|

මරණ තුනක් නැති මීපැණි කන ආර්ථිකයක්! – ධනනාත් ප්‍රනාන්දු

මරණ තුනක් නැති මීපැණි කන ආර්ථිකයක්!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන පැහැදිලි කිරීමට කවියක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවට ඇති ආර්ථික අර්බුදය සහ අපට තිබෙන පිළිතුරු එතුමාගේ කවියෙන්ම සොයා ගැනීමයි අප උත්සාහ කරන්නේ. එතුමා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ගැඹුර ඉතාම මැනවින් පැහැදිලි කළා. එතුමා ඉදිරිපත් කළ කවියේ සම්පූර්ණ අර්ථය දැන ගැනීමෙන් අර්බුදයේ ගැඹුරද අපට හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වෙනවා.

මේ කවියෙන් කියවෙන්නේ වනාන්තරයේ ඇවිදින මිනිසෙක් මුහුණදුන් ඉතා භයංකාර අත්දැකීමක්. ඒ ඇවිදින මිනිසා හරියට ශ්‍රී ලංකාවේ ආර්ථිකය වගෙයි.

වනේ ගිජිඳාය දුටුවොත් වනසාය – ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය

අතකින් කරවැලකි අතකින් දඬු බෑය – මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

වනේ ගිජිඳාය දුටුවොත් වනසාය – ණය අර්බුදය අප පසුපසම පැමිණේ

පළමුවැනි පදයෙන් කියවෙන්නේ වනාන්තරයේ ඇවිදින මනුස්සයාට කෝපයෙන් සිටින තනි අලියෙක් මුහුණට මුහුණ හමු වෙනවා. කෝප වූ තනි අලියා මනුස්සයා පසුපස වේගයෙන් එළවාගෙන එනවා. හරියට ශ්‍රී ලංකාවට ගෙවන්නට තිබෙන ණය කන්දරාව වගෙයි. ලෝකය පුරා සිටින ආයෝජකයන්ගෙන් ඩොලර්වලින් වසර ගණනක් ණයට මුදල් ගෙන ප්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමෙන් අපම නිර්මාණය කරගත් ණය අර්බුදය දැන් අප පසුපස එන්නේ හරියට බඩ ගින්නේ කෝප වී සිටින හස්තියෙක් අපි පසුපස එන ආකරයටයි. අපගේ ආර්ථිකය දුර්වල නිසා නැවත වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීමටත් අපහසුයි. සියලුම ණය ශ්‍රේණිගත කිරීම් ආයතන අපගේ ණය ගෙවීමේ ශ්‍රේණිය පහත දමා තිබෙනවා. මේ තනි අලියාගෙන් ගැලවෙන්නට තිබෙන එක ක්‍රමයක් වන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමයි. ණය ගෙවීම පැහැර හැරියොත් ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් බංකොළොත් රටක් වීමෙන් අන්තර්ජාතික ගනුදෙනු සියල්ල නැවතීමේ අවදානමක් තිබෙනවා. එසේ වුවහොත් කොවිඩ් තත්වයක් මැද බෙහෙත් වර්ග, අත්‍යවශ්‍ය භාණ්ඩ, ඛනිජ තෙල් වැනි කිසිවක් ගෙන්වා ගැනීමට නොහැකි හුදෙකලා රටක් වීමේ අවදානමක් තිබෙනවා.

විසඳුම:

මෙවැනි අවස්ථාවක අපට කළ හැකි දේ අතර එකක් වන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමයි. නමුත් එය ඉතාමත්ම වේදනාකාරී ක්‍රියාපටිපාටියක්. ඒ වගේම රටේ කීර්තිනාමයටත් හානියක් සිදුවෙනවා. වසර ගණනක් නීති කටයුතු දික් ගැස්සෙන කේවල් කිරීම් ගණනාවක් සිදුකිරීමට සිදුවෙන ක්‍රියාවලියක්. නමුත් රටක් බංකොළොත් වීමෙන් ඇතිවන වේදනාවට වඩා එම වේදනාව අවමයි. ඒ සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු වෙනවා. එයට හේතුව ඕනෑම අන්තර්ජාතික ස්වෛරී බැදුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට විශ්වාසය ඇතිකළ හැකි එකම අන්තර්ජාතික ආයතනය අන්තර්ජාතික මූල්‍ය අරමුදල වීමයි. එම ආයතනය පිහිටුවීමේ මූලික අරමුණ වී තිබෙන්නේත් එයමයි. එම විසඳුම හරියට කෝපවී වී අප පසුපස එළවන තනි අලියාගේ වේගය තරමක් අඩු කිරීමක් වගේයි. නමුත් එහි තේරුම අප සම්පූර්ණයෙන් තනි අලියාගෙන් පහර කෑමේ අවදානමෙන් මිදුණා කියන එක නොවෙයි. එහි තේරුම අලියාගේ වේගය තරමක් අඩුවීමෙන් අපට ටිකක් වේගයෙන් ඉස්සරහට දුවන්නට වැඩි කාලයක් ලැබීම පමණයි.

මෙවැනි අවස්ථාවක අපට කළ හැකි දේ අතර එකක් වන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමයි. නමුත් එය ඉතාමත්ම වේදනාකාරී ක්‍රියාපටිපාටියක්. ඒ වගේම රටේ කීර්තිනාමයටත් හානියක් සිදුවෙනවා. වසර ගණනක් නීති කටයුතු දික් ගැස්සෙන කේවල් කිරීම් ගණනාවක් සිදුකිරීමට සිදුවෙන ක්‍රියාවලියක්. නමුත් රටක් බංකොළොත් වීමෙන් ඇතිවන වේදනාවට වඩා එම වේදනාව අවමයි. ඒ සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු වෙනවා.

ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය – ණය ගෙවීමට පොලී අනුපාත අඩුකිරීමෙන් ඇතිවූ විදේශ විනිමය අර්බුදය

දෙවැනි පදයෙන් කියවෙන්නේ තනි අලියාගෙන් බේරීමට දිවයන මනුස්සයා ළිඳකට පනී. ඒත් පනින්න සැරසුණු ඔහුට එකවරම පෙනෙන්නේ ළිඳේ වතුර නැති බවත් ළිඳ පතුලේ විශාල නාගයෙක් පෙනය පුප්පාගෙන ඉන්නා ආකරයයි. ඒ සමගම ඔහු එක වරම එයින් බේරීමට ළිඳ ඇතුළට එල්ලෙන වැල්පොටක් අත්දෙනික් අල්ලා ගෙන ළිඳට වැටීමෙන් වැළකෙයි. දැන් ඔහු සිටින්නේ වැල්පොටවල් දෙකකින් එල්ලෙමින් ළිං බිත්තියේ. ළිඳ පාමුල තනි අලියා මොරදෙමින් කේන්තියෙන් බලා සිටියි. බේරීමට ළිඳට පැන්ණොත් වතුර නැති නිසා එක්කෝ වැටී මියයයි. නැත්තම් නාගයා දෂ්ට කිරීමෙන් මිය යාමට ඉඩ තිබෙනවා.

මේ තත්ත්වය හරියට ණය අර්බුදයෙන් ගැලවීමට අප සංචිත භාවිත කරමින් දිගටම ණය ගෙවනු ලැබුවා. නමුත් දැන් සංචිත අඩුවීම නිසා අපේ සංචිත ප්‍රමාණවත් වන්නේ සති කිහිපයක ආනයන සඳහා පමණයි. එමගින් ණය ශ්‍රේණිගත කිරීම්වල තවත් පහළට ඇදවැටීමට විශාල අවදානමක් තිබෙනවා. ඒ වගේම දේශීය ණය සඳහා විශාල පොලියක් ගෙවීමට අප විශාල කාලයක් කෘත්‍රිමව පොලී අනුපාත අඩු කරගෙන සිටිනු ලැබුවා. එවිට සිදුවුණේ අපගේ ආර්ථිකයේ විශාල කොටසක් ආනයන අඩංගු වන නිසා, ආනයන තවත් වැඩි වීමෙන් අපට තිබූ විදේශ විනිමය ශීඝ්‍රයෙන් වියදම් වී යාමයි. කෘත්‍රිම ලෙස පොලී අනුපාත පහළ තබා ගැනීමට විශාල ලෙස මූල්‍ය පද්ධතියට මුදල් එකතු කරනු ලැබුවා. එම නිසා ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල ලෙස අවප්‍රමාණ වුණා. මහ බැංකුව සතුව සංචිත නොමැතිවීමෙන් සංචිත වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් විනිමය අනුපාත පාලනය ද ගිලිහී ගියා. විශාල ලෙස ආනයන ශ්‍රී ලංකාවට අවශ්‍ය නිසා ආනයනය කරන භාණ්ඩ බොහොමයක, එනම් ඛනිජ තෙල්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් වර්ගවල මිල මෙන්ම සෞඛ්‍ය වියදම ද වැඩි වුණා. එය හරියට හස්තියාගෙන් බේරීමට ළිඳට පැනීමේ උපක්‍රමයෙන් ප්‍රශ්නය තවත් වැඩීවීමයි. කලින් බේරීමට තිබුණේ හස්තියාගෙන් පමණයි. නමුත් දැන් හසිතියා සහ නාගයා යන දෙදෙනාගෙන්ම බේරිය යුතුයි.

විසඳුම : පොලී අනුපාත මහ බැංකුව තරමක් දුරට ඉහළ දමනු ලැබුවා. නමුත් පවතින තත්ත්වය අනුව එය තවදුරටත් ඉහළ දමමින් මූල්‍ය පද්ධතිය තරමක් තද කිරීම හැර වෙන ක්‍රමයක් ඉතුරු වී නෑ. විශාල පොළී අනුපාත පැවතීම කිසිම ආර්ථිකයකට සුදුසු කටයුත්තක් නොවෙයි. නමුත් අලියාගෙන් ගැලවීමට සාපේක්ෂව සහ නයාගෙන් මිය යාමට සාපේක්ෂව එය අඩු වේදනාකාරීයි. පොලී අනුපාත වැඩි කිරීමේදී ආර්ථික වේගය අඩු වීම සහ ව්‍යාපාර මගින් ඔවුන්ගේ වියදම් සීමා කිරීම නිරායාසයෙන්ම සිදුවනවා. ඒත් පවතින විදේශ විනිමය අර්බුදයෙන් ගැලවීමට පවතින ක්‍රමයම රැගෙනයාම ඊටත් වඩා අපහසුයි. ඒ වගේම මෙම ප්‍රශ්නයෙන් දීර්ගකාලීනව ගොඩ ඒමට ආර්ථික ප්‍රතිසංස්කරණවල වැදගත්කම නැවත අවධාරණය කිරීමට සිදුවනවා. පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දැමීම හෝ පුද්ගලීකරණය කිරීම, නිසි පරිදි ආයෝජනය නොකරන රාජ්‍ය වත්කම් පුද්ගලික ආයෝජන සඳහා විවෘත කිරීම එවැනි ක්‍රම කිහිපයක්.

පොලී අනුපාත මහ බැංකුව තරමක් දුරට ඉහළ දමනු ලැබුවා. නමුත් පවතින තත්ත්වය අනුව එය තවදුරටත් ඉහළ දමමින් මූල්‍ය පද්ධතිය තරමක් තද කිරීම හැර වෙන ක්‍රමයක් ඉතුරු වී නෑ. විශාල පොළී අනුපාත පැවතීම කිසිම ආර්ථිකයකට සුදුසු කටයුත්තක් නොවෙයි. නමුත් අලියාගෙන් ගැලවීමට සාපේක්ෂව සහ නයාගෙන් මිය යාමට සාපේක්ෂව එය අඩු වේදනාකාරීයි. පොලී අනුපාත වැඩි කිරීමේදී ආර්ථික වේගය අඩු වීම සහ ව්‍යාපාර මගින් ඔවුන්ගේ වියදම් සීමා කිරීම නිරායාසයෙන්ම සිදුවනවා. ඒත් පවතින විදේශ විනිමය අර්බුදයෙන් ගැලවීමට පවතින ක්‍රමයම රැගෙනයාම ඊටත් වඩා අපහසුයි.

අතකින් කරවැලකි අතකින් දඬුබෑය – ඩොලරය රු.203ට ස්ථාවර කිරීමට උත්සාහ කිරීමෙන් ප්‍රශ්නය උග්‍රවීම

අලියාත් නාගයාත් අතර මරණ දෙකක සිරවී සිටින මිනිසා ඔහු අල්ලා සිටින එක වැල්පොටක් දිහා බලයි. එවිට ඔහුට පෙනෙන්නේ වැල් පොට හසුවී ඇත්තේ තවත් විෂඝෝර කරවලා සර්පයෙකුගේ වලිගයත් සමගයි. සර්පයා කේන්තියෙන් දඟලයි. අත බුරුල් කළහොත් එම සර්පයා දෂ්ට කරයි. එක අතකින් වැටීමෙන් බේරීමට එල්ලී සිටීමට අල්ලා ගත් වැල කරවලා සර්පයාගේ වලිගය වීම සමාන කළ හැක්කේ රුපියලේ අගය අවප්‍රමාණ වීම වැළැක්වීමට රුපියල 203ට ස්ථාවර කිරීමට මහ බැංකුව ගත් උත්සාහයයි.

ඩොලරයේ මිල කෘත්‍රීම ලෙස ස්ථාවර කිරීමෙන් සිදුවී ඇත්තේ ඩොලර් අතේ තිබෙන පුද්ගලයන් බැංකු වෙත ඩොලර් මුදා නොහැරීමයි. වෙළෙඳ පොළේ ඩොලර් අඩුවීමෙන් එයට එල්ලවන ඉල්ලුම වැඩි වීම නිසා සහ අස්ථාවර නිසා ඩොලර් තිබෙන ව්‍යාපාරිකයන් සහ ඩොලර්වලින් මුදල් උපයන කිසිවෙක් දැන් වෙළෙඳ පොළට ඩොලර් නිකුත් කිරීමක් සිදු නොකරයි. එම නිසා මෙතෙක් කල් වැඩිවෙමින් පැවති ප්‍රේෂණ ද දැන් අඩු වෙමින් පවතී. එමගින් මූල්‍ය පද්ධතියේ තිබුණාටත් වඩා ඩොලර් හිඟ වීමෙන් තත්ත්වය තවත් උග්‍රවේ. එමගින් බෙහෙත්, අපනයන සඳහා අවශ්‍ය ආනයන, වාහනවල අමතර කොටස් ඇතුළු ආර්ථිකය පවත්වා ගැනීමට අවශ්‍ය මූලික භාණ්ඩවත් ගෙන්වා ගැනීමට හැකියාවක් නොමැති වේ. අපනයන සඳහා අවශ්‍ය ආනයන නොමැති වීමෙන් අපනයන වෙළෙඳ පොළ ද කඩා වැටිය හැකිය. දැන් අලියාගේත්, නාගයාගේත්, කරවලාගේත් මරණ තුන අතර මිනිසා දෝලනය වෙයි.

විසඳුම : ඩොලරයට ඒ අනුව එහි වෙළෙඳ පොළ අගය ලබා ගැනීමට අවස්ථාව දිය යුතුමය. වෙළෙඳ පොළේ ඩොලර් නොමැති නම් ඩොලරයක් රු.203ක් ලෙස නිවේදනයක් නිකුත් කිරීමෙන් පමණක් කිසිම තේරුමක් ඇති වන්නේ නැත. එමගින් සිදුවන්නේ ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය තවත් බිඳ වැටීමයි. ඒ අනුව ඩොලරයට වෙළෙඳ පොළ අගය ලබා ගැනීමට අවස්ථාව දුන් විට අතේ ඩොලර් සඟවාගෙන සිටින අය නිරායාසයෙන්ම වැඩි මිලක් ලැබෙන නිසා ඩොලර් මූල්‍ය පද්ධතියට මුදා හරියි. නමුත් එවිට ඩොලරයේ වටිනාකම රු. 240- 260 වැනි ඉහළ අගයකට යාම වැළැක්විය නොහැකිය. එමගින් බඩු මිල ඉහළ යාම, උද්ධමනය වැඩිවීම සිදුවීම ද වැළැක්විය නොහැක. නමුත් එමගින් සිදුවන වේදනාව අඩුය. නමුත් නැවතත් අපගේ මූල්‍ය පද්ධතියේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීම අනිවාර්ය වේ. ස්වාධීන ජාතික ණය කාර්යාලයක් පිහිටුවීම, මහ බැංකුවට අනවශ්‍ය ලෙස මූල්‍ය පද්ධතියට මුදල් නිකුත් කිරීම සහ පවතින රජයන්ට මහ බැංකුවට එලෙස බලපෑම් කිරීමට නොහැකි ලෙස ආයතනික ව්‍යූහය සැකසීම වැනි දැවැන්ත ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ.

ඩොලරයට වෙළෙඳ පොළ අගය ලබා ගැනීමට අවස්ථාව දුන් විට අතේ ඩොලර් සඟවාගෙන සිටින අය නිරායාසයෙන්ම වැඩි මිලක් ලැබෙන නිසා ඩොලර් මූල්‍ය පද්ධතියට මුදා හරියි. නමුත් එවිට ඩොලරයේ වටිනාකම රු. 240- 260 වැනි ඉහළ අගයකට යාම වැළැක්විය නොහැකිය. එමගින් බඩු මිල ඉහළ යාම, උද්ධමනය වැඩිවීම සිදුවීම ද වැළැක්විය නොහැක. නමුත් එමගින් සිදුවන වේදනාව අඩුය.

මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය – කොටස් වෙළෙඳ පොළ සක්‍රීය වීම සහ ස්වයංපෝෂිත වීම පිළිබඳ මිථ්‍යා මත

එක් අතකින් කරවලා සර්පයා සහිත වැල්පොට අල්ලාගෙන සිටින මිනිසාට පහතින් පෙනෙන්නේ ළිඳ පතුලේ පෙනය පුප්පා සිටින නාගයායි. ළිඳේ ඉහළින් සිටින්නේ කේන්ති ගිය හස්තියායි. හරියටම ශ්‍රී ලංකාවේ ආර්ථිකය වගේමයි. සැබැවින්ම අපගේ ආර්ථික අර්බුදය ඊටත් වඩා ඛේදනීයයි. එක් අතකින් විදේශ ණය අර්බුදය, අනෙක් අතින් විදේශ විනිමය අර්බුදය, තවත් පසකින් විදේශ විනිමය හා සම්බන්ධ වුණු ජීවන මිල ඉහළ යාම සහ සෞඛ්‍ය අර්බුදය වැනි මරණ ගණනාවක් අතර සිරවී සිටින මිනිසා වගේමයි අපේ ආර්ථිකයත්. නමුත් එක් අතකින් කරවලා සර්පයා අල්ලා සිටියත්, අනිත් වැල්පොටෙන් එහි තිබූ මී වදයක් පොඩි වීම නිසා ඔහුගේ අත දිගේ මී වදය පොඩි වීමෙන් මීපැණි හෙමින් වැක්කෙරේ. එවිට මිනිසා මරණ තුනක් මත සිටියත් මීපැණිවල රස බලන්නාක් මෙන් සමහර අවස්ථාවල ආර්ථිකයේ ධනාත්මක පණිවිඩ ද අපට ලැබේ. පසුගිය දිනවල කොටස් වෙළෙඳ පොළ සක්‍රීය වීම, අපගේ අපනයන පසුගිය මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා යාම ඉන් ප්‍රධාන කාරණායි. නමුත් වැල්පොට දෙකේ එල්ලී සිට මීපැණි කෑමෙන් මරණ තුනෙන් මිනිසාට ගැලවිය නොහැක්කක් මෙන්ම එවැනි සිද්ධීන්වල ධනාත්මක බවින් අප ආර්ථික ප්‍රතිසංකරණ කිරීමට ඇති අවශ්‍යතාව අමතක කළ යුතු නොවේ. ඒ අතරම මීපැණි මෙන් මිහිරි ස්වයංපෝෂිත ආර්ථික ක්‍රම වැනි යල් පැන ගිය ආර්ථික සංකල්පවලට කොටුවීමෙන් අප සිටින්නේ මරණ තුනක් අතර බව අමතක නොකළ යුතුය. ඒ නිසා කෙටිකාලීනව මීපැණි රස විඳිමින් මරණ තුනක් අතර එල්ලී සිටිනවාට වඩා අප කළයුතු වන්නේ දිගු කාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් අපගේ ආර්ථිකය දිගුකාලීනව ඉදිරියට ගැනීමයි. එවිට අපට පසුව නිදහසේ මීපැණි කෑ හැක. මරණ තුන මත සිට කිසිම දෙයක් නොකර වැල් පොට දෙකේ එල්ලී කෙටිකාලීන මුදල් හුවමාරු මත යැපීමෙන් මීපැණි ගැන සිතීමෙන් (ස්වොප් පහසුකම්) සිදුවන්නේ අප සිතනවාට වඩා හස්තියාත්, නාගයාත්, කරවලාත් අප වෙත ඉක්මනින් පැමිණීමයි. අප අල්ලා සිටින වරපොටත් ක්‍රමයෙන් බුරුල් වේ. දැන්වත් අපි ආර්ථික ප්‍රතිසංස්කරණ ඉක්මන් කරමු.

ඒ අතරම මීපැණි මෙන් මිහිරි ස්වයංපෝෂිත ආර්ථික ක්‍රම වැනි යල් පැන ගිය ආර්ථික සංකල්පවලට කොටුවීමෙන් අප සිටින්නේ මරණ තුනක් අතර බව අමතක නොකළ යුතුය. ඒ නිසා කෙටිකාලීනව මීපැණි රස විඳිමින් මරණ තුනක් අතර එල්ලී සිටිනවාට වඩා අප කළයුතු වන්නේ දිගු කාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් අපගේ ආර්ථිකය දිගුකාලීනව ඉදිරියට ගැනීමයි. එවිට අපට පසුව නිදහසේ මීපැණි කෑ හැක. මරණ තුන මත සිට කිසිම දෙයක් නොකර වැල් පොට දෙකේ එල්ලී කෙටිකාලීන මුදල් හුවමාරු මත යැපීමෙන් මීපැණි ගැන සිතීමෙන් (ස්වොප් පහසුකම්) සිදුවන්නේ අප සිතනවාට වඩා හස්තියාත්, නාගයාත්, කරවලාත් අප වෙත ඉක්මනින් පැමිණීමයි.

ධනනාත්  ප්‍රනාන්දු

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *