ජනාධිපතිතුමාට උපදෙස් දෙමින් එතුමා සකල අමාරුවේ දැමීමට විශාල බලපෑමක් කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා මෙවර කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ රැස්වීමේ දී තවත් ගල් පැලෙන බොරුවක් කියා ඇති බව වාර්තා වෙයි.

මෙවර ඒ මහතා කියා ඇත්තේ හයිටි රජ්ජයේ ජනතාවගේ උපතේ දී ආයු අපේක්ෂාව අඩු කිරීම සඳහා බටහිර ජාතීන් එම රටේ දරුවන්ට ටැබ් පරිගණක ලබා දුන් බව යි. ටැබ් ලබා දීම, මත්පැනට සහ දුම් පානයට හුරු කිරීම , ආහාර පුරුදු වෙනස් කිරීම මගින් කලින් වසර 95 ක් ව තිබු හයිටි වැසියන්ගේ උපතේ දී ජීවිත අපේක්ෂාව අවුරුදු 45 දක්වා අඩු වී ඇති බව පාදෙනියෝ කියා ඇත.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍යය  සංවිධානයේ දත්ත අනුව හයිටි වැසියන්ගේ ජීවිත අපේක්ෂාව කිසි දිනක වසර 95 ක් ව තිබී නැති අතර 1960 දී එය තිබුනේ වසර 41. 46 ක් වශයෙනි. 1971 දී වසර 46.51 ක් වූ එය දිගින් දිගට වර්ධනය වී අද වනවිට පවතින්නේ වසර 64.32 කි. මෑත කාලයේ සෑම වසරක ම එහි වර්ධනයක් දකින්නට ලැබී ඇත.

අනෙක් අතට ළමයින්ට ටැබ් පරිගණක දීමෙන් උපතේ දී ජීවිත අපේක්ෂාව අඩු වන්නේ නම් ළමයින් වැඩියෙන් ම ටැබ් භාවිත කරන  ඇමෙරිකාවේ සහ යුරෝපයේ ජනයාගේ ජීවිත අපේක්ෂාව කොතරම් අඩු වී ඇත්දැයි වෛද්‍ය පාදෙණිය කියා නැත.

රජරට වකුගඩු රෝගය සහ රසායනික පොහොර අතර සම්බන්ධයක් නැති බව දෙස් විදෙස් විද්වතුන් පසුගිය දිනවල පැහැදිලිව පෙන්වා දීමෙන් පසු ටික දිනක් නිහඬව සිටි අනුරුද්ධ පාදෙණිය මහතා මෙම රැස්වීමේ දී නැවතත් එම කතාව ද කියා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් උදිත කේ ජයසිංහ මහතා පසුගිය දා කීවේ රසායනික පොහොර තහනම් කිරීමේ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත නිකුත් කළ එකක් බව යි. ජනාධිපතිතුමා එයට වග කිව යුතු නැති බව ඒ මහතා කී ය.

එසේ වුව ද, ජනාධිපතිතුමාත් රජයත් සකල අමාරුවේ වැටුණු සහ මහජන විරෝධයට ලක් වූ එබඳු වැරදි උපදෙස් දුන් උදවියගෙන් තවමත් ජනාධිපතිතුමාට ගැලවීමක් නැති බව දැන් ලැබෙන වාර්තා පෙන්නුම් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *