සීනි පෝළිමෙන් ටයර් පෝළිමටද ? – අනුර කේ එදිරිසූරිය .

 

අත්‍යවශ්‍ය නොවන ( බව මහ බැංකුව කියන) භාණ්ඩ රැසක ආනයනය සීමා කිරීමේ පිළිවෙතකට මුලපුරමින්  ශ්‍රී ලංකා මහ බැංකුව , එකී භාණ්ඩ ආනයනයේදී ණයවර ලිපි නිකුත්කිරීම සඳහා ආන්තික මුදල් තැන්පතු අවශ්‍ය බවට තීරණය කර තිබේ .

අත්‍යවශ්‍ය නොවන්නේ යැයි මහ බැංකුව කියන භාණ්ඩ අතරට රෙදිපිළි , ජංගම දුරකතන , ස්ථාවර දුරකතන , පරිගණක , රූපවාහිනී යන්ත්‍ර , ශීතකරණ , ඩිජිටල් කැමරා , ටයර් , පලතුරු සහ සුවඳ විලවුන් අයත්ය.

රෙදිපිළි අත්‍යවශ්‍ය නොවන්නේ කෙසේදැයි වෙළෙඳාම බාර ඇමැති ආචාර්යවරයා පැහැදිලි කළ යුතුය.එකී ප්‍රශ්නයට වෙළෙඳ ඇමැතිවරයාගේ පිළිතුර,  සංවෘත්ත ආර්ථිකයක් මෙරට පැවැති  70-77සමයේ දේශීය රෙදිපිළි පැවැති බවය. එකල දේශීය රෙදිපිළි තිබුණාය කියනු වෙනුවට ඇමැතිවරයා කළ යුත්තේ 70- 77 සමයේ රටේ රෙදිපිළි හිඟයක් පැවැති බව පිළිගැනීමය. එය , භූමිතෙල් ගඳගසන රෙද්දක් මිලදී ගන්නට සමූපකාරයේ පෝළිමේ ඉන්නට සිදුවූ සමයකි.    පවතිනවාටත් වඩා අඩුමිලට රෙදිපිළි සතොස මගින් සපයන බව වෙළෙඳ  ඇමැතිවරයා කියයි.ඇමැතිවරයා  අඩුමිලට සැපයීමට රෙදිපිළි සපයාගන්නේ කෙසේද යනු ගැටලුවකි.හේතුව මේ වන විට මෙරට දේශීය රෙදිපිළි කර්මාන්තයක් නොමැති වීමය. 70-77සමයේ ක්‍රියාත්මක වූ වේයන්ගොඩ , තුල්හිරිය රෙදි කම්හල් අද නැත. අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය දුවන්නේද අඩමානයටය.එහෙව් රටක ආනයනය නොකර බෙදන්නට සතොසට රෙදිපිළි ලබාගන්නා ආකාරය පැහැදිලි කිරීම ඇමැතිවරයාගේ යුතුකමකි .මෙරට ඇඟලුම් කර්මාන්තය පවත්වාගෙන යන්නට නම් රෙදිපිළි ආනයනය අත්‍යවශ්‍ය වන්නේය . සුළු සහ මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තයක් ද මෙරට මේ වන විට පවතී . රෙදිපිළි ආනයන බාධකය එම කර්මාන්තයට මරු පහරක් වන්නට ද පුළුවන .

මෙරට ඇඟලුම් කර්මාන්තය පවත්වාගෙන යන්නට නම් රෙදිපිළි ආනයනය අත්‍යවශ්‍ය වන්නේය . සුළු සහ මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තයක් ද මෙරට මේ වන විට පවතී . රෙදිපිළි ආනයන බාධකය එම කර්මාන්තයට මරු පහරක් වන්නට ද පුළුවන .

මහ බැංකුව කියන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුවේ ටයර් ද තිබේ .මහ බැංකවට ටයර් අත්‍යවශ්‍ය නොවිය හැකි වුව, ප්‍රවාහන කර්මාන්තයට ටයර් අත්‍යවශ්‍යය . ⁣ආර්ථිකය දුවවන්නට ප්‍රවාහනය අත්‍යවශ්‍යය. එහි අදහස ටයර් නැත ! ප්‍රවාහනය නැත ! ප්‍රවාහනය නැත , ආර්ථිකය දුවන්නේ බකල්ගසමින්ය යන්නය. මේ මොහොතේත් මෙරට වෙළෙඳ පොළේ සමහර ප්‍රමාණවල  ටයර්  හිඟයක් පවතී. ලොක්ඩවුන් තත්ත්වයෙන් පසුව ආර්ථික දියුණුවක් අපේක්ෂා කරන්නේ නම්  කළ යුත්තේ පවතින ටයර් හිඟයට පිළියම් සෙවීමය.

ඔන්ලයින් උගන්වන්නැයි ගුරුවරුන්ට කියමින්ම දුරකතන සහ පරිගණක අත්‍යවශ්‍ය නැතැයි ද කියයි. මීට පෙර පැනවූ ආනයන සීමා ද මෙරට දුරකතන සහ පරිගණක කෙරෙහි බලපා තිබේ .එක් අතකින්  පරිගණක සහ දුරකතන මිල ඉහළ ගොස් ඇති අතර පරිගණක, ජංගම දුරකතන  අමතර කොටස් හිඟයක් ද පවතී. පරිගණක දුරකතන අඩපණ කර උදාකරගත හැකි සෞභාග්‍යයක් ද තිබිය නොහැකිය .

රූපවාහිනී යන්ත්‍රය, ශීතකරණය, සුවඳ විලවුන්  යනුද වත්මන් ජනජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි. විනෝදාස්වාදය ලැබීමට මෙන්ම දහදිය කුයිල නොමැතිව ජීවත්වීමට ද ජනතාවට හිමිකම තිබිය යුතුය .

වෙළෙඳ ඇමැතිවරයා කියන්නේ , ලක්ෂයක ආනයනයක් කරන්නේනම් ලක්ෂයක් බැංකුවේ තැන්පත් කළ යුතු බව කීවා මිස, ආනයන සීමා කිරීමක් කර නොමැති බවය. ආනයන සීමා කිරීමට නොවේනම් එවැනි කොන්දේසියක් පැනවූයේ කුමකටදැයි පැහැදිලි කරන්නට ඇමැතිවරයාට යුතුකමක් තිබේ.

වෙළෙඳ ඇමැතිවරයා කියන්නේ , ලක්ෂයක ආනයනයක් කරන්නේනම් ලක්ෂයක් බැංකුවේ තැන්පත් කළ යුතු බව කීවා මිස, ආනයන සීමා කිරීමක් කර නොමැති බවය. ආනයන සීමා කිරීමට නොවේනම් එවැනි කොන්දේසියක් පැනවූයේ කුමකටදැයි පැහැදිලි කරන්නට ඇමැතිවරයාට යුතුකමක් තිබේ.

මීට පෙර ආණ්ඩුව සීනි ආනයනයට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දුන්නේය . එහි ප්‍රතිඵලය එතෙක් 67ක්ව පැවැති සීනි ආනයනය කරන සමාගම් සංඛ්‍යාව 12 දක්වා පහත වැටීමය. එනම් සමාගම් 12ක ඒකාධිකාරයකට සීනි වෙළෙඳ පොළ යටත් වීමය. එමඟින් තවත් අතකින් එමඟින්  සීනි වෙළෙඳ පොළේ තරගකාරිත්වය නැතිවිය. ප්‍රතිඵලය වූයේ සීනි මිල ඉහළ යාම ,  සීනි හිඟයක් රටේ ඇතිවීම  පමණක් නොවේ; ජනාධිපතිවරයාට , වෙළෙඳ ඇමැතිවරයාට පමණක් නොව  ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාට පවා සීනි මාෆියාවක් ගැන කතාකරන්නට සිදුවීමය. එසේම, සීනි කිලෝවක් මිලදී ගැනීමට සමූපකාර පෝළිමේ ඉන්නට පාරිභෝගිකයාට සිදුවීමය .

ලක්ෂයක ආනයනයක් කරන්නේනම් ලක්ෂක් බැංකුවේ තැන්පත් කළ යුතුය කීම මගින් සිදුවනු ඇත්තේ එසේ මුදල් තැන්පත් කිරීමට ශක්තියක් නොමැති ආනයනකරුවන්ට වෙළෙඳ පොළෙන් ඉවත්වන්නට සිදුවීමය. එනම්, වෙළෙඳ පොළ සිය ග්‍රහණයට ගැනීම⁣ට ශක්ති සම්පන්න සමාගම් ජාලයකට අවස්ථාව සැළසීමය. සීනි වලට සිදුවූ දෙයම වෙනත් ආකාරයකින් අත්‍යවශ්‍ය නොවනයැයි කියන භාණ්ඩ වලටද සිදුවීමය.

තරගය හේතුවෙන් මිල පාලනයක් සිදුවන බව ආර්ථික විද්‍යාව යන්තමින් හෝ දන්නා අය දනිති.හොඳම නිදසුන මෙරට මෙරට සන්නිවේදන වෙළෙඳ පොළයි. වෙළෙඳ පොළ විවෘත වී දුරකතන සමාගම් අතර තරගයක් ඇතිවීම හේතුවෙන් මෙරට දුරකතන ක්ෂේත්‍රයේ දැවැන්ත පිබිදීමක් මෙන්ම ඇමැතුම් ගාස්තු   පහළ යාමක්ද සිදුවිය. ආණ්ඩුවේ බදු නොමැති  නම් මෙරට දුරකතන ග්‍රාහකයාට ලාභදායී ඇමතුමක් ගැනීම⁣ට හැකියාව තිබේ.

ආන්තික මුදල් තැන්පතුවක් ඉල්ලාසිටීම වෙනුවට බදු ඉහළ නැංවූයේ නම් එමඟින් මහ බැංකුවට ආදායමක් ලැබේ. ඉන් මහ බැංකුව  ශක්තිමත් වන්නට තිබුණි. එසේම එමඟින් ආනයන පාලනයක් ද සිදුවේ. භාණ්ඩ මිල ඉහළ යාමක් සිදුවන නමුත් එමඟින් භාණ්ඩ හිඟයක් ඇතිවීමේ ඉඩකඩ සාපේක්ෂ වශයෙන් අඩුය.පෝළිම් වල නොයිඳ අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයාට හැකියාව ලැබේ.සහල් මාෆියා, සීනි මාෆියා ගැන කතාකරනවා මෙන් අනාගතයේදී ටයර් මාෆියා ,රෙදිපිළි මාෆියා, දුරකතන මාෆියා සුවඳ විලවුන් මාෆියා ගැන කතාකරන්නට ආණ්ඩුවට සිදු වන්නේ ද නැත .එසේම සෙන්ට් කුප්පියක් ගන්නටත් පෝළිමේ ඉන්නට ජනතාවට සිදු වන්නේද නැත. සහල් මෝල්, සීනි ගබඩා වටලන ආකාරයට අනාගතයේදී  රෙදිපිළි ගබඩා , දුරකතන කඩ වටලන්නට පාරිභෝගික අධිකාරියට  සිදු වන්නේද නැත.ආන්තික මුදල් තැන්පතු නියමයේ නිසැක ප්‍රතිඵලය වනු ඇත්තේ පෝළිම් වලත් ලැග වැඩි මිලට භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයාට සිද්ධවීමය .

  අනුර කේ එදිරිසූරිය .

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *