මහින්ද රාජපක්ෂ නැගිට්ටා නොව නැගිට්ටෙව්වා -ගාමිණි වියන්ගොඩ (1වෙනි කොටස)

ජනවාරි 8ට පෙර ගොණු වූ සියලුම ඉල්ලිම් තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය පුළුල් කරගැනීම ය. එදා මහින්ද රාජපක්ෂගේ පාලනය ගැන විපක්ෂයෙන් තිබුණු විශාලම විවේචනය තමයි ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම පිළිබඳ ප්‍රශ්නය. එහි දී මහින්ද රාජපක්ෂගේ අධිකාරිවාදි පාලන ක්‍රමය, එයාගේ පවුල්වාදය සහ ඊට සම්බන්ධ නිදහස හා ප්‍රකාශනයේ අයිතිය වැනි දෙවල් නැතිවීම. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථාකළ අයගේ ආරක්ෂාව, මාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව, මේ වගේ දේ ගැන තමයි මූලික වශයෙන් එදා කථා කළේ.
අනික් පැත්තෙන් දුෂණය. ඒ දුෂණය ගැන කාරණය එන්නේ ආර්ථික ව්‍යපෘතින් සම්බන්ධයෙනි. එදා ක්‍රියාත්මක වූ මහා පරිමාණ ආර්ථික ව්‍යාපෘති කොපමණ දුරට මේ රටට වැදගත් ද, අදාල ද, ඒවා සඳහා මේ තරම් ණයවීම කොපමණ දුරට යුක්ති සහගත කරන්නට පුළුවන්ද යන්න ඊ ළග කාරණය වේ. මේ මූලික කාරණා දෙක තමයි ජනවාරි 8ට ප්‍රථම ඉදිරියට පැමිණියේ. අනික් පැත්තෙන් රටේ ආර්ථිකය තුළ ගොඩනැගෙමින් තිබුණු මහා පරිමාණ දූෂණ ජාලය නතර කරගැනීම ඒ අතර විය. ආර්ථික සංවර්ධනය ගැනවත්. ජනතාවට සහන සළසනවා කියන කථාවත් බරපතල ආකාරයට මේකේ තිබුණේ නැත.
ජනවාරි 8 වෙනස ඇතිකර ගත්තාට පසු මිනිසුන් බලාපාරොත්තු වූයේ පෙරකී කාරණා දෙක ගැන පමණි. ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය පුළුල් කරගැනීම කියන එකේ දී මහින්ද රාජක්ෂගේ පාලන කාලය තුළ ඇති වූ අක්‍රමිකතා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරනවා කියූ එක එකිනෙකට බැඳුණු කාරණා දෙකකි. මේ දෙක වෙන්වෙන් වශයෙන් ගන්නට පුළුවන් කමක් නැත. ආණ්ඩුව ජනවාරි 8 සිට ඒ ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය පුළුල් කරගැනීමේ පියවර ගෙන තිබේ. ඒවා ඉතාමත් ප්‍රසංශණිය වේ. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහනය කළා නම් කිසි දවසක එය අත්පත් කරගන්නට අපිට ලැබෙන්නේ නැත. ඒ නිසා මේ ආණ්ඩුව පිලිබඳ සාධනීය හැගීමක් ඒ සම්බන්ධයෙන් ඇතිකර ගත හැක.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගතහොත් ඒක මේ රටේ කිසි පාලකයෙකුගෙන් බලාපොරොත්තු විය හැකිව තිබූ දෙයක් නොවේ. මෙයට කළින් සිටි කිසි පාලකයෙකු ජනාධිපති ක්‍රමය කියන එකට අත තිබ්බේ නැත. අත තිබ්බා නම් අත තිබ්බේ තව මර්ධනකාරි ක්‍රමයක් බවට එය පත්කිරීමට ය. උදාහරණයක් ලෙස 18වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගතහැක. ඒ නිසා මේ ආණ්ඩුව 19 සංශෝධනය ගෙනා එක ඉතාමත් වැදගත් පියවරකි. ඒ යටතේ එන ව්‍යවස්ථා සභාව වැනි දේවල් පත්කළේ ය. ව්‍යවස්ථා සභාව යටතේ ම ස්වාධින කොමිසන් සභා පත් කළේ ය. අද ඒවා අඩු වැඩි වශයෙන් සීමාවන් සහිතව හෝ ක්‍රියාත්මක වෙමින් පවති. ඒ අතරේ ම මහින්ද රාජපක්ෂගේ කාලයේ ක්‍රියාත්මක වූ ප්‍රධානම ප්‍රශ්නයක් වූ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මේ ආණ්ඩුව යටතේ මුළුමනින්ම අද ලැබී තිබේ. අද ඕනෑම කෙනෙකුට මේ ආණ්ඩුව විවේචනය කරන්නට පුළුවන. නායකයින්ව ප්‍රශ්න කළහැක. අදහස් නිදහසේ ප්‍රකාශ කරන්නට පුළුවන. ඒක කොපමණ ද කියනවා නම් එදා සම්පූර්ණයෙන්ම කටවල් වහගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරු අද පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට වැඩිය හයියෙන් කෑකෝ ගසති. පාර්ලිමේන්තුවේ බලහත්කාරයෙන් වාඩිලා ගනිති. පාර්ලිමේන්තුවේ දි ගුටිබැට හුවමාරු කරගනිති. පාරවල් වල විශාල රැස්වීම් පවත්වමින් අදහස් ප්‍රකාශ කරති. සුදුවෑන් පැමිණ ඒ අයව උස්සන් යයි කියා කිසි බයක් කාටවත් අද නැත. ඒ නිදහස දැන් අද ලැබී තිබේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම අපිට හඳුණාගන්නට තිබෙන ආකාර ය.
හැබැයි ඔය අවකාශය අර්ථවත් වෙන්නට නම්, ඒ තත්ත්වය අතීතයේ දි අහිමි කරන්නට පාදක වූ දෙවල් පිලිබඳ අපි ආ පසු හැරී බැලීමක් කළයුතු ම ය. එහෙම නැත්නම් මේවා සාර්ථක වෙන්නේ නැත. එහි දී මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ සිදු වූ අක්‍රමිකතා, රටේ සම්පත් අවභාවිතා කිරීම පිළිබඳ චෝදනාව, විරුද්ධ මත දැරූ අය සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය ගැන අනාගතයට පූර්වාදර්ශයක් වර්තමානයේ දි සැපයිය යුතුය කියන අපේක්ෂාව යහපාලන ආණ්ඩුව පත්කිරීිමේ දි ජනතාව තුළ තිබුණු දෙයකි. මහින්ද රාජපක්ෂගේ පාලනය අවසාන වෙනවිට ආර්ථික වශයෙන් මහ විශාල අර්බුදයක් රටේ තිබුණේ නැත. ඒ අර්බුදය එතකොට පටන්ගෙන තිබුණේ නැත. එහෙම තියෙද්දින් තමයි මිනිසුන් මේ වෙනස කළේ. ඒ වෙනස් කළේ මිනිසුන් ඒ ක්‍රමය අනුමත නොකළ නිසාවෙනි.
ඒ මිනිසුන් ප්‍රතික්ෂේප කළ ක්‍රමය වර්තමාන පාලකයිනුත් ප්‍රතික්ෂේප කරන බව පෙන්විය යුත්තේ ඒවාට අදාළ ක්‍රියාමාර්ග ගැනීමෙනි. මක් නිසා ද යත් ඒ ක්‍රියාමාර්ග ජනතාවට ගන්නට නොහැක. ජනතාව ඡන්දය දීලා ක්‍රියාමාර්ග ගතහැකි අයව බලයට පත්කිරීමයි කළේ. එහෙනම් මේ අයගේ ප්‍රධාන කර්තව්‍ය විය යුත්තේ ඒවාට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීම ය. ඒක මේ ස්වාධින කොමිසන් සභා පත්කළ නිසා මීට පසු ඒක වෙන්නෙ නෑ කියූ පමණින් හරියන්නේ නැත. මක්නිසා ද යත් රටක ඇති වී තිබෙන නාය යෑම සාමාන්‍ය මට්ටමේ එකක් නම් අපිට අතීතය අමතකකර අද සිට වැඩ පටන් ගැනීමට පුලවන. නමුත් ඒක බරපතල ඓතිහාසික කාල පරිච්ඡේදයක් නම්, සමාජ විඤ්ඤාණය තුළ එහි සලකුණු සටහන් තිබෙන්නේ නම් අපි අර අතීතය ගැන සොයා බැලිය යුතු ය. ඒ තුළ පමණයි හෙට දවසේ දි මේ පාලකයින් එවැනි දෙයක් නොකරයි යනුවෙන් මිනිසුන් තුළ විශ්වාසයක් ජනනය කරන්නට හැකි වන්නේ. නැත්නම් කිසිම සහතිකයක් නෑ මේ පාලකයිනුත් අර පාලකයින් වගේ නොකරයි යන්න. විශේෂයෙන්ම අර්බුදයක් පැමිණි පසු මේ පාලකයිනුත් එසේ නොකරන බවට විශ්වාසයක් ඇතිකළ හැක්කේ ඒ මගින් පමණි. හැම පාලකයෙක් ම ඒකාධිපතිවාදයට යන්නෙ අර්බුදයන් මුල්කරගෙන ය. ඒකාධිපතින් බිහිවෙන්නේ අර්බුධ සහිත සමාජ පරිසරයක් තුළ මිසක් ඒකාධිපතිත්වයට ගමන් ගැනිම සාමකාමි තත්තවයක් තුළ ඉතාමත් විරළ ය. මේ පාලකයින් සම්බන්ධයෙන් ද අපිට තීරණයක් ගන්නට වෙන්නේ අර්බුදයක් පැමිණි විට දී ය. එසේ නොකරන බවට මේ පාලකයින් අර අතීතයේ ඒ වැරදි කළ අය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බව පෙන්වා පුර්වාදර්ශයක් සැපයිය යුතු වේ. එවිට මේ පාලකයින් එවැන්නක් නොකරන බවට විශ්වාසයක් ඇති කරගත හැකිවනු ඇත. ඒ අයට දඩුවම් නොකළහොත් මේ අයත් පෙරකළ විවේචන සියල්ලම හුදෙක් බලයට පත්විම සඳහා කළ දේවල් මිස ඒවා නිවැරදි කරගැනීමේ උවමනාවකින් කළ පිරිසක් නොවෙයි යන්න සිතනු ඇත.
මේ කාරණයේ දී මේ ආණ්ඩුව මුළුමනින්ම අසමත් ආණ්ඩුවකි. අද වෙනතුරු කිසිම කෙනෙකුව සක්‍රීය ආකාරයකින්, පිලිගත හැකි ආකාරයකින්, විශ්වාසයක් ඇතිකළ හැකි ආකාරයකින් නීතිය ඉදිරියටගෙන කටයුතුකර නැත. සමහර අය අත්අඩංගුවට ගත් බව ඇත්ත ය. ඒක දැන් පෙනෙනවා මූනිච්චාවට කළ දෙයක් ලෙස ට. දැන් බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ගත්තේ ය. ටික දිනක් අත් අඩංගුවේ පසු වූ ඔහු ඇප පිට නිදහස් වි නඩුව මාස 6න් 6ට කල් යමින් පවති. ඒ නඩුව තව වසර 5ක් 10ක් විතර ඉදිරියට යන්නට පුළුවන. සජින් වාස් ගුණවර්ධන හා යෝෂිත රාජපක්ෂට අදාල නඩු ද ඒ ආකාර ය. මේ සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ඉතාමත්ම ඕලාරික ආකාරයට තමයි කටයුතු කරන්නේ.
ඒකට හේතු තිබේ. ජාතික ආණ්ඩව කියන එක මේකට මූලිකම හේතුව ය. ජාතික ආණ්ඩුවක හොඳ පැත්තක් මෙන්ම නරක පැත්තක් ද තිබේ. හොඳ පැත්ත තමයි කුළල් කා නොගෙන රට ඉදිරියට ගෙනයෑම සඳහා ප්‍රධාන පාර්ශව දෙකම එකට වැඩ කිරිම, නරක පැත්ත තමයි, අපි මේ දෙපාර්ශවය කියන එකෙන් එක පාර්ශවයක් තමයි චූදිතයින් බවට පත්වී තිබෙන්නේ. අපි අර කියූ ඓතිහාසික කාලපරිච්චේදය තුළ දී ජාතික ආණ්ඩුවට එන්නේ ඒ චුදිතයින් ය. ඒ අය වෙන් කරලා ඒ පක්ෂයේ ඉතිරි අයව ජාතික ආණ්ඩුවට ගැණිමක් කර නැත. එතකොට මේ දෙක අතර ගැටුමක් ඇතිවීම අනිවාර්ය වේ. කොහොම ද අපි ඒක විභාගකර බලන්නනේ අතීතයට සම්බන්ධ චුදිතයින් ආණ්ඩුවේ පාර්ශවකරුන් ව සිටින තත්ත්වයක් තුළ. ඒක තමයි අද තිබෙන මේ හිරවී ම. ඒක දේශපාලනඥයින්ගේ පැත්තෙන් හරි එකක් වෙන්ට පුළුවන. ආණ්ඩුව පවත්වාගෙන යෑමට ඒක කළ බව ඔවුනට කියන්නට පුළුවන.
එහෙම නම් මහින්ද රාජපක්ෂටත් කියන්නට පුලුවන්, එයත් ඉස්සර ඒ දේවල් කළේ ඒ ආකාරයටම ආණ්ඩුව පවත්වාගෙන යැමට බව. ගාල්ලේ මුතුහෙට්ටිගමට ඒ තරම් සහන දුන්නේ ඒ අය මිනිස්සු ගේන නිසා හා මර්වින් සිල්වාට ඒ තරම්තැන දුන්නේ මිනිසුන් ගෙන නිසා කියලා රාජපක්ෂට ද කියන්නට පුළුවන. ඒකම තමයි මේ ආණ්ඩුවටත් දැන් කියන්නට තිබෙන්නේ. එහෙනම් මහින්ද රාජපක්ෂගේ හා මේ ආණ්ඩුව අතර ඇති වෙනස කුමක ද යන්න ඊ ළගට මතුවන ප්‍රශ්නය වේ. මේ වගේ තත්ත්වයක තමයි අපි අද ඉන්නේ. මේ ආණ්ඩුව කළ හොඳවැඩ ටික වූවත් නිතිපතා යාවත්කාලීන කලයුතු ය. නිතිපතා යාවත්කාලින කරන්නට පුළුවන් කමක් නෑ මේ වගේ තත්ත්වයක් තුළ. ඒ නිසා මම හිතන ආකාරයට මේ ආණ්ඩුව මෙතනින් එහාට ඉදිරියට යන්නට පුළුවන් වෙන්නේ, මූලික වශයෙන් කාරණා දෙකක් එකට සිදු කරගැනිමෙනි.
එකක් තමයි ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ යුතු ය. ඒකට ආර්ථික වැඩ පිළිවෙලක් ආණ්ඩුවට තිබිය යුතු ය. අනික් පැත්තෙන් අර කියූ දූෂිත ඉතිහාසය වේදිකාවට ගන්නට අවශ්‍ය ය. අරගෙන ආණ්ඩුකරණයේ අවභාවිත කරන කිසි අයෙකුට කිසිම සමාවක් නෑ කියන එක ගැන ජනතාවට පූර්වාදර්ශයක් දිය යුතු ය. මේ දෙක එකවිට සිද්ධ වියයුතුව තිබේ. ඒ දෙකෙන් එකක් වූවා කියා වැඩක් වෙන්නේ නැත.
ඒ දෙවැනි කාරණය සම්බන්ධයෙන් වන පමාව පිටුපස දේශපාලනයක් තිබේ. එය යහපාලනයට බලපාන කරුණකි. ආර්ථික වශයෙන් ගොඩඒමේ වැඩ සැලැස්මත්. පුද්ගලයින් වශයෙන් පමණක් නොව මේ පුද්ගලයින් මතයි ඒ ආර්ථික වැඩපිළිවෙලෙත් තිබෙන්නේ. මේ චින්තනය වෙන එකක් නොව තම පක්ෂයට ඔලුගෙඩි ගණන වැඩිකර ගැනීම මේ දෙශපාලන චින්තනය වේ. වැඩිම පිරිසක් පක්ෂයට ගන්නට පුළුවන් වෙන්නේ කොයි ආකාරයට ද යන්න හා ඒක සංවිධානය කළහැක්කේ කාට ද යන්න ඔවුන්ට වැදගත් වේ. ඒ අයට පහල සිටින අය සංවිධනය කරන්නට භාරදෙන්නේ ඔවුන්ට ය.
දැන් ආර්ථික ප්‍රශ්නයට ගියාම, මේ අර්බුධයෙන් ගොඩඑන්නට ඉතාමත් තිත්ත කසායක් බොන්න තමයි අපිට වෙලා තිබෙන්නේ. හැබැයි තිත්ත කසාය දෙන්නට කැමති නෑ අර කියන දේශපාලන චින්තනය නිසා. ඊ ළගට මිනිසුන් විරුද්ධ වන බව සිතා ඒක ඉවත්කර ගනිති. පදනම් සහිත විරෝධයක් ද නැත්ද යන්න වග ආණ්ඩුව සළකන්නේ නැත. මේ අය සැලකිල්ලයට ගන්නේ මේ විරෝධය නිසා ඡන්ද පදනමට හානිවේය යන බිය පමණි. ඒ නිසා ආර්ථික අර්බුදයෙන් ගැලවීමට වූවත් අර පසුගාමි චින්තනය බාධකයක් වෙන්නට පුළුවන. අයවැය ඉදිරිපත් කිරීමේ දි හා ඊට පසු ඒවා ඉල්ලා අස්කර ගැනීමේ දී අපි ඒක දුටුවෙමු. නායකයින් අපිට අවශ්‍ය කරන්නේ ජනතාවට පිටි පස්සෙන් යන්නට නොව නායකත්වය දෙන්නට ය. වෙනත් ආකාරයට කියන්නේ නම් තමන් එතනට ගිහින් ජනතාව එතනය ගතයුතු ය. ජනතාව කියන්නේ වෘත්තිය සමිති වශයෙන් වෙන්නට පුළුවන. පක්ෂ වශයෙන් වෙන්නට පුළුවන. ගොවියෝ වශයෙන් වෙන්ට පුළුවන. කම්කරුවන් වශයෙන් වෙන්නට පුළුවන. දැන් කරන්නේ න්‍යාය පත්‍රය ඒ අයට දි නායකයින් ඒක පස්සේ යන එක ය.
පඩි වැඩි කිරීම උදාහරණයකට ගතහැක. රුපියල් 10000කින් පඩි වැඩි කළා. එක පැත්තකින් කියනවා අපි ණය උගුලක වැටි සිටින බව. ණය උගුලක වැටිලා ඉන්නවා කියලා රු 10000කින් පඩිය වැඩිකරනවා. මේවා ඡන්ද ගුණ්ඩු හැර වෙන යමක් නොවේ. ඒක කරන්නට වී තිබෙන්නේ පාලකයින් ද ඒ ආකාරයට ම තමන්ගේ ගොඩ ගැන සැලකිල්මත් වනබව මිනිසුන් දන්න නිසාය. මුං කොහොමද මෙසිඩිස් බෙන්ස් ගෙනෙන්නේ. බි එම් බඩලිව් ගෙන්නන්නේ. මුං කොහොම ද කාර් බලපත්‍රය ලක්ෂ 100ට 200ට විකුණා ගන්නේ. මුං කොහොමද වසර 5කින් පැන්ෂන් එක ගන්නේ. වෙන අය වසර 35ක් 40ක් වැඩකර ගන්න පෙන්ෂන් එක මුං කොහොම ද වසර 5න් ගන්නේ. සියලු දේ වැඩිකරගන්නා ආකාරය මිනිසුන්ට පෙනෙන්නට තිබේ. එසේ පෙනෙන නිසා තමයි අර 10000ක් දෙන්නට වෙන්නේ. නැත්නම් මිනිස්සුන්ට කියන්නට පුළුවන් සමාවෙන්න ටිකක් ඉවසන්න කියලා. අපි මේ අර්බුදයක ඉන්නේ. මෙකෙන් අපිට ගොඩඑන්නට බෑ ඔයගොල්ලන්ට 10000ක් දීලා. ඒ නිසා වසර 2ක් ඉවසන්න. බඩු මිල පොඞ්ඩක් වැඩිවෙනවා තමයි. වැට් බද්ද ගෙනෙන්නට සිදුධ වෙනවා. එසේ නැත්නම් මේ ණය ගෙවන්නට නොහැකිය කියලා මිනිසුන්ට පැහැදිළිකර දෙන්නට පුළුවන. දැන් එහෙම කරන්නට නොහැක. මක්නිසා ද යත් ඊට වැඩිය සුඛෝපභෝගි පැවැත්මක් තමයි මේ මඩවල ඉහගෙන කණ පිරිසක් වගේ කරන්නේ. එතකොට කරන්නට වෙන්නේ මිනිස්සුන්ටත් රුපියල් 10000ක් දීලා උන් ගන්නවා දශ ලක්ෂයක්. මේ ආකාරයේ ප්‍රවනතාවයක් තමයි දැන් පෙනෙන්නට තිබෙන්නේ. මේකෙන් අපිට කවදාකවත් රට ගොඩගන්නට නොහැක. තව වසර 4ක් 5ක් මේ ආණ්ඩුවට ගැටගහගෙන යන්නට පුළුවන. එකේ වන එකම ප්‍රතිඵලය වන්නේ මහින්ද රාජපක්ෂ නියෝජනය කරන කණ්ඩායම දිනෙන් දින ශක්තිමත් විම ය. ඒ අය නුගේගොඩින් පටන්ගෙන රට පුරා රැස්විම් පවත්වා, මැයි දිනය වෙනවිට විශාල බලවේගයක් බවට මහින්ද රාජපක්ෂව පත්කර ඇත. මේ වසර එකහමාරකට පෙර ගෙදර යවපු මිනිහා කොහොමද මෙච්චර ඉක්මනට නැගිට්ටේ. මම කියන්නේ නැගිට්ටා නොව ආණ්ඩුව ඔහුව නැගිට්ටෙව්වේ ය. ඒකට ජනාධිපති සහ අගමැති යන දෙදෙනාම වගකිව යුතු ය. මේ දෙන්නාම එකතු වෙලා තමයි මහින්දව නැගිට්ටෙව්වේ. දැන් මහින්ද නැගිටලා දුවයි. මේක තමයි අද අපි මුහුණ දී ඇති ඉරණම.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *