මහින්ද සමරසිංහ ඇමෙරිකාවේ තානාපතිකම භාරගන්න කල් ගනියි!

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාරගන්නා ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පිළිගෙන ඇතත්, ඒ සඳහා ඒ මහතා කල් ලබාගෙන ඇති බව දේශපාලනයේ තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

තානාපති ධුරයට සමරසිංහ මහතා පත් කිරීමේ ලිපි ආදියට ජනාධිපතිතුමා විදේශ ගතවීමට පෙර අත්සන් තබා ඇතත්, සමරසිංහ මහතා වහා  ම තනතුර භාර ගැනීමට එකඟ වී නැති බව කියති.

ජනාධිපතිතුමා හදිසියේ කළ ඉල්ලීමට සමරසිංහ මහතා මුල දී ඍජු පිළිතුරක් දී නැත. පසුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ඇමෙරිකාවේ කැලිෆෝර්නියාහි ශ්‍රී ලංකා කොන්සල් ලෙස කටයුතු කරන දොස්තර ලලිත් චන්ද්‍රදාස ඇතුළු තවත් අය කතා කිරීමෙන් පසුව සමරසිංහ මහතා එයට එකඟ වී ඇත.

තානාපති තනතුර සඳහා දොස්තර ලලිත් චන්ද්‍රදාස මහතාගේ නම මීට පෙර යෝජනා වී තිබුණ ද, ඒ මහතා එයට වැඩි කැමැත්තක් දක්වා නැති බව කියති. රාජපක්ෂ පවුලේ ඥාතියකු ඇමෙරිකානු තානාපති තනතුරට පත්වීම නොසුදුසු බවත්, එමෙන් ම සමරසිංහ මහතා වැනි දක්ෂ තැනැත්තකු එයට පත් කළ යුතු බවත්, දොස්තර චන්ද්‍රදාස මහතා පෙන්වා දී ඇතැයි කියති.

මෙම පෙරැත්ත කිරීම් හමුවේ තානාපති තනතුර භාරගැනීමට සමරසිංහ මහතා එකඟ වී ඇතත්, ඒ සඳහා සුදනම් වීමට තමන්ට කල් අවශ්‍ය බව දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

ජනාධිපති තුමා යළි මෙරටට පැමිණීමෙන් පසුව එම දින වකවානු ඇතුළු අනෙක් කරුණු තීරණය වනු ඇති බව එම දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *