පළාත් පාලන ඡන්ද කල් යයි ! පළාත් සභා ඡන්දය එයි !! නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි !!!

ලබන වසරේ මුල් භාගයේ පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන ආයතන සඳහා වන මැතිවරණය වසරකින් කල් තබා පළාත් සභා මැතිවරණ පැවැත්වීමට රජය සුදානම් වන බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

දැනට ක්‍රියාත්මක පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන පෙබරවාරි මාසයෙන් අවසන් වීමට නියමිත ය.  ඒ සඳහා මැතිවරණ යලි පැවැත්විය යුතු වුව ද, පළාත් පාලන පනත යටතේ එම ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමේ බලය පළාත් පාලන ඇමතිවරයාට ලබා දී තිබේ. එම බලය භාවිත කරමින් මැතිවරණය කල් දැමීමට රජය තීරණය කොට ඇති බව කියති.

කෙසේ වෙතත්, දැනට වසර තුනක් තිස්සේ අක්‍රීයව ඇති පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට රජය අදහස් කොට ඇති අතර නව මැතිවරණ ක්‍රමයක් සඳහා කටයුතු සඳහා තවත් කල් යන තත්ත්වයක් තුළ පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය යටතේ ඉක්මනින් පැවැත්වීමට යෝජනා වී තිබේ. ඒ සඳහා නීතිමය ඉඩකඩ පිලිබඳ පවතින තත්ත්වය ගැන නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගැනීමට ආණ්ඩුව මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධිපත්‍යයට රජය තුළින් එල්ල වී ඇති අභියෝග පරාජය කිරීම සඳහා හොඳම මාර්ගය ලෙස පළාත් සභා මැතිවරණයට යා යුතු බව එම පක්ෂයේ අදහස වී ඇති බව ද කියති.

මෙම මැතිවරණයට සුදානම් වීමේ පියවරක් ලෙස සංවර්ධන කටයුතු සඳහා විශාල මුදලක් මෙවර අයවැයෙන් ලබාදෙන බව ද, ප්‍රකාශ කොට ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා රුපියල් ලක්ෂ සියය බැගින් ද, පළාත් පාලන සභිකයකු සඳහා රුපියල් ලක්ෂ තිහ බැගින් ද ලබාදීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පොරොන්දු වී තිබේ.

මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයන බලපත්‍ර ලබා දෙන බවට ද , වාහන ආනයනයට පනවා ඇති තහනම මෙම වාහන ගෙන්වීම සඳහා ඉවත් කරන බවට ද, මුදල් ඇමතිවරයා වැඩි දුරටත් පොරොන්දු වී ඇති බව ද අපගේ ආරංචි මාර්ග කියයි.

මේ අතර පළාත් සභා මැතිවරණ කැඳවුව හොත් වෙන ම පාර්ශවයක් ලෙස සන්ධාන ගතව තරඟ කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සැලසුම් කරමින් සිටින බව ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *