ලෝක වෙළෙඳ පොළේ පොන්නි සම්බා කිලෝව රුපියල් 130 යි ; ගේන කතා, අඩුවට දෙන කතා බොරු !

ලෝක වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් තිබීමත්, ශ්‍රී ලංකා රුපියල විශාල ලෙස අව ප්‍රමාණ වී තිබීමත් නිසා, ආණ්ඩුව ගේන බව කියන පොන්නි සම්බා කිලෝවක් මිල දී ගන්න විටම ශ්‍රී ලංකා රුපියල් 130 ක් පමණ මිල වන බවත්, එලෙස සහල් ආනයනය කොට අඩු මිලට දෙන බවට ආණ්ඩුව කරන්නේ බොරු කතා කියා ජනතාව රැවටීමේ උත්සහයක් බවත්, වෙළෙඳපොළ ආරංචි මාර්ග හෙළි කරයි.

ජාත්‍යන්තර මිල ගණන් පිලිබඳ තොරතුරු සපයන අලිබබා වෙබ් අඩවියට අනුව ලෝක වෙළෙඳපොළේ පොන්නි සම්බා මෙට්‍රික් ටොන් එකක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 650 ක් – 660 ක් වශයෙනි.

එම මිල ඩොලර් 650ක් ලෙස ගතහොත් සහ ඩොලරයක් රුපියල් 200 ක් ලෙස සැලකුවහොත් සහල් ටොන් එකක මිල වන්නේ රුපියල් 130,000 කි.මෙට්‍රික් ටොන් එකක් යනු කිලෝ 1000 කි. එවිට  සහල් කිලෝ එකක මිල වන්නේ රුපියල් 130 කි. ආනයනය කරන විට සැපයුම් කරුගේ ලාභ, නැව් ගාස්තු ආදිය ද එකතු වෙයි. එවිට සහල් කිලෝවක් විකුණන්නට වන්නේ රුපියල් 140 කට හෝ ඉහළ මිලකට ය.

ඉන්දියානු වෙළෙඳපොළේ පවතින මිල ද මීට සමාන බව අන්තර්ජාල තොරතුරු හෙළිකරයි.

වෙළෙඳපොළ ආරංචි මාර්ග කියන්නේ සහල් ගෙන්වන බවට ආණ්ඩුව මාස ගණනක් තිස්සේ පාරම් බෑවත් එසේ නොකරන්නේ ආණ්ඩුව මේ මිල ගණන් හොඳින් ම දන්නා නිසා බව ය. ආණ්ඩුව හදන්නේ බොරු සද්දයක් දමා සහල් වෙළෙඳුන් බිය කර, මිල අඩුකර ගැනීමට උත්සාහ දැරීම බව විශ්වාස කෙරෙයි.

කෙසේ වෙතත්, ප්‍රධාන සහල් වෙළෙඳුන් ආණ්ඩුවේ කතා තුට්ටුවකට ගණන් නොගන්නේ ඔවුන් ද මෙම මිල ගණන් ගැන හොඳින් දන්නා නිසා බව අපගේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *