හාල් ගැරීම සහ හාල්වලින් ගැරීම – ධනනාත් ප්‍රනාන්දු

මං ඉස්කෝලේ යන කාලේ ගියපු විද්‍යා පන්තියේ පුංචි තුණ්ඩු කෑල්ලක ප්‍රශ්න ලියලා සර්ට යවන්න පුළුවන්. මේ ප්‍රශ්න කියවන්නෙ ඉස්සරහම පේලියේ හිටපු ළමයෙක්. එක දවසක් ප්‍රශ්නෙ කියවපු ගමන් මුළු පන්තියටම බකස් ගාලා හිනා ගියා. ප්‍රශ්නෙ තමයි ‘ආච්චිට හාල් ගරන්නේ කෙසේද?’

අපි පුංචි කාලේ හාල් කඩෙන් ගෙනාවාට පස්සේ, කුල්ලෙන් පොළලා වී ඇට, දහයියා අයින් කරලා, නෑඹිලියක දාලා කළු ඇට අයින් කරලා ආයෙත් පාරක් හාල් සුද්ද කරලා, ගල් කැට, වැලි කැට අයින් කරලා (ගරලා) තමයි උයන්න ගන්නේ.

පස්සේ කාලේ හාල් මෝල් දියුණු වෙනවත් එක්කම හාල් පිරිසිදු කරලා කළු ඇට අයින් කරලා ගල්කැට අයින් කරලා උසස් තත්ත්වයෙන් හාල් එකපාරම උයන්න පුළුවන් විදියට මිලදී ගැනීමේ හැකියාව ලැබුණා. අන්න ඒ නිසා දැන් ඉන්න අපේ ආච්චිලට හාල් ගරන්නේ නැතුව හෝදලා එකපාරම උයන්න පුළුවන් වුණා. අද කතාව හාල් සහ ලංකාවේ ගොවිතැන ගැන. සහල් වල පාලන මිල ඉවත් කිරීමත්, ඒ මිල වී මෝල් හිමියන් තීරණය කළා කියන චෝදනාවත් එක්ක සමාජයේ විශාල කතා බහක් ඇති වෙලා. සුපුරුදු විදියට අපේ අදහස දේශපාලන කෝණයෙන් මිදිලා ආර්ථික විද්‍යාත්මකව මේ ප්‍රශ්නය දිහා බැලීමයි.

අපි දත්ත (Data) දිහා සහ විසඳුම් (Solution) දිහා පොඩ්ඩක් බලමු.

  1. ශ්‍රී ලංකාවේ අවුරුද්දකට එක පුද්ගලයෙක් හාල් 108kg පරිභෝජනය කරනවා. ලෝකය අනෙක් රටවල් වල සාමාන්‍ය මනුස්සයෙක් (Average rice consumption) හාල් පරිභෝජනය කරන්නේ අවුරුද්දට 54Kg විතරයි. සරලව කියනවා නම් ලංකාවේ මිනිස්සු සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා දෙගුණයක් බත් කනවා.

එතකොට එන ප්‍රශ්නය තමයි මෙච්චර හාල් කන රටේ අවුරුදු ගාණක් තිස්සේ ගොවියෝ දුප්පත් වුණේ කොහොමද කියලා. අන්න එතකොට අපි ඔක්කොම එකතු වෙලා බනිනවා හාල් මෝල් අයිති පුද්ගලයන්ට . අතරමැදියා සල්ලි හොයනව – ගොවියා දුප්පත් වෙනවා කියල . ඒ මතයේ ඇත්ත නැත්ත බලන්න කලින් අපි පොඩ්ඩක් ප්‍රශ්නය ගැඹුරට යන්න ඕන.

ගොවියන් නිතරම කියන්නේ හාල් මොල්වල අය අපෙන් වී මිලදී ගන්නේ ඉතාම අඩු මිලකට රජය ඒ නිසා සහතික මිලකට අපෙන් වී මිලදී ගන්න කියල. නැත්තං මෝල් හිමියන්ට වී මිලදී ගන්න අවම මිලක් තීරණය කරන්න කියලා. ගොවියන්ගෙන් මේ ඉල්ලීම් වැඩිපුරම එන්නේ ඇස්වහක් කටවහක් නැතුව ගංවතුරක්, නියඟයක් නැතුව ඉතා හොඳ අස්වැන්නක් ලැබෙන කාලෙට. ඇත්තටම මෙතනදි වෙන්නේ හොඳ සහල් අස්වැන්නක් ලැබුණු ගමන්ම වෙළෙඳපොළටලට සහල් සැපයුම වැඩි වෙන නිසා නිකම්ම මිල පල්ලෙහාට එනවා. ඒ නිසා වැඩි අස්වැන්නක් ලබා ගත්තා කියලා ගොවියන්ට වැඩි මුදලක් ලබාගන්න පුළුවන් කමක් නෑ .

ගොවියන්ගෙන් මේ ඉල්ලීම් වැඩිපුරම එන්නේ ඇස්වහක් කටවහක් නැතුව ගංවතුරක්, නියඟයක් නැතුව ඉතා හොඳ අස්වැන්නක් ලැබෙන කාලෙට. ඇත්තටම මෙතනදි වෙන්නේ හොඳ සහල් අස්වැන්නක් ලැබුණු ගමන්ම වෙළෙඳපොළටලට සහල් සැපයුම වැඩි වෙන නිසා නිකම්ම මිල පල්ලෙහාට එනවා. ඒ නිසා වැඩි අස්වැන්නක් ලබා ගත්තා කියලා ගොවියන්ට වැඩි මුදලක් ලබාගන්න පුළුවන් කමක් නෑ .

ගංවතුර නියඟය ඇවිල්ලා අස්වැන්න අඩු කාලෙට වී වල මිල ඉහළ යනවා හැබැයි ඒත් එතකොට සම්පූර්ණයෙන් නිපදවන වී කිලෝ ගණන අඩුනිසා මිල වැඩි උනත් ගොවියන්ට ලැබෙන මුළු මුදල් ප්‍රමාණය ලොකු වෙනසක් වෙන්නේ නෑ. සරලවම කියනවා නම් අස්වැන්න වැඩි වුණත් ගොවියන්ට ලැබෙන්නේ එකම මුදල. අස්වැන්න අඩු වුණත් ගොවියන්ට ලැබෙන්නේ එකම මුදල. ඒක නිසා අස්වැන්න වැඩි කරගන්න වැඩි වැඩියෙන් මහන්සි වෙන්න ගොවියන්ට ධෛර්යවත් වෙන්න හේතුවක් නෑ (No incentive). ඕකට විසඳුමක් විදිහට බොහෝ වෙලාවට බලයේ පවතින ආණ්ඩු කරන්නේ අස්වැන්න වැඩි කාලෙට වී මොල් හිමියන් ගොවියන්ගෙන් වී මිලදී ගත යුතු අවම මිලක් තීරණය කරනවා. එතකොට හාල් මෝල් හිමියන් ගොවියන්ගෙන් වී මිලදී ගන්න එක අඩු කරනවා. එතකොට ගොවියට අයෙත් බඩට පහරක් වදිනවා.

එහෙම නැත්තම් සහල් මිලදී ගන්න පනවපු පාලන මිලත් ( සහතික මිලත් ) එක්කම පාරිභොගිකයගේ අවසාන සහල් කිලෝවක් විකුනන මිලට එකතු කරනවා. එහෙම කරපු ගමන් වෙළෙඳපොලේ හාල් මිල 120ට 140ට යනවා. එතකොට විපක්ෂයේ ඉන්න අයගෙන් සහ ජනතාවගෙන් විශාල විරෝධයක් එනවා.

එතකොට ආණ්ඩුව කරන්නේ සහල් විකිණීම සඳහා මිල පාලනයක් දානවා. එතකොට වී මෝල්වලින් හාල් හංගනවා. මොකද ඔවුන්ට එම මුදලට සහල් විකිණීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන ලාභය ලබන්න බැරි නිසා. මේ අතර මැද්දට සහල් මෝල් හිමියන් සහල් ගබඩා කරගෙන ඒකාධිකාරියක් ගොඩනඟාගෙන සහල් මිල පාලනය කරනවා.

එහෙම නැත්තන් ආණ්ඩුව කරන්නේ ආණ්ඩුව සහතික වැඩි මිලකට වී /හාල්ටික මිලදී අරගෙන ගබඩා පහසුකම් අඩු නිසා මත්තල ගුවන් තොටුපොළ වගේ තැන්වල වී ගබඩා කරලා ආයෙමත් ගත්තට වඩා අඩු මිලකට තමන්ගේ දේශපාලන හිතවත්කම් මත අර සහල් මෝල් හිමියන්ටම ඒ වී ටික විකුණලා ලබන පාඩුව බදු ගෙවන ඔබගෙනුයි මගෙනුයි අය කරගන්නවා.

මගේ අවබෝධය හැටියට ඕක තමයි සහල්වල විෂම චක්‍රය. සරලවම කියනවනම් මෙතන වෙළෙඳපොළක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. වෙළෙඳපොළ ක්‍රියාත්මක නොවෙන ඕනම තැනක තියෙන්නේ ප්‍රශ්න විතරයි.

දැන් බලමු මේකට විසඳුම් මොකක්ද කියලා. ඔය විෂම චක්‍රය කෑලි එහෙට මෙහෙට කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. අපි වවමු රට නගමු, පුරන් කුඹුරු අස්වද්දමු වගේ වැඩ ඉතා හොඳ වැඩ. ඒත් මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙයි කියල හිතන්න අමාරුයි. අපි වසර ගණනාවක් ඒව අත්හදා බැලුවත් විසඳුමක් නොලැබුණේ ඒ නිසයි.

මුලින්ම සහල් වල මිල ගණනය කිරීමේදී අපි ගණනය කරන ක්‍රමය ඉතාම වැරදියි. සාමාන්‍යයෙන් හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න වතුර ලීටර් 2500 විතර ලබා දීල ඒකෙන් ලීටර් 1,400 ක් විතර ශාක පාවිච්චි කරනවා. අපි සාමාන්‍යයෙන් වතුර ලීටර්යකට සත 20 ගණන් තිබ්බාත් (වෙළෙඳපොලේ කාර්මික ජලයට අයකරන මුදලට වඩා ඉතා අඩු අගයක්) දැනට තියන හාල් කිලෝ එකට අවම තවත් රුපියල් 280 එකතු වෙන්න ඕන. එහෙම බැලුවම පේනවා අපි කන හැම හාල් කිලෝ එකක මිල කොච්චර වැඩියිද කියලා. පවතින දේශගුණික විපර්යාස එක්ක වතුරට ඉල්ලුම වැඩි වෙද්දී අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා.

ඒ වගේම අපි විශාල පොහොර සහනාධාරයක් ගොවියන්ට ලබා දෙනවා. ඒවට ගෙවන්නෙත් බදු ගෙවන ජනතාවමයි. එම මිලත් හරිනම් සහල් වලට මිලට එකතු වෙන්න අවශ්‍යයි. එහෙම එකතු වුණාම අපේ සහල් කිලෝවක නිෂ්පාදන වියදම එනව රුපියල් 280ක් කිට්ටුවට. අපි අකමැති වුණත් ඒක තමයි යතාර්ථය.

අපි විශාල පොහොර සහනාධාරයක් ගොවියන්ට ලබා දෙනවා. ඒවට ගෙවන්නෙත් බදු ගෙවන ජනතාවමයි. එම මිලත් හරිනම් සහල් වලට මිලට එකතු වෙන්න අවශ්‍යයි. එහෙම එකතු වුණාම අපේ සහල් කිලෝවක නිෂ්පාදන වියදම එනව රුපියල් 280ක් කිට්ටුවට. අපි අකමැති වුණත් ඒක තමයි යතාර්ථය.

ගොඩක් අය හිතන්නේ ආණ්ඩුව මේ වැඩේ කරන්න පටන් ගත්තොත් වැඩේ ඔක්කොම හරි කියලා. ආණ්ඩුව වැඩේ කරනවා කියලා කියන්නේ තියනවටත් වඩා ප්‍රශ්නය වැඩි වෙනවා කියන එකයි. (ආණ්ඩුව කියලා අදහස් කළේ පවතින ඕනෑම රජයක්).

මේකට මගේ අදහසේ හැටියට පේන විසඳුම තමයි සහල්, කර්මාන්ත ක්ෂේත්‍රයට පාවිච්චි කරන අමුද්‍රව්‍යයක් (Industrial raw material) බවට පත් කරන්න ඕනේ. සරල කරල කියනවනම් ගොවියන්ගෙන් වී මිලදී ගන්න එකම ගැණුම්කරුවා වී හාල් මෝල් කරුවන් නොවිය යුතුයි. (රජයේ හාල් මෝල් ද ඇතුළුව) තව ටිකක් පැහැදිලිව කියනවා නම් ලෝකෙ සහල් අද පාවිච්චි කරන්නේ කන්න විතරක් නෙවෙයි. හාල් වලින් කිරි හදනවා. හාල්වලින්, වයින්, බියර්, whisky සුවඳ විලවුන්, තෙල් හදනවා.

බොහෝ අය ඉන්න අනිත් මිත්‍යාව තමයි අපි වැඩිපුර හාල් හැදුවොත් අපිට අපනයනය කරන්න පුළුවන් කියලා. අපි නොදන්න කාරණය තමයි ලංකාවේ වවන්නේ කෙටි බීජ (Short grain) සහල් . ඒත් ලෝකෙ වැඩිපුරම ඉල්ලුමක් තියෙන්නේ දිග බීජ Thai (Long grain) සහල් වලට.

සහල් වෙළෙඳපොළේ තරග කරන රටවල් ගොඩක් වවන්නේ දිග බීජ [Long grain] සහල්. අන්න ඒ නිසා ඊළඟ විසඳුම තමයි ලෝක වෙළෙඳ පොළේ වැඩි ඉල්ලුමක් තියෙන සහල් වර්ග වගා කරන්න අපේ ගොවියන් නැඹුරු කිරීම. ඒ වගේම අඩු වතුර ප්‍රමාණයක් පරිභෝජනයය කරන හාල් විශේෂ ඉදිරිපත් කරන්න ඕන. ශ්‍රී ලංකාවටම ආවේනික වෙච්ච සුවදැල්, පච්ච පෙරුමාල්, හීන්ටි, රතු නාඩු, කුරුලු තුඩ වගේ වී වර්ගවල ප්‍රතිඔක්සිකාරක (Antioxidants) වැඩිපුර තියෙන බවට ශ්‍රී ලංකාවේම ශිෂ්‍යයෝ දෙදෙනෙකු කරපු පරීක්ෂණ වාර්තාවකින් අදහස් පළකරලා තිබුණා. ඒ වගේ බීජ වර්ග මහා පරිමාණයෙන් වගා කරන්න පුළුවන්ද කියලා පරීක්ෂණ කරලා බලන්න ඕන. අනිත් එක තමයි පාරිභෝගිකයෝ විදියට අපි පරිභෝජනය කරන සහල් ප්‍රමාණය අඩු කරන්න ඕන. අපේ පරිභෝජනය අඩු කරල ඉතුරුවෙන ප්‍රමාණයෙන් තමයි කර්මාන්ත සඳහා සහල් පාවිච්චිය වැඩි කරන්න පටන් ගන්න ඕන. [Lion Beer සමාගම බියර් නිෂ්පාදනය සඳහා මිල වැඩි malt වෙනුවට සහල් භාවිතාව වසර කිහිපයකට පෙර ආරම්භ කරා] අපේ මුතුන්මිත්තෝ බත් විතරයි කෑවෙ කියල තුන් වේලටම බත් කන්න පුළුවන් ජීවන රටාවක් නෙවෙයි දැන් අපිට තියෙන්නේ. අපේ ජීවන රටාවත් එක්ක එතරම් කාබෝහඩ්ට්‍රේට ප්‍රමාණයක් අපේ ශරීරයට හිතකර නෑ.

ශ්‍රී ලංකාවේ වී වගාව කර්මාන්තවල පාවිච්චි වෙන අමුද්‍රව්‍යයක් වෙච්ච දවසට අස්වැන්න වැඩිවෙන්න වැඩිවෙන්න ගොවියට ලැබෙන මිලත් වැඩිවෙනවා. මිලදීගන්න ගැනුම්කරුවන්ව ක්ෂේත්‍ර ගණනාවකට පැතිරුණාම නිකම්ම ඒකාධිකාර බිඳවැටෙනවා.

  1. ඊළඟ කතාව තමයි ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සරලවම කියනවනම් ලංකාව හදන ඔක්කොම බඩුවලින් කෘෂිකර්මය දායක වෙන්නේ 7%-8%ට විතරයි. ඒත් අපේ ශ්‍රමබළකාය නැත්තම් අපේ වැඩ කරන ඔක්කොම මිනිස්සුන්ගෙන් 25%ක් ඉන්නේ කෘෂිකර්මාන්තයේ. බොහෝ දෙනෙක් මේකට දෙන උත්තරේ තමයි ගොවියන්ගේ ඵලදායිතාවය වැඩි කරන්න අපි තාක්ෂණය ගේන්න ඕන. අපේ ගොවීන්ට වඩාත් කාර්යක්ෂම විදියට වගා කරන්න ඉඩ පහසුකම් සපයන්න ඕන කියන තර්කය. අර මම උඩදි කිව්ව වගේ අලුත් බීජ අත්හදා නොබලන්න, අඩුවෙන් ජලය පාවිච්චි වෙන වගා ක්‍රම ඉදිරිපත් නොකරන්න, වී වලට වඩා වැඩි ඵලදාවක්- මිලක් ලබා දෙන බෝග වගා නොකරන්න, හරිතාගාර තුළ සිදුකරන වගා ක්‍රම අත්හදා නොබලන්න, තාක්ෂණය කුඹුරුට නොඑන්න හේතුවක් තියෙනවා. එය තමයි වී වගාව සම්බන්ධව ඉඩම්වල තිබෙන ප්‍රශ්නය. මේක ඉතාම සංවේදී ප්‍රශ්නයක්. තවත් සරලව කියනවා නම් ඉතාම හොඳ දේශපාලන පාපන්දුවක්. ලංකාවේ තියෙන ඉඩම් වලින් 82% ක්ම අයිති ආණ්ඩුවට. සරලවම කියනවනම් ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය වෙච්ච හෙක්ටයාර මිලියන 6.561 න් හෙක්ටයාර මිලියන 5.4 ක්ම අයිති ආණ්ඩුවට.

(ආණ්ඩුවට ඇති ඉඩම් ප්‍රමාණයෙන් 30% විතර වනාන්තර තිබෙන බවත් අමතක කරන්න එපා.) මේ ඉඩම්වල අයිතිය ගොවීන්ට නැහැ. ඒ නිසා ඔය කුඹුරු ඉඩම් වල වී ඇරෙන්න වෙන දෙයක් වගා කරනවා නම් ආණ්ඩුවේ කන්තෝරුවට ගිහිල්ලා වෙනම ලයිසන් එකක් ගන්න ඕනේ. ඒක අවුරුද්ද ගානේ අලුත් කරන්න ඕන. ඊට අමතරව කුඹුරු ඉඩම් වල කිසිම ඉදිකිරීම්ක් කරන්න බෑ. කුඹුරු ඉඩම් වලට බැංකුවෙන් ණයක් ගන්න පුළුවන් හැකියාව ඉතාම අඩුයි. ආයෝජනය කරන්න බැරි, තමන්ටම කියලා අයිතියක් නැති ඉඩමකට කොහොමද ඉතින් හරිතාගාර තාක්ෂණය එන්නේ. ගොවියන්ට කුඹුරුවල අයිතිය ලබා දෙනවා කිව්වාහම දේශපාලන වේදිකාවේ කියවෙන ප්‍රධානම තර්කය තමයි අම්මෝ ඔය ඉඩම් වල අයිතිය ගොවියන්ට දුන්නහම ගොවියෝ ඒ ටික විකුණල ඒකෙන් අරක්කු බොයි, ගොවියෝ විකුණන ඉඩම් ටික විදේශිකයෝ අරගෙන ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මහා බලපෑමක් ඇතිවෙනවා, සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඉඩම් වල අයිතිය පිටරට අයට හිමිවෙනවා කියන මතය. ගොඩක් Conspiracy theory විශ්වාස කරන අය තමයි ඕක කියන්නෙ. (ඒ වගේම තමයි ඔය කුඹුරු ඉඩම් ගොඩක් තියෙන්නේ ඉතා කුඩා කොටස් වශයෙන් මහා පරිමාණ වගාවක් කරන්න අමාරුයි). මගේ නම් මතය ඉඩම්වල අයිතිය ආණ්ඩුවට තියෙන තාක් කල් ඉඩම්වල අයිතිය ජනතාවට ලැබෙන්නේ නැහැ කියන එකයි. තවත් සරල කරලා කියනවා නම් මේ සටහන කියවන කාට හරි ඔය ආණ්ඩුවට අයිති 82% ප්‍රමාණයේ කිසිම දෙයක් කරන්න පුලුවන්ද? බැහැ කියන එක තමයි පිළිතුර. විදේශිකයෝ ඉඩම් අත්කර ගනී කියන මතයට අනුව ගත්තොත් විදේශිකයො ඉඩම් අත්පත් කරගනී කියලා වැඩිපුරම බය වෙන්න ඕනේ ඔස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවල්. මොකද ලංකාව, ඉන්දියාව වගේ රටවල් ගණනාවක මිනිස්සු ඒ රටට ඇවිල්ලා පුරවැසි භාවයත් අරගෙන ඉඩනුත් සල්ලි දීලා ගන්නවා. එහෙම පොඩි හරි බයක් තියෙනවා නම් ශ්‍රීලාංකිකයන්ට හරි මේ ඉඩම් මිලදී ගැනීමට අවස්ථාව තියෙන්න ඕන කියන එකයි මගේ අදහස . ඉඩම් විකිණීමේදී ගහන බද්දෙන් රජයට විශාල ආදායමක් උපයා ගන්නත් පුළුවන්. හාල් ගැන කතාව ඉතාම දිගයි. කෙටි කාලීනව විසඳුම් නෑ. සහල්වලට මිල පාලනය දාලා හාල් මෝල් අයිති අයගේ ගබඩා වලට ඇවිල්ලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක. එහෙම කරපු ගමන්ම ඔවුන්ගේ ධාරිතාව අඩු කිරීමෙන් වෙළෙඳපොළේ සහල් අඩු වෙලා ඉල්ලුම සහ සැපයුමට අනුව නිකන්ම සහල් මිල ඉහළ යනවා.

හාල් ගැන කතාව ඉතාම දිගයි. කෙටි කාලීනව විසඳුම් නෑ. සහල්වලට මිල පාලනය දාලා හාල් මෝල් අයිති අයගේ ගබඩා වලට ඇවිල්ලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක. එහෙම කරපු ගමන්ම ඔවුන්ගේ ධාරිතාව අඩු කිරීමෙන් වෙළෙඳපොළේ සහල් අඩු වෙලා ඉල්ලුම සහ සැපයුමට අනුව නිකන්ම සහල් මිල ඉහළ යනවා.

හාල් වගාකිරීමට තියන Incentive ප්‍රශ්නේත් ගොවියන්ට තිබෙන ඉඩම් ප්‍රශ්නේත් විසඳලා මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබාගන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. එහෙම නැත්තම් ආච්චිට හාල් ගරන්නේ කෙසේද කියල ඇහුව වගේ හැමදාම වී මෝල් හිමියන් අපෙන් ගරනවා කියල තමයි ඉන්න වෙන්නේ.

ධනනාත් ප්‍රනාන්දු

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *