ගුරු විදුහල්පති ගැටලුව විසඳන්න අභයාරාමයෙන් සම්මුතියක් !

දැනට මාස ගණනාවක් තිස්සේ දිග්ගැසෙමින් පවතින ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩුව සහ වෘත්තීය සමිති අතර සම්මුතියක් ඇතිකර ගැනීමට  මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දැරෙන උත්සාහය සාර්ථක වන ලකුණු පහළ වී ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. නාරාහේන්පිට අභයාරාමයේ දී දේශපාලන පක්ෂ අතර පසුගිය දා පැවතී සාකච්ඡාවෙන් පසුව මෙම උත්සාහය දැරෙමින් පවතියි.

එම උත්සාහයේ පියවරක් ලෙස ගුරු විදුහල්පති වෘත්තීය සමිති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් හෙට පැවැත්වීමට නියමිත ය. ජනාධිපතිතුමාගේ ද අනුදැනුම ඇතිව පැවැත්වෙන බව කියන මෙම සාකච්ඡාවෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

ගුරු සටනට සහය දෙන පක්ෂ කණ්ඩායම් පසුගිය දා අභයාරාමයට රැස වී මෙම ප්‍රශ්නය ගැන ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළ හ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කතානායක කරු ජයසුරිය සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ආදී ප්‍රබල දේශපාලන නායකයින් එම සාකච්ඡාවට සහභාගී වී සිටීම විශේෂත්වයක් වී ය.

මේ අතර මව්පිය නියෝජිත පිරිසක් මුරුත්තෙට්ටුවේ හිමියන් හමු වී අද ඉල්ලීමක් කළේ ගුරු සටන අවසන් කරන්නට වෘත්තීය සමිතිවල එකඟත්වය ලබාගන්නා ලෙසයි.

ප්‍රශ්නය විසඳීමට රජයට බල කිරීමට තමන් වහන්සේ මැදිහත් වී ක්‍රියා කරමින් සිටින බවත්, එමෙන් ම ළමයින් ගැන සිතා පාසල් ආරම්භ කරන විට සේවයට පැමිණෙන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බවත්, මුරුත්තෙට්ටුවේ හිමියෝ එහි දී ප්‍රකාශ කළ හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *