බල අරගලවල තෝතැන්නක් වූ කම්කරු දිනය – අජිත් පැරකුම් ජයසිංහ

මැයි දිනයක් සැමරිණි. එය ජාත්‍යන්තර කම්කරු දින සැමරුමක් ලෙස සැලකිය නො හැකි ය.

එය තනිකර ම බල අරගලවල තෝතැන්නකි.

ප්‍ර‍ධාන බල අරගලය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු විපක්ෂය ලෙස හඳුන්වනු ලබන රාජපක්ෂ පවුලේ නායකත්වයෙන් යුත් දේශපාලන ව්‍යාපාරයයි.

සෙනග යන්නේ කිරුළපනට ද, ගාල්ලට ද යන්න කාගේත් අවධානයට ලක් වී තිබිණි. වැඩිපුර සෙනග ආවේ තමන්ට බව දෙපැත්ත ම කියති.

මේ අතර තරගයකින් තොරව එක්සත් ජාතික පක්ෂය ද විශාල සෙනගක් සහිතව මැයි රැළිය පැවැත්වී ය.

සෙනග ගණන් කළ කිසිවෙක් නැත. එසේම, ෆොටෝෂොප් කර සෙනග බස්සන ලද ඡායාරූප දැමීම ද සිදු වන නිසා ඒවා ගැන ද දැන් විශ්වාසයක් නැත. අපට නිගමනයකට එන්නට සිදු වන්නේ කිසියම් විද්‍යාත්මක විශ්ලේෂණයකට අනුවයි.

ඒ අනුව අපි පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත්තෙමු.
1. සෙනග පිළිබඳ තොරතුරු
2. මාධ්‍ය ආවරණය
3. සමාජ මාධ්‍ය හරහා පළ වන තොරතුරු හා අදහස්
3. කටකතා
5. දේශපාලන පක්ෂවල ප්‍ර‍තිචාර

ඒ අනුව, මැයි දින රැළි හා පෙළපාලි රෑන්ක් කළ විට ලැබෙන ප්‍ර‍තිඵලය මෙසේ ය:

1. එක්සත් ජාතික පක්ෂය
2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ගාල්ල
3. පොදු විපක්ෂය, කිරුළපන

සිව්වන ස්ථානය හිමි වන ජවිපෙ මැයි පෙළපාලිය හා රැළිය විශේෂ අවධානයක් දිනා ගත්තේ ය. එයට සහභාගි වූ ජන අනුපාතය සමග සන්සන්දනය කළ විට වැඩිම වියදමක් දරන ලද මැයි රැළිය එය විය හැකි ය. එහෙත්, ඒ සඳහා යන වියදම් පුළුල් ලෙස පක්ෂ සාමාජිකයන් හා හිතවතුන් අතර බෙදා ගැනීම නිසා සත්‍ය වියදම හෙළිදරව් කර ගැනීම දුෂ්කර ය.

ජවිපෙ උත්සාහ කළේ තමන් ඉතා විනයගත පිරිසක් බව පෙන්වීමටයි. මහින්ද රාජපක්ෂ දරුවන් වඩා ගන්නා ඡායාරූප සේ ම ජවිපෙ නායකයන් හිටගෙන බත් මුල් කන ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කිරීම සුලබ ය. හිටපු ඇමති නිර්මල කොතලාවල වැනි තවත් අය ද මෙවැනි ඡායාරූප නිකුත් කළ හ. ඔවුන් පෙන්වන්නට උත්සාහ කරන්නේ මෙම නායකයන් ඉතා සාමාන්‍ය මිනිසුන් බවයි. එය ව්‍යාජයකි. ඉතා බලවත් මිනිසුන් වන ඔවුන් සාමාන්‍ය මිනිසුන් බත් කන විදියට බත් කෑවත්, සිතන්නේ සාමාන්‍ය මිනිසුන් ලෙස නො වේ.

ජවිපෙ මැයි දිනයේදී කරන ලද කතා අර විනාඩියක් පමණයි තරගය වැනි ය. එහි මූලික කොන්දේසිය මේ ආණ්ඩුව බලයට ගෙනාවේ ජවිපෙ යන කරුණ අමතක කර කතා කිරීමයි.

ජවිපෙ කතාවල හරයක් නැති නිසාදෝ ජවිපෙට පක්ෂ සමාජ මාධ්‍ය විසින් වැඩිපුර හයිලයිට් කරනු ලැබුවේ රැළියෙන් පසු කුණු ටික ඉවත් කර ගෙදර යාමයි. එය හොඳ ආදර්ශයකි. ලංකාවේ ජනතාව මෙවැනි කාරණාවලදී විනයගත කිරීම සඳහා කටයුතු කරන්නේ නම් ඇත්තෙන් ම ජවිපෙට ඒ ඔස්සේ දේශපාලන ඉදිරි ගමනක් අපේක්ෂා කළ හැකි ය. විනයක් නැතිකම ලංකාවේ ජනතාවගේ මූලික ම ගැටලුවයි. දේශපාලකයන් පත් වන්නේ ඒ යක්කුන්ට ගැලපෙන විමාන හදමිනි.

ජවිපෙ බල අරගලය තිබුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමගයි. තමන් පෙසපට වඩා ශක්තිමත්, විධිමත්, විනයගත හා සංවිධානාත්මක බව ඔවුන් විසින් ප්‍ර‍දර්ශනය කරන ලදී. කොටින් ම වඩා පෙරටුගාමී හෙවත් වෑන්ගාඩ් පක්ෂය තමන් බව පෙන්වීමට ඔවුන් දරන ලද උත්සාහය සාර්ථක වූ බව පෙනේ. මේ තරගය නම් එච්චර හොඳ නැත. මන්ද, මේ වන විට ලොව බලවත් ම පෙරටුගාමී පක්ෂය ඇත්තේ උතුරු කොරියාවේ ය.

පෙසප ද තමන් මැයි පෙළපාලියක්, රැළියක් පැවැත්විය හැකි පක්ෂයක් බව පෙන්වී ය.

අනෙකුත් මැයි රැළි ගැන කතා කරන්නට දෙයක් නැත. ඒවා එක්කෝ ෆන් වැඩ ය. නැතිනම් මාක්ස්වාදී ආගමික අභිචාර පමණි.

මේ එකකින්වත් කම්කරුවන්ට නම් ඇති මෙලෝ ප්‍රයෝජනයක් නැත. කම්කරුවා කවරෙක්දැයි තේරුම් ගන්නට හෝ උත්සාහයක් තිබුණු තරමක් දුරට හෝ හරවත් කතාවක් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පමණි. වැඩ පුළුවන් බවක් තවම ඔප්පු කර නැති සිරිසේන ජනාධිපතිවරයා තවුසන්ඩ් ටෝක් දෙන්නට ගජ හපනකු බව ඔහු නැවතත් පෙන්වා දුන්නේය.

( W3Lanka බ්ලොග් අඩවියෙනි )

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *