බැසිල් ඔබ කොහිද? – අනුර සූරියබණ්ඩාර 

පසුගිය වතාවේ ඉන්ධන මිල ඉහළ ගිය විට , බැසිල් සිටියා නම් ඉන්ධන මිල වැඩි නොකරනු ඇතැයි ඇතැම් අය කීහ. බැසිල් පැමිණ ඉන්ධන මිල පහළ හෙළන තුරුද සමහරුන්  බලා සිටියේය. බැසිල් ආ නමුත්  ඉන්ධන මිල පහළ බැස්සේ නැත. බැසිල් මුදල් ඇමැති විය. එහෙත් ඛනිජ තෙල් මිල එසේමය.

සහල් හිගයක් රටේ ඇති විය. සහල් පෝළිම් ද ඇති විය.  අවසානයේ ආණ්ඩුව සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට හදිසි නීතිය ද ක්‍රියාත්මක කළේය. ඉන් ද සහල් මිල පහළ බැස්සේ නැත. සහල් මෝල් වටලා සහල් අත්අඩංගුවට ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ  වෙළෙඳ පොළෙහි එතෙක් නොතිබුණු  සහල් හිගයක් සහ සහල් පෝළිම් ඇති වීමය.සහල් මිල පාලනයට ගැසට් නිකුත් කළේය. ඉන් ද සහල් මිල පාලනය වූයේ නැත. සහල් හිගයට පිළියම් ලැබුණේත් නැත. සහල් මිල පාලනයට ආණ්ඩුව ගත් සියලු පියවර ගඟට ඉනි කැපුවා සේ විය. අවසානයේ සහල් මිල පාලන බලය ආණ්ඩුවේ අතින් ගිලිහී මෝල් හිමියන් අතට පත්විය.සියල්ල කෙළවර වූයේ , ඩඩ්ලි සිරිසේන සහල් මිල පමණක් නොව වී මිලද තීරණය කිරීමෙනි.

සහල් මිල ඉහළ ගියේය. සහල් මිල පාලනය කිරීමට ගෙනා හදිසි නීතිය තවමත් තිබේ. සහල් හිගයට සහ සහල් මිල ඉහළ යාමට පිළියම් වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 6000ක් ⁣පකිස්තානයෙන් ආනයනය කරන්නට කැබිනට් අනුමැතිය ලැබු⁣ණු බව අගෝස්තු 12 දා පැවසිණ. ඒ, ජූනි 22 දින ද සහල් මෙට්‍රික් ටොන් 100, 000 ක් ගෙන්වීමට ලැබුණු කැබිනට් අනුමැතියක් ද තිබියදීය. ඒ අනුමැතියෙන්වත් සහල් මිල පාලනය වූයේ නැත.   ඩඩ්ලි සිරිසේන සහල් මිල සහ වී මිල නියම කළේ සැප්තැම්බර් 28 දාය. එයට පිළිතුරු ලෙස වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන කීවේ , සති දෙකකින් සතොස මගින් රුපියල් 100/- ට අඩුවෙන් සහල් සපයන බව වුව ඔහුගේ එම ප්‍රකාශයට මේවන විට දින 15කට ආසන්න කාලයක් ගතවී ඇතත් රුපියල් 100/- ට අඩුවෙන් සතොසෙන් සහල් දෙන බවක් දැනගන්නට නැත. ගැටලුව එයම නොවේ; සති දෙකකින්  රුපියල් 100/-ට අඩුවෙන් සහල් දෙන බව තමා කීබව වෙළෙඳ ඇමැතිවරයාටත් අමතකව තිබීමය.

ඩඩ්ලි සිරිසේන සහල් මිල සහ වී මිල නියම කළේ සැප්තැම්බර් 28 දාය. එයට පිළිතුරු ලෙස වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන කීවේ , සති දෙකකින් සතොස මගින් රුපියල් 100/- ට අඩුවෙන් සහල් සපයන බව වුව ඔහුගේ එම ප්‍රකාශයට මේවන විට දින 15කට ආසන්න කාලයක් ගතවී ඇතත් රුපියල් 100/- ට අඩුවෙන් සතොසෙන් සහල් දෙන බවක් දැනගන්නට නැත. ගැටලුව එයම නොවේ; සති දෙකකින්  රුපියල් 100/-ට අඩුවෙන් සහල් දෙන බව තමා කීබව වෙළෙඳ ඇමැතිවරයාටත් අමතකව තිබීමය.

දින කිහිපයකට පෙර  පාන් පිටි මිල රුපියල් දහයකින් නැග්ගේය. ඒ අනුව පාන් රාත්තල රුපියල් පහකින් ඉහළ යනු ඇත. අගෝස්තු මාසයේ ද පාන් මිල රුපියල් 5/- කින් සහ අනෙක් බේකරි නිෂ්පාදන රුපියල් 10/- බැගින් ද කේක් කිලෝවක මිල රුපියල් 100/- කින් ද ඉහළ නැඟුණි. ඒ අනුව මාස මාස දෙකක්  තුළ දෙවතාවකදී පාන් මිල රුපියල් 10/-කින් ඉහළ ගොස් තිබේ.

ගෑස් මිල ද ඉහළ නැග්ගේය. ඒ සුළු මුදලකින් නොව පෙර පැවති මිලට සාපේක්ෂව 100% ආසන්න මුදලකිනි. කිලෝ 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,675/- කි. කිලෝ 5 සිලින්ඩරය රුපියල් 1071/- කි. ලාෆ් කිලෝ 12.5 සිලින්ඩරය රුපියල් 2840/-ක් වන අතර ලාෆ් කිලෝ 5 සිලින්ඩරය රුපියල් 1,136/-කි.  ලාෆ් ගෑස් මිල ද මාස දෙකක් තුළ  දෙවතාවක් ඉහළ ගොස් තිබේ. අගෝස්තු මාසයේදී ලාෆ් සමාගම කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1856/- දක්වා සහ කිලෝ 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 734/- දක්වා ඉහළ නංවා තිබුණු බැවිනි. ගෑස් ප්‍රශ්නයටද ආණ්ඩුව විවිධාකාර පිළිතුරු යෝජනා කළ බව ආණ්ඩුවට කෙසේ වෙතත් පාරිභෝගික ජනතාවට අමතක වන්නට හේතුවක් නැත. ගෑස් මිල පාලනයට අලුත් ගෑස් සමාගමක් ආරම්භ කරන බව එවැනි ප්‍රකාශයකි.

පසුගිය කාලයේ තද බල කිරිපිටි හිගයක් ද වෙළෙඳ පොළෙහි පැවතිණ. හිගයට හේතුව වශයෙන් සඳහන් කෙරුණේ ආනයනය කළ කිරිපිටි නිදහස් කර ගන්නට ඩොලර් නොමැති වීමය. ආණ්ඩුව  ඩොලර් ඩොලර් නිකුත් කළ නමුත් දැන් කිරිපිටි ලැබෙන්නේ වැඩි මිලටය. කිරිපිටි කිලෝවක වර්තමාන මිල රුපියල් 1195 /- කි. එනම් පැවැති මිලට වඩා රුපියල් 250/- ක වැඩිවීමකි. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 480/-කි . වැඩිවීම රුපියල් 100/-කි.කිරිපිටි මිල ඉහළ නැංවීම සාධාරණීකරණය කරන්නට වෙළෙඳ ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ වගකිවයුත්තෝ විවිධ හේතු කීහ. නැව් ගාස්තු ඉහළ යාම, ඩොලරයේ අගය ඉහළ යාම, කිරිපිටි නිපදවන රටවල කාලගුණය ආදිය ඒ අතර විය. අලුත්ම ආරංචිය ⁣ආනයනික කිරිපිටි පමණක් නොව දේශීය කිරිපිටි මිලද ඉහළ යාමට නියමිත බවයි. ආනයනික කිරිපිටි මිල ඉහළ නැගුණේ ; නැව් ගාස්තු ,ඩොලරය , කිරිපිටි නිපදවන රටවල කාලගුණය ආදි හේතු නිසානම්, දේශීය කිරිපිටි මිල ඉහළ යන්නේ කවර හේතුවක් නිසාද යන්න මෙතෙක් පැහැදිලි කෙරී නැත. එක් කරුණක් කියන්නට පුළුවන එනම් , දේශීය කිරිපිටි මිල ඉහළ නැංවීම සාධාරණීකරණය කරන්නටත් වෙළෙඳ ඇමැති ඇතුළු පිරිස කුමක්⁣ හෝ හේතුවක් සොයා ගන්නා බවය.

ගෑස් , පාන් පිටි , කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන්, බත් පැකට්ටුව රුපියල්  සහ කිරිතේ කෝප්පය රුපියල් 10/- බැගින් ඉහළ නංවන බව කියනු ලැබේ. ගැටලුව එතැනින් අවසන් වන්නේ නැත. ප්‍රයිඩ් රයිස්, කොත්තු ,ඇතුළු අනෙකුත් ආහාර මිලත් ඉහළ යාමට නියමිත බැවිනි.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පවසන ආකාරයට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14.56ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 31.46ක් සංස්ථාව පාඩු ලබමින් සිටී. අගෝස්තු මාසය වන විට සංස්ථාවේ පාඩුව රුපියල් බිලියන 70ක් බවද කියැවේ. ආණ්ඩුවේ සහය නොලැබෙන්නේනම් මිල ඉහළ දැමීම හැර විකල්පයක් නැතැයි ඇමැති ගම්මන්පිල කියයි.

පසුගිය කාලය පුරා ලැබුණු අද්දැකීම් අනුව ඛනිජ තෙල් ප්‍රශ්නයේදී ඇමැති ගම්මන්පිලට ආණ්ඩුවේ සහය පමාවී හෝ ලැබෙන බවට සැකයක් නැත.ගැටලුව ආණ්ඩුවේ  සහය ලැබෙන්නේ ඛනිජ තෙල් මිල ස්ථාවරව තබා ගන්න⁣ට හෝ මිල පහළ හෙළීමට හෝ නොව මිල ඉහළ නැංවීමට වීමය. සහල් , ගෑස් , කිරිපිටි , සීනි, පරිප්පු ආදි සියලු දේ සඳහා අනුගමනය කළ ආණ්ඩුවේ පිළිවෙත ඛනිජ තෙල්වලට පමණක් වෙනස් වන්නට හේතුවක් නැත. තෙල් මිල ඉහළ යාමෙන් ජනතාව ගලවා ගන්නට ඉදිරිපත් නොවන නමුත් තෙල් මිල සම්බන්ධයෙන් ⁣විශ්වාස භංගයක් ඉදිරිපත් වුවහොත් එයින් ඇමැතිවරයා සහ ආණ්ඩුව බේරා ගන්නට නම් ආණ්ඩුවේ සියල්ලන්ම ඉදිරිපත් වනු ඇත.

කනගාටුවට කරුණ යහපාලන සමයේ තෙල් මිල සූත්‍රයට පස් පඩංගුවේ බැණ වැදුණු  පිරිසටම තෙල් මිල ඉහළ නැංවීමේදී ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල මතක් කරන්නට සිදුව තිබීමය. අනෙක එකී ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් ම්ල පහළ බසින විට එහි වාසිය ජනතාවට නොඳුන් ආණ්ඩුවම , ලෝක වෙළඳ පොළෙහි ඛනිජ තෙල් මිල ඉහළ යනවිට එහි බර ජනතාව මත පටවන්නට නොමසුරුව ඉදිරිපත් වීමය.ඛනිජ තෙල් මිල ඉහළ යාම යනු තවත් වටයකින් ජීවන වියදම ඉහළ යාමය. ජනතාවගේ බඩගින්න ගැන කතන්දර කියා බලයට පත්වූ ආණ්ඩුවම ජනතාවගේ බඩට ගසන්නේ නම් කළ යුත්තේ කුමක්දැයි කල්පනා කිරීම ජනතාවට බාරය.

කනගාටුවට කරුණ යහපාලන සමයේ තෙල් මිල සූත්‍රයට පස් පඩංගුවේ බැණ වැදුණු  පිරිසටම තෙල් මිල ඉහළ නැංවීමේදී ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල මතක් කරන්නට සිදුව තිබීමය. අනෙක එකී ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් ම්ල පහළ බසින විට එහි වාසිය ජනතාවට නොඳුන් ආණ්ඩුවම , ලෝක වෙළඳ පොළෙහි ඛනිජ තෙල් මිල ඉහළ යනවිට එහි බර ජනතාව මත පටවන්නට නොමසුරුව ඉදිරිපත් වීමය.ඛනිජ තෙල් මිල ඉහළ යාම යනු තවත් වටයකින් ජීවන වියදම ඉහළ යාමය. ජනතාවගේ බඩගින්න ගැන කතන්දර කියා බලයට පත්වූ ආණ්ඩුවම ජනතාවගේ බඩට ගසන්නේ නම් කළ යුත්තේ කුමක්දැයි කල්පනා කිරීම ජනතාවට බාරය.

    අනුර සූරියබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *