නැනෝ පොහොරට ලෝක පිළිගැනීමක් නැහැ ; තේ වගාවට තහනම් !

මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට හදිසියේ ගෙන්වා ඇති නැනෝ යුරියා ඉන්දියාව හැර ලොව කිසිම රටක ආරක්‍ෂිත පොහොරක් ලෙස පිළිගෙන නැති බවත්, තේ වගාවට එය යෙදුව හොත් තේ වෙළෙඳ පොළ බිඳ වැටීමට ඉඩ ඇති බවත්, ක්ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර්ග කියයි.

ඉන්දියාවේ සමුපකාර සමාගමක නව නිෂ්පාදනයක් වන මෙය කිසිදු රටක පර්යේෂණ කොට අනුමත කොට නැත. තම රටවලට ආනයනය කරන ආහාර පාන නිෂ්පාදනයේ දී යොදාගන්නා පොහොර, වල්නාශක, කෘමිනාශක, පිලිබඳ නීති බොහෝ රටවල ක්‍රියාත්මක ය. ඔවුන් අනුමත කොට නැති රසායන ද්‍රව්‍ය යෙදු ආනයන එම රටවල තහනමට ලක් වෙයි. නැනෝ යුරියා පොහොර තේ වගාවට යෙදුව හොත් තේ වෙළෙඳපොළ බිඳ වැටෙන බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ කියති.

අනෙක් අතට නැනෝ පොහොර යොදන්නේ දියර ලෙස පත්‍රවලට ඉසීම මගිනි. එවිට තේ දළුවල එම පොහොර රැඳී තිබී නිෂ්පාදනයට එකතු විය හැකි ය. එය ද තේ වෙළෙඳපොළ බිඳ වැටීමට හේතුවක් විය හැකි බව කියති.

නැනෝ පොහොර මෙරටට ගෙන්වා ඇත්තේ ද කිසිදු පරීක්ෂණයකට ලක් නොකර සහ අවශ්‍ය අවසර කිසිවක් ලබා නොගෙන ය.

මේ තත්ත්වය නිසා ඇති වී තිබෙන විරෝධය හමුවේ තේ වගාව සඳහා යුරියා පොහොර ගෙන්වීමට ඉඩ දීමට කෘෂිකර්ම අමාත්යංශය තීරණය කොට ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *