දෙමළ වෙනම රාජ්‍ය යෝජනාව සම්මත කර වසර 40කට පසු ෆෙඩරල් යෝජනාවට බය වීම – අජිත් පැරකුම් ජයසිංහ,

2015 ජනවාරි 9 වන දින උදෑසනින් ම ශ්‍රී ලංකාවේ කටකතාවක් පතුරුවා හරින ලදී. එයින් කියැවුණේ කොටි සංවිධානයේ හිතවතුන් යාපනයේ හමුදා කඳවුරු වට කර එතුළට වැටෙන සේ රතිඤ්ඤා, අහස්කූරු ආදිය පත්තු කරමින් කුපිත කිරීම්වල යෙදෙන බවයි. මෙම කටකතාව පතුරුවා හැරිය අය බලාපොරොත්තු වුණේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල් කලබල කිරීමයි.

2009දී මර්දනය කරන ලද කොටි සංවිධානය මහින්ද රාජපක්ෂ පාලනය බිඳ වැටීමත් සමග යළි නැගිටිමින් සිටින බව ඔවුන් විසින් ප්‍රචාරය කරන ලදී. දැන් වසර එකහමාරක් පමණ ගත වී තිබේ. සති කීපයකට ඉහතදී චාවාකච්චේරියෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් හමු වීමත් සමග නැවත වතාවක් කොටි නැගිටිමින් සිටින බවට කතාවක් ප්‍රචාරය කරන ලදී. නීතිය පිළිබඳ ලොව පිළි ගත් මහාචාර්යවරයකු වන ජී.එල්. පීරිස් ද එම බෝම්බ ගෙන යාමට නියමිතව තිබුණේ වැල්ලවත්තට බව කියමින් සමාජය තුළ භීෂණය ඇති කිරීමට උත්සාහ කළේ ය.

අලුත් ම සිද්ධිය වන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු මන්ත්‍රීන් පිරිසක් දැනට ආරක්ෂක හමුදා විසින් පවරාගෙන තිබෙන යාපනයේ ගම් ප්‍රදේශයකට එහි කලින් පදිංචි වී සිටි බව කියන ජනතාව සමග ඇතුළු වීමයි. එය දකුණේ ඇතැම් දේශපාලනඥයන් විසින් හඳුන්වන්නේ හමුදා කඳවුරකට කඩා පැනීමක් ලෙසයි.

පසුගියදා පානම ප්‍රදේශයේදී ඇති වූ උද්ඝෝෂණ ද මේ හා සමාන ය. එහිදී උද්ඝෝෂණ කළ බහුතර ජනයා සිංහලයෝ ය. මෙවැනි දේ දකුණේත් සිදු වේ. දකුණේ සිංහල ජනයා සාමාන්‍යයෙන් ගැටුම් ඇති කර ගන්නේ පොලිසිය සමගයි. හමුදා සමග ගැටුම් ඇති කර ගැනීමක් සාමාන්‍යයෙන් සිදු නො වන්නේ දකුණේ ජන ජීවිතයට හමුදාවල මැදිහත් වීම අවම මට්ටමක තිබෙන නිසා ය. හමුදාව මැදිහත් වූ රතුපස්වල වැනි සිදුවීම්වලදී සිවිල් වැසියන් මිය ගිය අතර හමුදා දැඩි විවේචනයට ලක් විය.

උතුරේ ජන ජීවිතයට ආරක්ෂක හමුදාවන්ගේ මැදිහත් වීම දෙස දෙමළ වැසියන්ගෙන් පිරිසක් නො රුස්නා සහගත වීම තේරුම් ගැනීම එතරම් දුෂ්කර නැත. එයට මූලික හේතුවක් වන්නේ ආරක්ෂක හමුදා මෙන් ම පොලිසිය පවා සිංහල බහුතරයකින් සමන්විත ආයතන වීමයි. දෙමළ ජනයා ආරක්ෂක අංශවලට හා පොලිසියට බඳවා ගනිමින් තිබේ. ඒවායේ ජාතීන්ගේ නියෝජනය ජනගහණයේ ජාතීන්ගේ අනුපාතිකය හා සමාන්තර මට්ටමකට වර්ධනය වන විට ඒවා සිංහල හමුදා හෝ සිංහල පොලිසිය ලෙස සැලකීම වෙනස් වනු ඇත.

උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව බලහත්කාරය හෝ වෙනත් කවර හෝ තත්වයක් තුළ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පෝෂණය කළ හ. කොටින්ගේ පිරිස් බලය ගොඩනැගුණේ දෙමළ පීඩිත පංතික තරුණ තරුණියන්ගෙනි. කොටි සංවිධානයට මුල්‍යාධාර කළේ දේශීය හා විදේශීය ලාංකික දෙමළ ජනයා විසිනි. කොටි සංවිධානයේ මතවාදය දෙමළ ජනතාව අතර තහවුරු කරනු ලැබුවේ ප්‍රධාන වශයෙන් ම දෙමළ මධ්‍යම පංතිය විසිනි. එපමණක් නොව, 2007දී පමණ සාම සාකච්ඡා අතහැර යුද්ධයකට යන ලෙස කොටි සංවිධානය පොළඹවන්නට ද දෙමළ ජාතිකවාදී මධ්‍යම පංතිය දැඩි බලපෑමක් කළ හ.

එකල මෙම ලේඛකයා කොටි හිතවාදී කොළඹ දෙමළ මධ්‍යම පංතික බලවේග සමග කළ සාකච්ඡාවලදී අවබෝධ වූ කාරණයක් වන්නේ යුද්ධය ඇදී යන්නට බටහිර ඉඩ නො දෙනු ඇති බව කොටි නායකයන් බලාපොරොත්තු වන බවයි. ඔවුන් ඇත්තට ම අපේක්ෂා කළේ වඩා බලවත් තත්වයක් තුළ නැවත සාකච්ඡාවට පිවිසෙන්නටයි. ඒ වෙනුවෙන් යුද්ධයේදී වැඩි විනාශයක් කරන්නට ඔවුන්ට අවශ්‍ය තිබිණි. සිය ප්‍රාථමික ගුවන් හමුදාවේ කාමිකාසි නියමුවන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් එවැනි තත්වයක් නිර්මානය කර ගත හැකි වනු ඇතැයි ඔවුන් බලාපෙරොත්තු වුවත්, එය ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් දඟ පන්දු යවන්නෙකු පැමිණීමට වැඩි දෙයක් වූයේ නැත.එම යුද මූලෝපාය සාර්ථක වූයේ එහි රහස් හෙළිදරව් කර ගන්නා තුරු පමණි. හරියට දඟ පන්දු යවන්නකුගේ උපායන් ටික සෙසු ක්‍රීඩකයන් හඳුනා ගන්නා තුරු කාලය තුළ ඔහුට වැඩි කඩුළු ප්‍රමාණයක් ලබා ගත හැකි වනවා සේ ය.

කොටි සංවිධානය අසාර්ථක වීමට ප්‍රධාන හේතුව වූයේ කෙතරම් අවි ආයුධ රැස් කරගෙන තිබුණත්, ඒවා පරිහරණය කරන්නට පිරිස් බලය නොමැති වීමයි. අනෙක් පැත්තෙන්, ඔවුන් අසාර්ථක වෙමින් පවතින විට නැවත සාකච්ඡා වෙත රජය යොමු කර ගැනීමට ඉන්දියාවට හෝ බටහිරට උවමනාවක්වත්, හැකියාවක්වත් තිබුණේ නැත. රජය හා ආරක්ෂක හමුදා දැඩි අධිෂ්ඨානයකින් යුතුව දිගට ම පහර දීගෙන ගොස් කොටි සංවිධානය යුදමය වශයෙන් මුළුමනින් ම පරාජය කර දැම්මේ ය. එම මිලිටරි සංදර්භය තුළ කොටින්ට පැරණි ස්වරූපයේ සම්ප්‍රදායික හමුදාවක් සේ නැවත නැගිටින්නට බැරි ය.

ගරිල්ලා හමුදාවක් සේ නැගී සිටීමට ඇති අවකාශ මුළුමනින් ම බැහැර කළ නො හැකි ය. මන්ද, ගරිල්ලා කණ්ඩායමක් සංවිධානය කිරීම එතරම් දුෂ්කර කාර්යයක් නො වේ. එසේ ම එය මර්දනය කිරීම ද පහසු නැත. හේතුව, ගරිල්ලන් සිටින්නේ ජනතාව අතර නිසා ය. ගරිල්ලන් මර්දනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවලින් පීඩාවට පත් වන ජනතාවගෙන් ගරිල්ලන්ට වාසිදායක තත්වයක් ඇති කර ගත හැකි බව සාමාන්‍ය පිළිගැනීමයි.

කෙසේ වෙතත්, එවැනි ගරිල්ලා ව්‍යාපාරයක්වත් යළි ආරම්භ කිරීමට කොටි සංවිධානය සමත් වූ බවක් නො පෙනේ. ගෝපි ඇතුළු කුඩා කණ්ඩායමක් විසින් 2013දී දරන ලද එවැනි කුඩා උත්සාහයක් දැඩි බලයක් යොදා මර්දනය කිරීමෙන් රජය කොටි සංවිධානයට හා දෙමළ ජනයාට තියුණු පණිවුඩයක් සන්නිවේදනය කළේ ය. එයින් පසු කොටි සංවිධානය එක්කෝ දැඩි ආරක්ෂණවාදයකට තල්ලු වී ඇති බවක් පෙනේ.

කොටි සංවිධානය විදෙස්ගතව ක්‍රියාත්මක වෙමින් කල් ගනිමින් සිටියි. ඔවුන් රට තුළ ක්‍රියාකාරකම් සඳහා කල් ගන්නේ රට ආර්ථික, දේශපාලන වශයෙන් තියුණු අර්බුදයකට
තල්ලු වන, දෙමළ ජනයා හා විශේෂයෙන් තරුණයන් දැඩි ඉච්ඡා භංගත්වයකට පත් වන මොහොත දක්වා ය. දේශප්‍රේමීන්ගේ වගකීම වන්නේ ඒ මොහොත නිර්මානය වීම
වළක්වන එක ය.

දෙමළ විරෝධී පදනමින් සිංහල ජාතිවාදය අවුළුවන තරමට සිදු වන්නේ ඒ මොහොත ඉක්මණ් වන එක ය. දකුණේ ඇතැම් මාධ්‍ය හා සිංහල ජාතිවාදීන් විසින් කලබල කරන අනෙක් කාරණය වන්නේ ආණ්ඩු ක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයෙහිදී උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර එම පළාත් වෙනුවෙන් ෆෙඩරල් පාලනයක්‌ ඇති කළ යුතුය යි යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මත කර ගැනීමයි. මෙය අලුත් ම තත්වයක් නො වේ. 2015 ජුලි මස නිකුත් කරන ලද දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍ර‍කාශෙයේ ද මේ බව දැක්විණි.

මේ රටේ උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන පළාත් සභාවේ සම්මත වූ මෙම යෝජනාව වනාහි මගහැරිය නො හැකි සාකච්ඡා පදනමකි. ලංකාවේ රාජ්‍ය ප්‍ර‍තිසංස්කරණ සිදු කිරීමේදී හා ආණ්ඩු ක්‍ර‍ම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී මෙවැනි යෝජනා සියල්ල සැලකිල්ලට ගත යුතු ය.

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ලෙස ඒකරාශී වූ දෙමළ දේශපාලන බලවේග විසින් 1976දී යාපනයේ වඩුක්කොඩෛහිදී පවත්වන ලද සමුළුවේදී සම්මත කර ගත් යෝජනාව වුණේ දෙමළ ජාතියට ඇති එකම විසඳුම වෙනම රාජ්‍යයක් බවයි. 1976 මහ මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ජය ගෙන විපක්ෂයේ ප්‍ර‍බල ම පක්ෂය බවට පත් වී ඒ. අමිර්තලිංගම් විපක්ෂ නායක පදවියට පත් වුණේ ද වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ජනවරමක් ඉල්ලමිනි.

ඉන් වසර 40කට පසුව ෆෙඩරල් විසඳුමක් වෙනුවෙන් යෝජනාවක් උතුරේ ජනතාව විසින් සම්මත කර ගැනීම කලබල විය යුතු තත්වයක් ද සතුටු විය යුතු තත්වයක් ද යන්න නිගමනය කිරීම පාඨකයාට භාර ය.

අජිත් පැරකුම් ජයසිංහ
සිළුමිණ  – 2016-05-01

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *