කොළඹ බටහිර ජැටිය ඉන්දියාවේ අදානිට දෙන ගිවිසුමට අත්සන් කරයි ; 51% අදානිට

කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට බහුතර කොටස් හිමිවන ගිවිසුමට අද කොළඹ දී අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, අදානි සමාගම, සහ ජෝන් කීල්ස් සමාගම අතර මෙම ගිවිසුම අත්සන් කොට තිබේ.

මෙම ගිවිසුම අනුව බටහිර ජැටියේ සියයට 51 ක අයිතිය අදානි සමාගමටත්, සියයට 34 ක් ජෝන් කීල්ස් සමාගමටත් හිමිවන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන්නේ සියයට 15 ක කොටස් හිමිකමකි.

ශ්‍රී ලංකාවට සියයට 51 ක් කොටස් සහ සියයට 49 ක් ජපානයට සහ ඉන්දියාවට බෙදී යන පරිදි වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට මීට පෙර දරන ලද උත්සාහය වෘත්තීය සමිති, වාමාංශික පක්ෂ සහ ඇතැම් භික්ෂුන් වාහන්සේලාගේ විරෝධය නිසා අත්හැර දමන්නට සිදු වී ය. ඒ අවස්ථාවේ වෘත්තීය සමිති කීවේ නැගෙනහිර ජැටිය තමන්ට සංවර්ධනය කළ හැකි බව සහ එයට මුදල් ද සොයාගත හැකි බව යි. නැගෙනහිර නොදී බටහිර දීමට යෝජනා කළේ වෘත්තීය සමිති විසින් ම ය.

ඒ අනුව බටහිර ජැටිය බහුතර අයිතිය ද ඉන්දියාවට දෙමින් සංවර්ධනයට රජය දැන් පියවර ගෙන ඇති අතර නැගෙනහිර ජැටිය සංවර්ධනය සම්බන්ධයෙන් කිසිදු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන බවක් දැනගන්නට නැත. එය ආරක්ෂා කරගෙන සංවර්ධනය කිරීමට හඬ නැගූ පිරිස් ද නිහඬ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *