කබ්රාල්ට කැබිනට් බලතල දෙන්න ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නෑ

රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳුදා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්  වී කැබිනට බලතල සහිත මහ බැංකු අධිපති ලෙස පත්වන බවට වාර්තා පළ වුව ද, මහ බැංකු අධිපතිවරයාට කැබිනට් බලතල ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නැති බව ව්‍යවස්ථා විශේෂඥයෝ කියති.

කැබිනට් මණ්ඩලය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් වන අතර එම බලතල වෙනත් කිසිවකුට ලබා දීමට ප්‍රතිපාදන නැත. කැබිනට් මණ්ඩලයට පත්කිරීම සම්බන්ධයෙන් ද, සීමා පනවා ඇත. කැබිනට් මණ්ඩලය තිහකට සීමා කොට තිබිය දී, වෙනත් කිසිවකුට කැබිනට් බලතල දෙන්නේ නම් එය ව්‍යවස්ත විරෝධී කටයුත්තකි. එය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ හැකි චෝදනාවක් වෙයි.

අනෙක් අතට මහ බැංකු අධිපතිට කැබිනට් බලතල දුන්නොත් ඔහු මුදල් ඇමති සහ අනෙකුත් ඇමතිවරුන් හා සම තත්ත්වයට පත්වෙයි. මහ බැංකු අධිපති ධුරයට ඇති ස්වාධින බලතල සහ කැබිනට බලයක් ද ලැබුණ හොත් තවත් සුපිරි බලවතෙක් නිර්මාණය විය හැකි බව කියති.

මෙම තත්ත්වය යටතේ කබ්රාල් මහතාට කැබිනට් බලතල ලබා දුන හොත් එය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *