මහින්දානන්ද ෆුල් රිවස් ; වී වැඩි මිලට ගන්න මෝල් හිමියන්ට ඉඩ !

සහතික මිල ලෙස පනවා ඇත්තේ වී මිල දී ගත හැකි අවම මිල බවත්, ඊට වැඩි මිලට ගොවීන්ගෙන් වී මිල දී ගැනීමට කිසිදු බාධකයක් නැති බවත්, කියමින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහතික මිලට වැඩියෙන් වී මිලට නොගත යුතු බවට මෙතෙක් ප්‍රකාශ  කළ ස්ථාවරය ඊයේ ඉවත් කර ගත්තේ ය.

මීට පෙර ඇමතිවරයා කීවේ රජය නියම කොට ඇති මිලට වඩා වැඩි මිලට වී මිල දී නොගත යුතු බව සහ පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකිණීම නොකළ යුතු බව යි. කෙසේ වෙතත්, රජයේ සහතික මිලට වෙළෙඳ පොලේ සහල් ලබාගත නොහැකි වූ අතර සහතික මිල රුපියල් 98 ක් වූ නාඩු කිලෝවක් අලෙවි වුයේ රුපියල් 110 කට හෝ ආසන්න මිලකට ය.

සහල් මාෆියාවක් වී තොග සඟවා ඇති බව කියූ ඇමතිවරයා හදිසි නීතිය දමාගෙන සහල් මෝල් වැටලීමට ක්‍රියා කළ ද, එබඳු වී තොග සොයාගත නොහැකි වී ය. පසුව ඇමතිවරයා කීවේ නිලධාරීන් තමන්ට දී ඇති දත්ත සියයට 96 ක් ම වැරදි බව යි.

වැටලීම්වල දී හෙළි වී ඇත්තේ වී තවමත් ඇත්තේ ගොවීන් ළඟ බව සහ සාධාරණ මිලක් නොමැති නිසා ඔවුන් වී විකිණීමෙන් වැළකී සිටින බව යි.

මේ තත්ත්වය යටතේ නාඩු වී කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කළ ඇමතිවරයා අනෙක් වී මිල ද වැඩි කරන බව ප්‍රකාශ කොට ඇත.

දැන් වී මිල දී ගැනීමට බල කළ  උපරිම මිල ද අහෝසි කොට ඇත.

වෙළෙඳපොළ නිරීක්ෂකයින් කියන්නේ කෘෂිකර්ම ඇමති අවිචාරවත් ලෙස හැසිරී රජයට විශාල අමතර වියදමක් සිදුකොට දේශපාලන හානියක් ද සිදුකොට ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *