ආරාධනය හොඳයි ; එහෙත්, ජනාධිපතිගේ හදිසි වෙනස සැකයි – ගෝලීය දෙමළ සංසදය

දෙමළ ඩයසපොරාව සමග සාකච්ඡා කිරීමට තමන් සුදානම් බව ජගත් මහා ලේකම් හමුවේ නිව් යෝර්ක් නුවර දී ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය යහපත් ප්‍රවනතාවක් ලෙස පිළිගන්නා බව කියන ගෝලීය දෙමළ සංසදය (ග්ලෝබල් ටැමිල් ෆෝරම් ) එසේ වුව ද, මෙතෙක් සියලු සාකච්ඡා මග හරිමින් සිටි ජනාධිපතිවරයාගේ හදිසි වෙනසට හේතුව කුමක්දැයි ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් කරගත් නියෝජිතයින් වන දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි සාකච්ඡා විවිධ හේතු කියමින් දිගින් දිගට මගහැර ඇති බව ද එම සංවිධානය කියයි.

දැන් සාකච්ඡාවට ආරාධනා කළ ද තම සංවිධානය ඇතුළු සංවිධාන ගණනාවක් තහනම් කොට ශ්‍රී ලංකාව සමග සම්බන්ධතා ද අවහිර කිරීමට ආණ්ඩුව කටයුතු කළේ පසුගිය මාර්තු මාසයේ බව ද එම සංවිධානය කියයි.

එසේ තිබියදීත් මෙරට ජනයාට අවශ්‍ය ඩොලර් මිලියන ගණනක සෞඛ්‍ය සේවා උපකරණ ලබා දීමට  තම සංවිධානය කටයුතු කළ බවත්, එම පහසුකම් ලබා දුන්නේ උතුරු නැගෙනහිරට නොව මුළු රටටම බවත් ගෝලීය දෙමළ සංසදය වැඩි දුරටත් කියයි.

එම සංවිධානය කියන්නේ එය තහනම් කිරීමෙන් ශ්‍රී ලංකාවට වසරකට අහිමි වන ආධාර ප්‍රමාණය ඩොලර් මිලියන 300 ඉක්මවන බවයි. එම සංඛ්‍යාවට ඔවුන් ලබාදෙමින් සිටි විවිධ උපදේශන සේවා විශේෂඥ දැනුම ඇතුලත් නොවන බව ද ඔවුහු කියති.

මෙරට ජාතික ප්‍රශ්න දේශීය වශයෙන් විසඳ ගැනීමට දෙමළ ඩයසපොරාව සමග සාකච්ඡා කිරීමට සුදානම් බවට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නිව්යෝක් නුවර දී කළ ප්‍රකාශය ගැන නිවේදනයක් නිකුත් කරමින් ගෝලීය දෙමළ සංසදය මෙම අදහස් පළ කොට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *