සහල් අඩුවට දීම මගේ වගකීමක් නොවේ – මහින්දානන්දගෙන් අලුත් බයිලාවක් !

සහල් අඩුමිලට ලබාදීම තම වගකීමක් නොවන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැන් ප්‍රකාශ කරයි. ඒ මහතා දැන් කියන්නේ තමන්ගේ වගකීම වන්නේ ගොවීන්ට වී සඳහා ඉහළ මිලක් ලබා දීම පමණක් බව යි.

විද්‍යුත් නාලිකාවක සජීවී වැඩ සටහනකට අද උදේ සහභාගී වෙමින් ඒ මහතා කීවේ ” කෘෂිකර්ම ඇමතිවරයා විදිහට මගේ වගකීම තියෙන්නේ ගොවියාට ඉහළ මිලක් ලබා දීමට යි. පාරිභෝගිකයාට සහල් අඩු මිලට දීම වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ වගකීමක් ” යනුවෙනි.

කෙසේ වෙතත්, වී මිල ගී ගැනීමේ උපරිම මිලක් සහ සහල් මිලක් නියම කරමින් සහල් මාෆියාව මෙල්ල කරන බව පසුගිය දිනවල රටට කීවේ මහින්දානන්ද ඇමතිවරයා බව රට ම දන්නා කාරණයකි.

වරක් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පිටරටින් සහල් ගෙන්වීමට උත්සාහ කරද්දී එය නතර කළේ මහින්දානන්ද ඇමතිවරයා විසිනි. එදා ඔහු කීවේ රට තුළ  අවශ්‍ය තරම් සහල් තිබෙන බව යි.

සැඟවූ සහල් සොයා ගිය නිලධාරීන් හිස් අතින් ආ පසුව ඇමතිවරයා කීවේ කෘෂිකර්මයේ නිලධාරීන් තමන්ට දී ඇති වාර්තා සියයට 96 ක් බොරු බව යි.

මහින්දානන්ද ඇමතිවරයා සහල් මාෆියාව මැඩලන්නට ගොස් අවසානයේ සිදු වී ඇත්තේ සහල් මිල තීරණය කිරීමට මෝල් හිමියන්ට හැකිවන තත්ත්වයට ඔවුන් බලවත් කිරීමයි.

දැන් ඔහු වෙළෙඳ ඇමතිට බෝලය පාස්කර අංග බේරා ගන්නට හදයි. වෙළෙඳ ඇමති ද මෙබඳු ම කයිවාරු ගැසූ නමුත්, පසුගිය දිනවල කෘෂිකර්ම ඇමති පෙරමුණට ආවේ වෙළෙඳ ඇමති යටපත් කරගෙන ය. සහල් මිල පාලනය වෙළෙඳ ඇමතිගේ වගකීමක් බව පසක් වී ඇත්තේ දැන් ය.

අද උදේ මහින්දානන්ද ඇමතිවරයාගේ ප්‍රකාශය විද්‍යුත් නාලිකාවක ප්‍රචාරය කළේ ඇමතිවරයාගේ උඩුකය ඡායාරුපයක් සමග ය. එම  ඡායාරූපයේ ඒ මහතා උඩුකය නම් වසාගෙන සිටියේ ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *