සීනි වැටලීමත් කොට උඩ ! සැඟ වූ තොග නැහැ ! රටින් සීනි ගෙන්නන්න අවසර !!!

 

රජයේ ඇතැම් මැති ඇමතිවරුන් කියූ තරම් සැඟ වූ සීනි තෝග රට තුළ නැති බව අතවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බවත්, ඒ අනුව රටින් සීනි ගෙන්වීමට මුදල් ඇමතිවරයා අවසර දී ඇති බවත් තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි.

සීනි තොග තිබිය හැකි සියලු ස්ථාන පරීක්ෂා කළ ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් වරයාට සොයාගත හැකි වී ඇත්තේ ටොන් අනු දහසකට අඩු ප්‍රමාණයකි. ඇතැම් මැති ඇමතිවරුන් කීවේ ටොන් ලක්ෂ තුනක් පමණ විශාල තොගයක් සඟවා ඇති බවයි. එබඳු තොගයක් ගැන හෝඩුවාවක්වත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාට සොයාගත හැකි වී නැත.

සොයාගෙන ඇති සීනි තොග අතර වෙළෙඳපොළට නිකුත් කරමින්, හෝ නිකුත් කරන්නට තිබු තොග මෙන්ම, රසකැවිලි, කිරි නිෂ්පාදන වැනි කර්මාන්ත ශාලා සඳහා ඇනවුම් කොට ගෙන්වා ඇති තොග ද වෙයි. එම ඇතැම් තොග අදාළ ආයතන වෙත නිකුත් කොට ඇත.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා මුදල් ඇමතිවරයා වෙත වාර්තා කොට ඇත්තේ, වහාම සීනි ඇනවුම් කොට ගෙනඒමට කටයුතු නොකළ හොත් රටේ සීනි හිගයක් ඇතිවීම වැළක්විය නොහැකි වන බවයි.

ඒ අනුව සීනි ගෙන්වීමට අවසර දීමට මුදල් ඇමතිවරයා තීරණය කොට තිබේ.

විශාල සහල් මෝල් හිමියන් වී තොග සඟවාගෙන සිටින බව මීට පෙර කී කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුව කීවේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව තමන්ට දුන් වාර්තා සියයට 96 ක් වැරදි බවයි.

දැන් සීනි සම්බන්ධයෙන් ද සිදු වී ඇත්තේ ඊට සමාන තත්ත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *