රවී ,අර්ජුන ,විජේදාස ,දුමින්ද ,ගයන්තගේ ඇමතිකම් වෙනස්කරන සංශෝදනයක් එයි !

ඉතා කඩිනමින්  කැබිනට් මණ්ඩලයේ සීමිත සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වන අතර, ඒ පිළිබඳව වූ තීරණාත්මක සාකච්ඡාවක් අපේ‍්‍රල් 28 දින රාත‍්‍රියේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් අතර පවත්වා ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

එම සාකච්ඡාවේදී රවී කරුණානායකගේ මුදල් අමාත්‍ය ධුරය, අර්ජුන රණතුංගගේ වරාය අමාත්‍ය ධුරය, දුමින්ද දිසානායකගේ කෘෂිකර්ම අමාත්‍ය ධුරය, විජයදාස රාජපක්ෂගේ අධිකරණ අමාත්‍ය ධුරය හා ගයන්ත කරුණාතිලකගේ ජනමාධ්‍ය යන අමාත්‍යධුර පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී දැනට ඇති අමාත්‍ය ධුර එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හුවමාරු කරගැනීමේ කතාබහක්ද ඇතිවී ඇතැයි  පැවසෙන අතර, ඒ අනුව කෘෂිකර්ම හා නිපුණතා සංවර්ධන ජනමාධ්‍ය අමාත්‍යංශ පාර්ශ්ව දෙක අතර හුවමාරු වනු ඇතැයි පැවසේ.

රවී කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළහොත් එම අමාත්‍ය ධුරය කබීර් හෂීම් මහතාට හෝ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.

හර්ෂ ද සිල්වා මහතාට මුදල් අමාත්‍ය ධුරය ලබාදෙන බවට මීට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතා පොරොන්දුවක් ලබාදී ඇති බව දැනගන්නට ලැබෙන අතර, අවසන් කැබිනට් සංශෝධනයට පෙර මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ රාජ්‍ය ආයතන බොහොමයක් අවසන් කැබිනට් සංශෝධනයේදී කබීර් හෂීම් මහතාට අයත් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයට පවරා දෙනු ලැබීය.

කැබිනට් අමාත්‍යවරයා හා එහි නියෝජ්‍ය හෝ රාජ්‍ය අමාත්‍යවරයා පක්ෂ දෙකෙන් පත්කිරීමේ දැනට පවතින එකඟතාව අනුව එම සීමිත කැබිනට් සංශෝධනයන් හා හුවමාරු සිදුවීමේදී ඒවාහි නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධුර වෙනස් කිරීමටද සිදුවනු ඇතැයි තවදුරටත් වාර්තා වේ.

(lankaanews වාර්තාවකි )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *