ආණ්ඩුව විවේචනය කළයුත්තේ නැවත රාජපක්ෂ සිංහාසනාරූඩ කරන්නට නොවේ- ගාමිණි වියන්ගොඩ (2වෙනි කොටස)

වත්මන් ආණ්ඩුව ඇතිකරගත් සමාජ ගිවිසුමට අනුව ක්‍රියා නොකරන්නේ නම්, එතන දී ද ක්‍රියාකරන්නට වෙන්නෙ මහින්ද රාජපක්ෂට එරෙහිව ක්‍රියාකළ ආකාරයටම ය. ප්‍රථමයෙන්ම කළයුත්තේ ජනතාව දැනුවත් කිරිම ය. ජනතාව දැණුවත් කිරීම සඳහා අවංක විවේචනයක යෙදිය යුතුව ඇත. එතන දි පක්ෂ භේදයක් නොසළකා, කිසි පක්ෂයකට ගැති නොවී මේ විවේචනය කළයුතු ය. දැන් එක හොඳක් සිදු වී තිබේ. දැන් ලංකාවේ ජනතාව පෙරට වඩා පොඩි දියුණුවක් පෙන්නුම් කරන බව පෙනේ. ඒ අයට දැන් දේවල් වැටහෙමින් ඇත. ඒ වැටහීම ඇති වී තිබෙන්නේ තාක්ෂණයේ දියුණුව නිසා ය. මීට වසර 10කට පෙර මිනිසුන්ට රේඩියෝව හැර එසැනින් පුවත් කියලා දෙයක් ගියේ නැත. රේඩියෝවෙන් පුවත් ගියේ ද රජයට අවශ්‍ය ආකාරයට ය. සමහර පලාත්වල ඉරිදා පත්තරයෙන් තමයි ජනතාව යම් දෙයක් දැන ගත්තේ. අද එහෙම නොව සිදුවීම් සජීවී ව රූපමය වශයෙන් හැමදාම මිනිස්සු දකිති. රටේ පමණක් නොව ලෝකයේ වෙන දෙවල් ද අද ඔවුන්ට දකින්නට පුළුවන. ඒ නිසා අද මිනිසුන් එක්තරා දුරකට විදග්ධ යැයි කියන්නට පුළුවන. ඒ නිසා පෙර කළ ආකාරයට අද මිනිසුන් අද රවට්ටන්නට නොහැක.
ඒ නිසා අපේ කාර්යයත් තරමක් පහසු වී තිබේ. මිනිසුන්ට මේ දේවල් කියන්නට, ඒත්තු ගන්වන්නට, පැහැදිළි කරන්නට සහ පාලකයින්ට පණිවිඩ නිතුත් කරන්නට පුළුවන් වි තිබේ. ලොකුම අවදානම විදියට මා දකින්නේ අපි අර පෙරලාදමන ලද රෙජිමය නැවත ඉතිහාසයේ යථාර්තයක් ලෙස දකින්නට ලැබේ ද යන්න ය. මේක නතර කලයුතු ය. ඒ නිසා අපේ විවේචන එල්ලවිය යුත්තේ මේ ආණ්ඩුව විරුද්ධව මිසක් මහින්ද රාජපක්ෂට පක්ෂව නොවේ. මේක පෙරළා මහින්ද රාජපක්ෂ කෙනෙක් බලයට පත්කිරීම අමනෝඥය මෙන්ම මුග්ධ වැඩකි. ඒක නිසා අපි කරන්නට තිබෙන්නේ තියන දේ හදා ගැනිම ය. මම ම විශ්වාස කරනවා තවමත් මේ ආණ්ඩුව හදාගන්නට හැකි බව. අපි තවමත් බලාපොරොත්තු අතහැරගෙන නැත. මේ ආණ්ඩුව යම් යම් කැපකිරීම් කර ඇත. අර කියූ සීමාකම් යටතේ දීත්. ජනාධිපතිවරයා බලය අත්හරින්නට සුදානම් පමණක් නොව බලය යම් පමණකට බලය අත හැර ද තිබේ. නිදහස අපිට ලැබී ඇත. අර ආයතන පද්ධතිය දැක් ක්‍රියාවට නැගී ඇත. මේ නිසා මේ විවේචන සාධනිය විවේචන විය යුතුව ඇත. නිශේධනිය විනාශකාරි විවේචන නොව, සාධනීය විවේචන අවශ්‍ය ය. ඒක තමයි සිවිල් ව්‍යායාපාර ලෙස කළයුතු වන්නේ.
ඉදිරියේ දි ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවක් හදන්නට කටයුතු සිදුවෙමින් පවති. ඒකේ දි විධයක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සමග බලය බෙදා හැරිම කියන අංගය එකට ගැටගැසී ඇත. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගත යුත්තේ හුදෙක් ආණ්ඩුකරන ආකාරය පිළිබඳව පමණක් නොව, අපි නිදහසේ සිට බැටකාපු ජාතික ප්‍රශ්නය යනුවෙන් එකක් ද ඉතිරිවී ඇත. ඒ ජාතික ප්‍රශ්නයටත් විසඳුමක් විය හැති ආණ්ඩු ක්‍රමයක් තමයි අපි සකස් කරගත යුත්තේ. නව ව්‍යවස්ථා සම්පාදනයේ දී බලය බෙදා හැරීම කියන සංකල්පය මූලික තේමාවක් විය යුතුය. බලය බෙදා හැරිම කියූ පමණින් අර ජාතිවාදි කොටස් එක පාරටම දැන් ඊලාමය දෙන්නට යන බව පවසමින් කෑ ගහන්නට පටන්නෙ තිබේ. මහින්ද රාජපක්ෂගේ දේශපාලනය ජාතිවාදි දේශපාලනය වන නිසාම, මහින්ද රාජපක්ෂ ඒකෙන් ඵල නෙලා ගන්නට බලනවාට සැකයක් නැත. ඒක දැනුදු අපිට පෙනෙන්නට තිබේ. ඒ වගේ ඒ පස්සේ ම යන මාධ්‍යයක් මේ රටේ තිබේ. මේ පිළිබඳව අපි සැලකිල්ලෙන් සිටිය යුතු ය. මිනිසුන්ට මේවා කියලා දියයුතු ය. බලය බෙදිමක් අවශ්‍ය කරන්නේ ඇයි ද යන්න පැහැදිළි කළයුතු ය. මේක ජනාධිපතිවරයා ලගක දි පවසා ඇත. යුද්ධයක් ඇති වූයේ ඇයි කියන එක තේරුම්ගත යුතු බව ඔහු එහි දි පැවසුවේ ය. ඒක වැදගත් ප්‍රකාශයකි. ෆෙඩරල් ක්‍රමයක් ඒ මිනිස්සු ඉල්ලන්නේ ඇයි ද යන්න සොයා බැලිය යුතු ය. එසේ ඉල්ලන්නේ මේ ක්‍රමය තුළ යම් අඩුවක් තිබෙන නිසා ය. ෆෙඩරල් දෙන්නට බැරිනම් අපි අර අඩුව පුරවා ගතයුතු වේ. මේ දෙකෙන් එකයි තියන්නෙ. මේ දෙකම නොකර ඉන්නට නොහැක.
වැඩිදෙනෙක් ෆෙඩරල්වලට විරුද්ධ නම් තියෙන ක්‍රමය යටතේ බලය බෙදා හැරිමක් අවශ්‍ය ය. මේවා තමයි සාකච්ඡා කරන්නට තියෙන්නේ. මේක සාමාන්‍ය මිනිසුන්ට නොතේරෙනවා යැයි කිව නොහැක. ඒක නිසා මම හිත්නන් නෑ ජාතිවාදය ඉස්සර වගෙ මේ වතාවේ අවුස්සන්නට නොහැක. ඒකට මේ පැත්තෙන් අපි සන්නද්ධව සිටිය යුතු ය. අපි මිනිස්සුන්ට තත්ත්වය ගැන පැහැදිලි කලහොත්, මිනිසුන්ට ඒක තෙරුම්ගත හැක. කිසි සිංහළ මිනිසෙක් දෙමල මිනිසුන් මේ රටින් පලවා හැරිය යුතු බව කියන්නේ නැත. දෙමල මිනිස්සු තියන්නෙත් නැ සිංහළයින් එලවා අපිට රට දෙන්න කියලා. මේ දෙගොල්ලම එක රටක ජිවත් වෙන්නයි කැමැත්ත තියෙන්නේ. එක රටක ජීවත් වෙන ක්‍රමය කුමක් ද කියන එකයි ප්‍රශ්නය වන්නේ. මේකෙදි ජාතිවාදය අවුස්සන්න ඉඩකඩ තියෙනවා. ඒක පිළිබඳව සමාජය සබුද්ධික වියයුතු ව ඇත. සමාජය සබුද්ධික කරවිය හැක්කේ සිවිල් ව්‍යාපාරවලට හා ආණ්ඩුවට ය. ආණ්ඩුවට විශාල කාර්ය භාරයක් ඇත. මාධ්‍යට ද විශාල කාර්ය භාරයක් ඇත. මේ තුන්ගොල්ලම එකට එකතු වෙලා මේ පණිවිඩය රටට ගෙන යා යුතු ය. ඒ ආකාරයට තමයි ඒක නිරාකරනකය කරගන්නට පුලුවන් වෙන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *