ආණ්ඩුව කන් කෙටියෙන් අල්ලා අර්ජුන් මහේන්ද්‍රන් ගෙනෙන තෙක් ඔහු නොමැතිව බැඳුම්කර නඩුව අහන්නයි ඉල්ලයි

 

බලයට පැමිණි වහාම හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කන් කෙටියෙන් අල්ලා මෙරටට රැගෙන එන බව වත්මන් ආණ්ඩුව බලයට එන්නට පෙර ප්‍රකාශ කළ ද එවැන්නක් සිදු නොවූ තත්ත්වය තුළ නීතිපතිවරයා අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනීමට කටයුතු කරන ලෙසයි.

නීතිපතිවරයා අද කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත්  කළේ 2015 වසරේ පෙබරවාරි මස මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර  සිද්ධියට අදාළ නඩුවේ මේ වන විට විදේශ ගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස ය.

මෙම නඩුව අද චම්පා චානක රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බළල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය සමඟ උදර්පණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් එය සක්‍රීයව පවතින බවත් සඳහන් කළේය.

එම උදර්පණ ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා කාලය ගත වන හෙයින් විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සඳහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.

එමෙන්ම මෙම නඩුවේ 10 වැනි විත්තිකරු වශයෙන් නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තා මේ වන විට මැලේසියාවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති බවත් උදර්පණ නීතිය යටතේ ඔහු මෙරටට ගෙන්වා ගැනීම ප්‍රායෝගිකව අපහසු බවට කරුණු අනාවරණය වී ඇති හෙයින් එම විත්තිකරු නොමැතිව නඩුව පවත්වාගෙන යාම සදහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බවයි අතිරේක සොලිස්ටර් ජෙනරාල් නාවාන මහතා දැනුම් දුන්නේය.

ඒ අනුව නඩුව නැවත දෙසැම්බර් මස 03 වැනිදා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට අවශ්‍ය සාක්ෂි මෙහෙවීමට පියවර ගන්නා ලෙස පැමිණිල්ලට නියෝග කළේය.

එමෙන්ම අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කරනු ලැබූ ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ උදර්පණ ක්‍රියාවලියේ ප්‍රගතියක් තිබේ නම් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණය දැනුවත් කරන ලෙසත් නියෝග කළේය.

2015 වසරේ පෙබරවාරි මස 27වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන භූ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස් ජෙෆ්රි ඇලෝසියස් එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පොලිසිය ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ නඩුව ගොණුකර තිබිණ.

එසේ වුව ද මේ දක්වා එම නඩු විභාගය ආරම්භ වී නැත.

මහා බැංකුවේ විශාල වංචාවක් සිදු වී ඇති බවටත්, එයට වග කිව යුතු මහබැංකුවේ හිටපු අධිපති මෙරටට වහ ම ගෙන්වා ගැනීමට තමන් ක්රියකටන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ වීදිකාවල බෙරිහන් දුන්හ.

කෙසේ වෙතත්, අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව නඩු පැවරීම දක්වා සියලු කටයුතු සිදුවුයේ පසුගිය රජය සමයේ බවත්, මේ රජය බලයට පත් වූ පසුව අලුතින් කිසිවක් කර නැති බවත්, අධිකරණ සේවයේ ආරංචි මාර්ග කියයි. එම ආරංචි මාර්ග කියන්නේ මැතිවරණයේ දී කුමක් කීවත්, ආණ්ඩු පක්ෂයේ උදවිය සත්‍ය නීතිමය තත්ත්වය දැන සිටීම ඔවුන්ගේ මෙම හැසිරීමට හේතු වී ඇති බවයි.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *